Monday, June 20, 2016

පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය වෙනස් වීමටත් දේශගුණ වෙනස් වීම හේතු වෙලා!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 27.04.2015, පිටුව 7 (Not available online)

Vidusara, 27.04.2015 - Earth's axis altered due to climate change?

පෘථිවිය එහි ධ‍්‍රැව හරහා පිහිටා ඇති අක්ෂය වඩා භ‍්‍රමණය වීමේදී මේ අක්ෂය ධ‍්‍රැව ප‍්‍රදේශයේම යම් සුළු චලිතයක් පෙන්වයි. මේ පිළිබඳව නිරීක්ෂණ ආරම්භ කළ දින පටන් මේ දක්වා කාලයේදී සිදුව ඇති විශාලතම ප්ලාවිතය (drift) වන්නේ මීටර් 12කි. මෙමගින් එදිනෙදා ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන නමුත්, ඨඡුී පද්ධති, චන්ද්‍රිකා හා නිරීක්ෂණාගාරවල නිරීක්ෂණවල නිවැරදිතාව සඳහා මින් යම් බලපෑමක් ඇති විය හැකිය.

මේ මස මුලදී Science Advances සඟරාවේ ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකට අනුව පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය මෑත කාලයේදී මදක් වෙනස් වී තිබේ. ඒ අනුව, 2000 වසරේ පමණ සිට පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය මදක් නැගෙනහිර දිශාවට චලනය වී තිබේ. එය, මෙතෙක් කලක් භ‍්‍රමණ අක්ෂයේ දිගුකාලීන චලිතයේ දිශාව වූ කැනඩාව දෙසට චලනය වීමට වඩා වෙනස් වූ දිශාවකි. එසේම නැගෙනහිර දෙසට ගමන් කිරීම ආරම්භ වූ වේගයට වඩා දෙගුණයක් පමණ වේගයෙන් මේ වන විට භ‍්‍රමණ අක්ෂය චලනය වෙමින් තිබේ. ඒ වර්ෂයකට සෙන්ටිමීටර් 17ක් පමණ වේගයකිනි.

ජල ස්කන්ධයේ වෙනස්කම් බලපෑම

මේ ආකාරයෙන් භ‍්‍රමණ අක්ෂයේ චලිත ඇතිවීමක් සඳහා හේතු මින් පෙර විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබිණි. ඉන් එක් අදහසක් වූයේ ග‍්‍රීන්ලන්තයේ හා අන්ටාක්ටිකාවේ අයිස් දියවීම නිසා ජල ස්කන්ධයේ ඇතිව තිබෙන වෙනස්කම් භ‍්‍රමණ අක්ෂයේ වෙනස්වීමට හේතු වී ඇති බවයි. ඉහත කී පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අදහස පිළිබඳවය. එය පරීක්ෂා කිරීම සඳහා ඔවුන් 2003 සිට 2015 වර්ෂය දක්වා වූ කාලය සඳහා වූ අභ්‍යවකාශ භූමිතික (space geodetic) හා චන්ද්‍රිකා ගුරුත්වමිතික (satellite gravimetric) දත්ත යොදා ගෙන තිබේ. එ් අනුව මාස්පතා ලෝකයේ ස්කන්ධයේ ඇති වන වෙනස්වීම් පිළිබඳව දත්ත යොදාගෙන අදාළ කාලයේදී ලෝකයේ සිදුව ඇති ජල ස්කන්ධයේ වැඩිවීම් හා අඩුවීම් භ‍්‍රමණ අක්ෂය වෙනස් වීමට බලපා ඇති ආකාරය ඔවුන් විසින් විශ්ලේෂණය කර ඇත. ඉන් අනාවරණය වන පරිදි ජගත් මට්ටමේ මහද්වීපික-සාගර ස්කන්ධ ප‍්‍රවාහනය නිසා පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ වෙනස්වීම් ඇති වී තිබේ.

මේ පර්යේෂකයන්ගේ ගණනය කිරීම්වලින් පෙනී ගිය පරිදි ග‍්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවීම පමණක් පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ සිදුව ඇති වෙනස් වීම සඳහා අවශ්‍ය බලය සැපයීමට ප‍්‍රමාණවත් නැත. ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවල ඇතිව තිබෙන වෙනස්කම්වලින්, එ නම් බටහිර ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම හා නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව වර්ධනය වීමෙන්, ඇතිවන සමස්ත බලයද හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි. එහෙත් පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ චලනය සඳහා එ් බල දෙක පමණක්ද ප‍්‍රමාණවත් නොවන බව ඔවුන්ට පැහැදිලි විය. ඒ අනුව වැඩිදුර කරුණු අධ්‍යයනයේදී ඔවුන්ට පෙනීගියේ ඉන්දියානු උපමහාද්වීපය හා කැස්පියන් මුහුද ඇතුළත් යුරේසියාවේ සිදුව ඇති ජලය හිගවීම මීට අවශ්‍ය අතිරේක බලය ලබාදී ඇති බවයි. නියගය හා භූ ජලසංචිතය ක්ෂයවීම නිසා මේ කලාපයේ ඇතිව ඇත වෙනස්කම් එ් සඳහා හේතු වී තිබේ. මේ නිසා ඇතිවන බලය විශාලවන්නේ අක්ෂාංශ 45 කලාපයේ ඇතිවන වෙනස්වීම්වලින් පෘථිවි අක්ෂයේ භ‍්‍රමණය සඳහා ඇති කළ හැකි බලපෑම විශාල වන නිසාය. (මෙමගින් 1899 සිට පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ නිරීක්ෂණය කර ඇති නැගෙනහිරට හා බටහිරට කලින් කල සිදුවන චලිත පිළිබඳවද පැහැදිලි කිරීමක් ලබා දේ. යුරේසියානු කලාපයේ වියළි කාල වකවානුවලදී පෘථිවි භ‍්‍රමණ අක්ෂය නැගෙනහිරටද, ඒ කලාපයේ අධික වැසි සහිත කාලවලදී භ‍්‍රමණ අක්ෂය බටහිරටද ගමන් කරයි. මේ චක‍්‍රය සඳහා වසර 6-14 අතර කාලයක් ගත වේ.)

මේ කරුණු අනුව ලෝකයේ ජල ස්කන්ධයේ ව්‍යාප්තියේ ඇති වන වෙනස්වීම් නිසා භ‍්‍රමණ අක්ෂයේ චලනයක් ඇති විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

දේශගුණ වෙනස් වීම නිසා සිදුව තිබේ

‍ලෝකයේ ජල ස්කන්ධයේ මේ වෙනස්වීම් ඇතිවීමට හේතු ව ඇති කරුණ මේ වන විට හොඳින් දනියි. එ් දේශගුණ වෙනස්වීමය. ග‍්‍රීන්ලන්තයේ මෙන්ම ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම සඳහා බලපා ඇති සාධකය මිහිතලය උණුසුම්වීම බවට මේ වන විට විවාදයක් නොමැති තරම්ය. මේ සඳහා බලපෑවේ මිනිසුන් විසින් හරිතාගාර වායු විමෝචනය කිරීම බවටද මේ වන විට සැකයක් නොමැත.

මේ අනුව දේශගුණ වෙනස් වීම නිසා ඇති වන තවත් බලපෑමක් ගැන මේ පර්යේෂණයෙන් පැහැදිලි වේ. එහි ඇති වැදගත්කම වන්නේ පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ වෙනසක් ඇති වීමට තරම් බලපෑඹක් සඳහා මිනිසුන් දායකත්වය ලබාදී තිබීමය.

‍(මේ පුවත සඳහා මූලාශ‍්‍රය වූ පර්යේෂණ වාර්තාව අදාළ සඟරා වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැකිය. ඒ සඳහා http://advances.sciencemag.org/content/2/4/e1501693 වෙත පිවිසෙන්න. NASA ආයතනයේ වෙබ් පිටුව සඳහා http://climate.nasa.gov/news/2428/ ලිපිනයට පිවිසෙන්න)


රූපය -  www.nasa.gov වෙබ් අඩවිය. http://climate.nasa.gov/news/2428/

Friday, June 10, 2016

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය තවත් ඈතට යයි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 08.06.2016, පි. 5 (Vidusara - Origin of the Indus Valley Civilization is older than thought)

Vidusara link - http://www.vidusara.com/2016/06/08/feature1.html





ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හෙවත් හරප්පා ශිෂ්ටාචාරය දකුණු ආසියාවේ පැවැති පැරැණි ම නාගරික ශිෂ්ටාචාරයකි. ඉන්දු ගංගා නිම්නයේ මෙන්ම, මේ වන විට සිඳී ගොස්‌ ඇති සරස්‌වතී ගංගාව යෑයි සැක කෙරෙන ගග්ගර්-හක්‌රා ගංගා නිම්නයේ ද ස්‌ථාන රාශියකින් මේ ශිෂ්ටාචාරය පිළිබඳ සාධක ලැබී ඇත. වර්තමාන පාකිස්‌තානයේ පිහිටා ඇති හරප්පා, මොහෙන්ජොදාරෝ වැනි ස්‌ථාන ද, වයඹදිග ඉන්දියාවේ පිහිටා ඇති ලෝතාල්, දොලාවීරා හා කලිබන්ගන් වැනි ස්‌ථාන ද මේ අතරින් වඩා ප්‍රකට ස්‌ථාන වේ.

මේ දක්‌වා හෙළි වී ඇති කරුණු අනුව, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අදින් වසර 5700ක්‌ පමණ කාලයකට පෙර ආරම්භ වූ අතර, අදින් වසර 3300කට පමණ පෙර පිරිහී ගිය බව සැලකේ. මේ කාලවකවානු පිළිවෙළින් ක්‍රිස්‌තු පූර්ව 3700 හා 1300 පමණ කාලවකවානු හා සමාන වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණු අවධියේ දී නාගරික ලක්‌ෂණ දැකිය හැකි විය. එහි සංවිධානගත නගර, දියුණු ද්‍රව්‍යමය සංස්‌කෘතියක්‌ තිබීම හා උසස්‌ කලා නිර්මාණ බිහි වීම මීට නිදසුන් ය. සමකාලීන වෙනත් ශිෂ්ටාචාර පැවැති අරාබිය හා මෙසපොත්මියාව සමග ඉන්දු නිම්න වැසියන් වෙළෙඳ සම්බන්ධතා පවත්වාගෙන ගොස්‌ ඇත.

හරප්පා ශිෂ්ටාචාරයේ අවධි හතරක්‌ එහි සංස්‌කෘතික මට්‌ටම් අනුව නම් කර තිබේ. ඉන් පළමුවැන්න වන මූල රවි අවධිය (Early Ravi phase) යනු අදින් වසර 5700කට පමණ පෙර ආරම්භ වී වසර 4800 තෙක්‌ පැවැති අවධියකි. දෙවැන්න හඳුන්වනු ලබන්නේ අතරමැදි කොට්‌ ඩිජි (Transitional Kot Diji phase) අවධිය යනුවෙනි. එය අදින් වසර 4800ක්‌ පෙර පටන් වසර 4600ක්‌ පමණ තෙක්‌ පැවැති අවධියකි. තුන්වැනි අවධිය වන්නේ දියුණු අවධිය (Mature phase) නම් වූ අතර, එය අදින් වසර 4600කට ඉහත දී ආරම්භ වී වසර 3900 තෙක්‌ පැවැතිණි. අවසන් අවධිය වන්නේ පශ්චාත් පිරිහීම් අවධිය (Late declining phase) ලෙස හඳුන්වන අදින් වසර 3900කට පෙර සිට වසර 3300 දක්‌වා පමණ පැවැති කාලවකවානුවයි. මේ කාලවකවානු සියල්ල තීරණය කර ඇත්තේ මේ දක්‌වා සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය කරගත් විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව ය.

කෙසේ වෙතත් පසුගිය දා Scientific Reports සගරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳ කාලවකවානු මීට වඩා අතීතයකට අයත් බව හෙළිදරව් වී ඇත. ඒ අනුව අදින් වසර 8,000කට වඩා ඉහත කාලවකවානුවක දී මේ ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු ව ඇත.

අධ්‍යයන ක්‍රමවේදය

ඉන්දියාවේ ආයතන ගණනාවක විද්‍යාඥයන් පිරිසක්‌ එක්‌ ව සිදු කළ මේ අධ්‍යයනයේ එක්‌ අරමුණක්‌ වූයේ ඉන්දු නිම්න අදාළ ශිෂ්ටාචාරය ව්‍යාප්ත ව පැවැති ප්‍රදේශය ගැන යම් අවබෝධයක්‌ ලබාගැනීම ය. ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පිහිටා ඇති භිරානා (Bhirrana) නම් ස්‌ථානයේ සිදු කරන ලද නවතම කැණීමකින් ලද සාධක මගින් මේ පර්යේෂකයන් සිය නිගමනවලට එළැඹ තිබේ. එය පැරැණි සරස්‌වතී නදිය ආශ්‍රිත ව පිහිටා තිබූ ජනාවාසවලින් යුක්‌ත ප්‍රදේශයක්‌ ලෙස හඳුනාගෙන තිබේ.

මේ කැණීම්වලින් ලද සාධක අනුව පර්යේෂණය ඉදිරියට ගොස්‌ ඇත. එම ස්‌ථානයේ විවිධ සංස්‌කෘතික මට්‌ටම්වලට අයත් වන ස්‌තරවලින් විවිධ සත්ත්වයන් ගේ ශේෂ ලැබී ඇත. ඒ අතර ගෘහාශ්‍රිත ගවයන්, එළුවන්, මීහරක්‌ හා බැටළුවන් වැනි සතුන් ගේ මෙන්ම මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද විවිධ වනසතුන් ගේ අස්‌ථි හා දත්වල ශේෂ ද වේ. මේ සතුන් ගේ අස්‌ථි හා දත්වල ඇති පොස්‌පේටවල ඇතුළත් ඔක්‌සිජන් 18 සමස්‌ථානික (18C) ප්‍රමාණය අනුව එදා පැවැති වර්ෂාපතනය පිළිබඳ දත්ත අනාවරණය කරගැනීමට පර්යේෂකයන් හැකි වී ඇති අතර, එමගින් අදාළ ප්‍රදේශයේ පුරාදේශගුණ තත්ත්ව කාලය අනුව වෙනස්‌ වූ ආකාරය නැවත ගොඩනගා තිබේ.

එසේ ම මේ ස්‌ථානයේ සිදු කරන ලද කැණීම්වලින් ලැබුණු මැටි වළං කැබැලි පිළිබඳව ද මේ පර්යේෂකයන් අවධානය යොමු කර ඇත. මේ වළං කැබැලි දින නියම කර ඇත්තේ ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (optically stimulated luminescence) කාලනිර්ණ ක්‍රමය යොදාගනිමිනි. මේ පර්යේෂකයන් ගේ අදහස අනුව මෙතෙක්‌ ඉන්දු නිම්නයෙන් හමු ව ඇති පැරැණි ම වළං කැබැලි ඔවුන්ට හමු වී ඇත. මෙමගින් අදාළ ජනාවාසයේ පැවැති සංස්‌කෘතික රටාව හා දේශගුණය අතර සම්බන්ධය ද ගොඩනගාගැනීමට හැකියාව ලැබී තිබේ.

වසර 8000කට පෙර ආරම්භ වී ඇති ශිෂ්ටාචාරයක්‌

මේ ස්‌ථානයෙන් ලැබී ඇති දත්තවල කාලනිර්ණය භිරානා යනු හරප්පානු ජනාවාසකරණයේ මුල් අවධියක්‌ බවට සාධක සපයන බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ පිළිබඳව ලැබුණු නිශ්චිත කාලවකවානුවලට අනුව අදින් වසර 8350කට පමණ පෙර අවධියකට අයත් සාධක මේ ස්‌ථානයෙන් ලැබෙන පැරැණි ම සාධක අතර වේ. (එහි කාලවකවානුව නිශ්චිතව දක්‌වන්නේ නම් අදට වසර 8597ත් 8171ත් අතර කාලයකට අයත් ය.) මේ මූලික අවධිවලින් හමු වන සාධක මගින් එෙඩ්ර හා ගම් මට්‌ටමේ කාෂිකාර්මික සමාජයක්‌ පැවැති බවට සාධක හමු වේ. එය පූර්ව-හරප්පානු හක්‌රා අවධිය (pre-Harappan Hakra phase) ලෙස හඳුන්වනු ලබන අතර, එය මෙතෙක්‌ පිළිගෙන තිබූ පැරැණි ම අවධිය වන මුල් හරප්පා අවධියට ද පෙර පැවැති අවධියකි. එය අදින් වර්ෂ 9500ත් 8000ත් අතර කාලයකට අයත් වේ. ඒ අනුව පූර්ව-හරප්පානු ජනතාව අදින් වසර 9000ත් 7000ත් අතර කාලයක දී මේ ප්‍රදේශයේ පළමු ජනාවාස ඇති කරගත් බව යෝජනා වී ඇත. මේ කාලයට අයත් සතුන් ගේ අස්‌ථි හා දත්වල ඔක්‌සිජන් සමස්‌ථානික විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇති පරිදි මේ කාලය මෝසම් වැස්‌ස ඉතා ප්‍රබල ව පැවැති වකවානුවකි.

එසේ ම මේ කැණීමෙන් ලැබුණු කාලනිර්ණය කරන ලද වළං කැබැලිවල දින නිර්ණය කර ඇත්තේ අදින් වසර 5120-4520 අතර කාලයකට අයත් ලෙස හා 6185-5695 අතර කාලයකට අයත් ලෙස ය. මේ දෙවැනි සාධකය මූල දියුණු හරප්පා ශිෂ්ටාචාරයට අයත් වේ. එහි කාලනිර්ණය අනුව ද, ඊටත් වඩා යට මට්‌ටමකින් ලැබුණු කාලනිර්ණය වන අදට වඩා වසර 8350ක්‌ පැරැණි ජනාවාසයේ වයස සනාථ වේ. මේ අනුව භිර්රානා යනු ගග්ගර්-හක්‌රා නදී නිම්නයේ ඇති පැරැණි ම ජනාවාස සාධක ලැබෙන ස්‌ථානයක්‌ බව පැහැදිලි ය.

එසේ ම මේ කැණීමෙන් හා ඒ ආසන්න ප්‍රදේශවල සිදු කරන ලද කැණීම්වලින් මූල-හරප්පා (අදින් වසර 8,000-6,500 අතර), මූල-දියුණු හරප්පා (අදින් වසර 6,500-5,000 අතර) හා දියුණු හරප්පා (අදින් වසර 5,000-2,800 අතර) අවධිවලට අයත් කාලනිර්ණ ලැබී ඇත.

ඉන්දු නිම්නය අවසන් වූයේ කෙසේ ද?

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අදින් වසර 3000කට පෙර කාලයක දී අවසන් වූ බව සාමන්‍ය පිළිගැනීමයි. මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණයේ ඇති වූ වෙනස්‌ වීම් හෙවත් දීර්ඝ කාලීන දැඩි නියග තත්ත්වයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමකාලීනව ශිෂ්ටාචාර වන මෙසපොතේමියානු හා යෑංට්‌සි නදිය ආශ්‍රිත ශිෂ්ටාචාරය විනාශ වී ගියේ ද මෝසම් වැසි දුර්වල වීම හෝ අදින් වසර 4,200කට පමණ පෙර ආසියානු කලාපය පුරා ව්‍යාප්ත වූ නියග පෙළක්‌ නිසා ඇති වූ ශුෂ්කකරණයක්‌ ලෙස දක්‌වා ඇත. එහෙත් මේ පර්යේෂණයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට මේ තත්ත්වය බලපෑ ආකාරය ගැන තවත් තොරතුරු අනාවරණය වේ.

අප මාතෘකා කරගත් පර්යේෂණයට අනුව, ඉන්දු නිම්නයේ දේශගුණ රටාව වෙනස්‌ වූ ආකාරය පැහැදිලි ය. ශිෂ්ටාචාරයේ මුල් අවධියේ දී, එනම් පැරැණි සරස්‌වතී නදී නිම්නයේ මානව ජනාවාස පැතිරීමට හා කෘෂිකාර්මික කටයුතුවලට සුදුසු පරිසරයක්‌ පැවැතියේ ය. වසර 9,000-7,000ක්‌ අතර කාලයේ දී පැවැති මෝසම් වැස්‌ස වඩාත් ප්‍රබල වූ අතර එමගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයිණි.

කෙසේ වෙතත් අදින් වසර 7,000ක්‌ පමණ කාලයක සිට මෝසම් වැස්‌ස දුර්වල වීම ආරම්භ වී ඇත. විශේෂයෙන් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය දියුණු ව පැවැති අවධියේ දී ද එම ප්‍රදේශයේ මෝසම්වැසි ක්‍රමයෙන් දුර්වල වෙමින් පැවැති අවධියකි. නිම්නයේ වැසියන් දුර්වල මෝසම් වැස්‌සට හුරු වීමට පුරුදු වී ඇත. තිරිගු හා බාර්ලි වැනි භෝගවල සිට ඇතැම් වී වර්ග හා කුඩා මිලට්‌ වර්ගවල වැනි වඩා නියගයට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට මාරු වී ඇති බව භිර්රානා ආසන්නයේ පිහිටි තවත් ස්‌ථානයකින් ලැබී ඇති සාධක අනුව පෙනේ. එහෙත් මේ නියගයට ඔරොත්තු දෙන භෝගවල අස්‌වනු අඩු විය. මෙසේ සිදු වූ ජනතාව ගේ යෑපුම් ක්‍රමවේදයේ ඇති වූ වෙනස්‌ වීම් ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳවැටීමට දායක වී ඇත. එමගින් ප්‍රධාන නගරවල පිහිටි විශාල ධාන්‍ය ගබඩා නඩත්තු කළ නොහැකි වූ අතර, එහි වැසියන් පෞද්ගලික මට්‌ටමේ ධාන්‍ය ගබඩා කිරීමේ ක්‍රමවලට හුරු වීමට පටන්ගෙන තිබේ. මේ තත්ත්වයත් සමග නාගêකකරණය අඩු වීම, ජනගහනය අඩු වීම, ස්‌ථාපිත ජනාවාස අත්හැර දැමීම වැනි සිදුවීම් ඇති වූ අතර, ඒ පිළිබඳ සාධක මේ ස්‌ථානවලින් ලැබී තිබේ. හරප්පා අක්‌ෂර භාවිතය පිරිහී යැම ද මෙවැනි සිදුවීමකි. මේවා පශ්චාත් හරප්පා ශිෂ්ටාචාරය හඳුනාගත හැකි වැදගත් ලක්‌ෂණ වේ. එහෙත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‌ෂණිකව බිඳ නො වැටුණු අතර තවත් කාලයක්‌ පිරිහෙමින් පැවැති බව පැහැදිලි ය.

මේ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, දේශගුණය, කෘෂිකර්මය හා යෑපුම් ක්‍රමවේදය අතර Rජු සම්බන්ධයක්‌ හරප්පා ශිෂ්ටාචාරය සමයේ දී පැවැති බව යෝජනා කරනු ලැබේ.

(මූලාශ්‍රය: Scientific Reports, DOI: 10.1038/srep26555)

http://www.vidusara.com/2016/06/08/feature1.html

Thursday, June 2, 2016

කැලණි ගංගා නිම්නයේ ගංවතුරට හේතු වන අධික වර්ෂාපතනයේ බලපෑම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.06.2016, පි. 5 

(Impact of excessive rainfall for the floods of Kelani Valley, Vidusara, 01.06.2016)
http://www.vidusara.com/2016/06/01/feature1.html


කැලණි ගඟ දෙගොඩ තලා කොළඹ හා ගම්පහ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල පහත්බිම් රැසක්‌ ගංවතුරින් යට වූයේ දැනට දෙසතියකට පමණ ඉහත දී ය. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ද කාලගුණයෙන් තදබල බලපෑම් ඇති වුවත් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ගංවතුර බලධාරීන් ගේ මෙන්ම ජනතාව ගේ ද අවධානය දිනාගැනීමට සමත් ව ඇත. ඊට හේතුව හුදෙක්‌ මෙරට වැඩි ම ජනගහනයක්‌ මෙන්ම බොහෝ බලධාරීන් ද ජීවත් වන දිස්‌ත්‍රික්‌ක දෙකකට එය බලපෑ නිසා විය හැකි ය.

මේ ගංවතුර නිසා කැලණි ගං මිටියාවතේ සීතාවක, කඩුවෙල, හෝමාගම, පාදුක්‌ක හා කොලොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රදේශ ගණනාවක්‌ ගංවතුරට යට විය. නාගලගම් වීදියේ ජලමාපකය අනුව කැලණි ගඟේ ජල මට්‌ටම අඩි 7.5 දක්‌වා ළගා වී තිබිණි. වාර්තා වන පරිදි බස්‌නාහිර පළාතේ 200,000කට අධික පිරිසක්‌ අවතැන් වී ඇති අතර ඉන් වැඩි පිරිසක්‌ කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කැලණි නිම්නයේ පදිංචිකරුවන් ය. ඒ අනුව විශාල දේපොළ හානියක්‌ ඇති වූ බව ද පැහැදිලි ය.

ගංවතුරට බලපෑ හේතු විමසීම

සැම ගංවතුරකට ම පාහේ ඇති වන ආකාරයට ම ගංවතුර ඇති වීම සඳහා බලපෑ සාධක පිළිබඳව සාකච්ඡාවක්‌ ද මේ වන විට සමාජයේ දැකි ය හැකි ය. මේ සඳහා විවිධ පිරිස්‌ විවිධ අදහස්‌ ඉදිරිපත් කරන බව පෙනේ. සාමාන්‍යයෙන් ගංවතුරට හේතුවක්‌ ලෙස ඉදිරිපත් කරනු ලබන ඒක් හේතුවක්‌ වන්නේ පහත්බිම්වල ඉදිකිරීම් සිදු කිරීම හා වගුරු බිම් ලෙස පොදු වහරේ හැඳින්වෙන තෙත්බිම් ගොඩ කිරීම ය. යම් ප්‍රදේශයකට පතිත වන වර්ෂා ජලය එක්‌ රැස්‌ වන ස්‌ථාන වන්නේ ඒ ප්‍රදේශයේ පවත්නා පහත්බිම් වන බැවින් ඒ ප්‍රදේශයකට ජලගැලීම් තර්ජනයක්‌ ඇති වීම වැළැක්‌වීම සඳහා පහත්බිම්වල වැදගත්කමක්‌ ඇති බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස 1992 වර්ෂයේ දී කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාවක්‌ වැටුණු අතර, ඉන් ගංවතුර ඇති වීමට ප්‍රදේශයේ තෙත්බිම් ගොඩ කර තිබීම හා ජලමාර්ග අවහිර වීම හේතු විය. (එහෙත් කැලණි ගඟ දිගේ පහළට පැමිණෙන්නේ ඉහළ නිම්නයට වැටුණු අධික වැසි ජලය නම්, ඉන් ගඟ උතුරා යන විට ඇති වන ගංවතුර වැළැක්‌වීමට පහත්බිම් හා තෙත්බිම් ප්‍රමාණවත් නො වන බව නිදසුන් සහිතව පහත දැක්‌වේ.)

ගංවතුර ඇති වීම සඳහා බලපෑ තවත් සාධකයක්‌ ලෙස දැක්‌වෙන්නේ අවිධිමත්ව සිදු කරන සංවර්ධන කටයුතු ය. නිදසුනක්‌ ලෙස ඇතැම් අය දක්‌වා ඇති පරිදි අධිවේගී මාර්ග ඉදිකිරීම් ද මේ ගංවතුර සඳහා බලපා ඇත. එය ඇතැම් සීමිත ප්‍රදේශ කිහිපයකට සත්‍යයක්‌ විය හැකි බව පැහැදිලි ය. එසේ වන්නේ ඇතැම් ප්‍රදේශවල ජලය බැස යැමට යම් යම් අවහිරතා ඇති වී තිබීම නිසාය. එහෙත් වඩාත් බරපතළ ගංවතුරක්‌ ඇති වූ කඩුවෙල නගරයට පහළින්, කොළඹ දක්‌වා කැලණි ගඟ දෙපස පිහිටා ඇති ප්‍රදේශය පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පහළ ය. ඒ අනුව එම ප්‍රදේශවල ඇති වූ ගංවතුර සඳහා අධිවේගී මාර්ගයේ බලපෑමක්‌ නැති තරම් ය. මේ කරුණු අනුව මේ ගංවතුර සඳහා බලපෑ තවත් හේතු ඇති බව පැහැදිලි ය.

මේ පිළිබඳව මැනැවින් විමසා බැලීමේ දී පෙනී යන්නේ කැලණි ගඟේ පෝෂක ප්‍රදේශයේ ඉහළ ප්‍රදේශවලට කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාපතනයක්‌ ලැබීම මේ තත්ත්වයට තදින් බලපා ඇති බව ය. ඒ ගැන මදක්‌ විමසීමට අප සිතුවේ ඒ නිසා ය.

කැලණි මිටියාවතේ අතීත ගංවතුර

කැලණි නිම්නයේ මෙවැනි මහා ගංවතුර තත්ත්ව කලින් කලට ඇති වන බව පැහැදිලි ය. විශේෂයෙන් ඓතිහාසික වාර්තා විමසා බලන විට පෙනී යන්නේ වසර කිහිපයකට වරක්‌ මෙවැනි දැඩි ගංවතුර තත්ත්වයක්‌ ඇති වන බවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1872, 1883, 1891, 1904, 1913 මෙන්ම වඩා මෑත කාලයේ 1947 හා 1989 යන වර්ෂවල දී කැලණි ගඟ උතුරා යෑමෙන් ඇති වූ ගංවතුර නිසා කැලණි ගඟ නිම්නයේ පහළ පිහිටා ඇති කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට මෙවැනි දැඩි ගංවතුර තත්ත්ව ඇති වී තිබේ.

මේ ගංවතුර සිදුවීම් අතරින් තොරතුරු සොයාගත හැකි 1872 හා 1904 යන වර්ෂවල ඇති වූ ගංවතුර සිදුවීම් ගැන මඳක්‌ විමසා බැලීමට සිතුවෙමු. ඒ කරුණු කිහිපයක්‌ නිසා ය. මේ ගංවතුර දෙක ම ඇති වී තිබෙන්නේ කැලණි මිටියාවතේ පහත් බිම් ගොඩ කිරීම අතිශයින් අවම වූ හෙවත් තෙත්බිම් ඉතා ම හොඳ තත්ත්වයේ පැවැති කාලයක දී ය. අනෙක්‌ කරුණ වන්නේ මේ අතරින් ද වැඩි ම වැස්‌සක්‌ වැටුණු හා දැඩි ම ගංවතුරක්‌ ඇති වූ 1872 යනු කැලණි ගංගා නිම්නයේ ඉහළ ප්‍රදේශවල වන ආවරණය ද ඉහළ මට්‌ටමක පැවැති කාලයක්‌ වීම ය. ඒ වන විට මෙරට පැවැතියේ කෝපි වගාව පමණක්‌ වන අතර, කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල වනාන්තර එළි වී තිබුණේ ඉතා අවම මට්‌ටමකිනි. මේ අනුව 1872 ගංවතුර සඳහා වන ආවරණය අහිමි වීම හේතු වූ බව පැවසිය නොහැකි අතර, 1872 හා 1904 යන ගංවතුර දෙක සඳහා ම තෙත්බිම් ගොඩ කිරීම හේතු වූ බව පැවසි ය නොහැකි ය.

ඉහත සඳහන් වූ සියලු ගංවතුර අතරින් 1872 ගංවතුර වැඩි ම බලපෑමක්‌ සිදු කළ ගංවතුර සේ සැලකේ. සැප්තැම්බර් මාසයේ ඇති වූ මේ ගංවතුර පිළිබඳව ඇති වාර්තා අනුව, කැලණි ගඟ ඉහළ ප්‍රදේශවල අධික වැසි ඇති වී දින කිහිපයකට පසුව පහළ ප්‍රදේශවල ගංවතුර ඇති වී තිබේ. උදාහරණයක්‌ ලෙස ගත හොත් එම මාසයේ 9 වැනි දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයක දී අවිස්‌සාවේල්ලට අගල් 17.9ක (මිමී 454.6) ද, ගිනිගත්හේනට නුදුරුව පිහිටි පාඩිපොළට අගල් 18.8ක (මිමී 477.5) වර්ෂාපතනයක්‌ පතිත වී ඇත (Padepola - නිශ්චිත ස්‌ථානය හඳුනාගැනීමට නොහැකි විය). කැලණි ගඟ පහළ පිහිටි හේවාගම් කෝරළයට (කඩුවෙල අවට) ගංවතුර ඇති වන්නේ සැප්තැම්බර් 10 දා වන අතර, ගංවතුර කොළඹ ආසන්නයේ දී උපරිම අගයට ළගා වන්නේ එම මාසයේ 13 දා ය. සමස්‌තයක්‌ ලෙස ගත හොත්, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති හේවාගම් හා සල්පිටි කෝරළවල හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සියනෑ කෝරළයේ ගම්මාන 150කට ආසන්න ප්‍රමාණයක්‌ ඒ අවස්‌ථාවේ දී ගංවතුරට යට වී ඇත. වර්තමානයේ දී සාමාන්‍යයෙන් දැඩි ගංවතුරකට ලක්‌ නො වන ප්‍රදේශ පවා ඒ අවස්‌ථාවේ දී අඩි 15-18 තරම් (මීටර් 4.5-5.5 පමණ) උසකට ගංවතුරට යට වී දින ගණන් පැවතී තිබේ.

1904 මැයි මාසයේ දී ඇති වූ ගංවතුර පිළිබඳව සැලකූ විට ද අපට දැකිය හැක්‌කේ මේ හා සමාන තත්ත්වයකි. එය 1872 වර්ෂයේ ගංවතුරට පමණක්‌ දෙවැනි වූ ගංවතුරක්‌ බව පැවසේ. වාර්තාවලට ආකාරයට, මැයි මස 22 දින පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක්‌ ඇතුළත බුලත්කොහුපිටියට අගල් 16.88ක්‌ (මිමී 428.7) හා යටියන්තොටට අගල් 15.15ක්‌ (මිමී 384.8) පමණ තරම් අධික වර්ෂාපතනයක්‌ පතිත වී ඇත. ඒ සමග ම නිම්නයේ ඉහළ ප්‍රදේශවල ගංවතුර ඇති වී තිබේ. කෙසේ වෙතත් ගඟ පහළ පිහිටා ඇති කොළඹ අවට ප්‍රදේශවලට ගංවතුර ඇති වන්නේ මැයි 24 හා 25 යන දිනවල දී ය.

ඉහළ ප්‍රදේශවල අධික වර්ෂාපතනය

එසේ නම් කැලණි නිම්නයේ ගංවතුර සඳහා බලපෑ වැදගත් කරුණක්‌ ලෙස සැලකිය හැක්‌කේ කෙටි කාලයක්‌ ඇතුළත ඇති වන අධික වර්ෂාපතනය බව පැහැදිලිය. වඩාත් පැහැදිලිව සඳහන් කරන්නේ නම්, කැලණි ගඟ නිම්නයේ ඉහළ ප්‍රදේශවලට කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාවක්‌ ලැබීමෙන් නිම්නයේ පහළට වන්නට පිහිටා ඇති කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පහත් බිම් යට වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි ය. ඒ අදාළ ජලය මුහුද කරා ගලා යන්නේ කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌ මායිම් කරගන්නා කැලණි ගඟ ඔස්‌සේ බැවිනි. මෙවැනි ආන්තික වර්ෂාපතනයක්‌ කලින් කල, වර්ෂ කිහිපයකට වරක්‌ ඇති වී තිබෙන බව ඓතිහාසික වාර්තා අනුව පෙනේ.

කැලණි ගඟට මෙන්ම සාමාන්‍යයෙන් තෙත් කලාපය ලෙස සලකන ප්‍රදේශයේ පෝෂක ප්‍රදේශ පිහිටා ඇති කළු ගඟට හා මහඔයට ද මේ තත්ත්වය පොදු ය. එනම්, එම ගංගාවල පෝෂක ප්‍රදේශවලට ද කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාවක්‌ පතිත වූ විට, පහළ ප්‍රදේශවලට ගංවතුර ඇති වීම එතරම් පුදුමයට කරුණක්‌ නො වේ. මෙහි දී ජලයෙන් යට වීමේ අවදානමක්‌ ඇති ප්‍රදේශවල ඇති තෙත්බිම් හා පහත් බිම්වලට ඉතා අධික වර්ෂාපතනයකින් පසුව නිම්නය දිගේ පහළට ගලා එන විශාල ජලස්‌කන්ධය රඳවා ගැනීමට නොහැකි ය. මීට හොඳ ම නිදසුන වන්නේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තෙත්බිම් ගොඩ කර නො තිබූ 1872 හා 1904 වැනි අතීතයක දී අදටත් වඩා විශාල ප්‍රදේශයක්‌ ගංවතුරට යට වීමයි.

කෙසේ වෙතත් කැලණි ගඟේ ජල ප්‍රවාහය නිසා ඇති වන ගංවතුර තර්ජනය හේතුවෙන් කැලණි ගඟට ආසන්න පහත් බිම් ප්‍රදේශ ගංවතුරින් ආරක්‌ෂා කරගැනීම සඳහා ගංවතුර වැළැක්‌වීමේ විවිධ පියවර ගෙන ඇත. නිදසුනක්‌ ලෙස 1924 දී පමණ කැලණි ගඟ ඉවුරු දෙකේ ඉදි කරන ලද වේලි දැක්‌විය හැකි ය. කැලණි ගඟට උතුරින් ඇති වේල්ල ගඟට බෙහෙවින් ආසන්නව දිවෙන අතර, දකුණින් ඇති වේල්ල ඇත්තේ ගඟට මඳක්‌ දුරිනි. ඒ වේලි මගින් ඒවාට ඇතුළතින් පිහිටි ප්‍රදේශවලට ගංවතුර ඇතුළු වීම පාලනය වේ. ඉන්පසුව සාමාන්‍යයෙන් ගංවතුරින් යට වන්නේ එම වේලි හා ගඟ අතර පිහිටා ඇති ප්‍රදේශ හා එසේ වේලි නොමැති ප්‍රදේශ ය. මේවා අනාරක්‌ෂිත ප්‍රදේශ වේ. (මෙහි දී සඳහන් කළ යුතු කරුණක්‌ වන්නේ කැලණි ගඟේ දකුණු ඉවුරේ හෙවත් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇති වේලිවලට වඩා, ගඟේ උතුරු ඉවුරේ හෙවත් වර්තමාන ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඇති වේල්ලේ උස අඩු වන ලෙස මුලින් ම නිර්මාණය කළ බව ය. ඊට හේතුව වූයේ කොළඹ නගරය අවට ප්‍රදේශ ආරක්‌ෂා කරගැනීම වඩා වැදගත් වීම ය. ඒ අනුව ගඟේ ජලය වේලි මට්‌ටමට ද වඩා ඉහළ ගිය හොත් පළමුව ගලා යන්නේ උතුරු ඉවුරෙන් ඔබ්බේ ඇති ප්‍රදේශවලට ය).

අනෙක්‌ අතට, පසුකාලයේ දී කැලණි ගඟ නිම්නයේ ඉහළ ම ප්‍රදේශවල තනා ඇති ජලවිදුලිබල ජලාශවලින් ද අධික වැසි කාලයට සැලකිය යුතු ජල ප්‍රමාණයක්‌ රඳවාගැනීම ද පහළ ප්‍රදේශවල ගංවතුර තර්ජනය අඩු කිරීමට යම් බලපෑමක්‌ වන්නට ඇති බව අනුමාන කළ හැකි ය.

ගංවතුරට විසඳුම් සෙවීම

මේ අනුව කලින් කලට කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක්‌ ඇති වන අවස්‌ථාවල දී පහළ ප්‍රදේශවල ගංවතුර ඇති වී පහත්බිම් යට වීම සාමාන්‍ය දෙයකි. මෙය වැළැක්‌විය නොහැකි බව පැහැදිලි ය. එසේ නම් සිදු කළ හැක්‌කේ කුමක්‌ ද?

මේ අවදානම් සහිත ප්‍රදේශයේ ප්‍රදේශවල නිවාස ඉදි නො කිරීම මේ තත්ත්වයට යෝජනා වී ඇති එක්‌ විසඳුමකි. එය යෝග්‍ය විසඳුමක්‌ වුවත් සැලකිය යුතු කාලයකට වරක්‌ (ඇතැම් විට වසර දහයකට පහළොවකට වරක්‌) ඇති විය හැකි මහා ගංවතුරක අවදානමක්‌ උදෙසා තම ගම් අතැර යැමට ජනතාව සූදානම් ද යන්න එක්‌තරා ආකාරයකට ගැටලුවකි. මෙහි දී අපට සිහි වන්නේ සුනාමියෙන් පසුව වෙරළ තීරයේ මීටර් 100ක්‌ දුරින් ඉදිකිරීම් තහනම් කළ නීතිය අසාර්ථක වූ ආකාරය ය.

සැම වර්ෂයක ම පාහේ ගංවතුරින් යට වන අවදානමක්‌ සහිත ප්‍රදේශවල ගොඩනැගිලි ඉදි කිරීමේ ක්‍රමයක්‌ වේ. ඒවා පොළොවට වඩා අඩි කිහිපයක්‌ උසින් ඉදි කර තිබේ. තල්දූව හා දෙහිඕවිට වැනි ප්‍රධාන මාර්ග දෙපස ඇති නගරවල අදට දශක ගණනාවකට පෙර ඉදි කළ මෙවැනි ගොඩනැගිලි අද පවා භාවිත වේ. එසේ නම්, වසර ගණනාවකට වරක්‌ ගංවතුරට යට වීමේ අවදානමක්‌ සහිත ප්‍රදේශයකට එවැනි ක්‍රමවේද සුදුසු බව පැහැදිලි ය.

පුවත්පත්වලින් වාර්තා වන ආකාරයට, මේ වන විට අවදානමට ලක්‌ ව ඇති ප්‍රදේශ ආවරණය කරමින් වේලි ඉදි කිරීමට යෝජනාවක්‌ තිබේ. කෙසේ වෙතත් මේ වේලි ඉදි කරනු ලැබුව හොත්, දැනට ගඟේ පහළ ප්‍රදේශවලට ඇති ගංවතුර අවදානම, ඉදිරියේ දී එහි ඉහළ ප්‍රදේශවලට ඇති වීමට මෙන්ම ඒ ප්‍රදේශවල ගංවතුර වැඩි කාලයක්‌ රදා පැවතීමට හැකි බව අප අමතක නො කළ යුතු ය. එසේ නම්, එම ඉහළ ප්‍රදේශවල ඇති නිවාස, ගොඩනැගිලි, මාර්ග හා වෙනත් යටිතල පහසුකම් පිළිබඳව දැන් තබා සැලසුම් සකස්‌ කිරීම සුදුසු ය.

අනෙක්‌ අතට පූර්ව අනතුරු හැගවීමේ ඇති වැදගත්කම ද මේ ගංවතුරින් පැහැදිලි වී තිබේ. කැලණි ගඟ ඉහළ ප්‍රදේශයට කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාවක්‌ ඇති වුව හොත්, ඉන් අවම වශයෙන් එක්‌ දිනකට හෝ ඇතැම් විට දින දෙක-තුනකට පසු ව ඇතුළත ගඟේ පහළ ප්‍රදේශවලට දැඩි ගංවතුරක්‌ ඇති විය හැකි ය. ඒ බව ඉහත දැක්‌වූ නිදසුන්වලින් මෙන්ම මේ වර්ෂයේ දී සිදු වූ සිදුවීමෙන් ද පැහැදිලි වේ. ඒ දින ගණන ආපදා අවදානම ගැන අනතුරු හැගවීමට ප්‍රමාණවත් ය. විශේෂයෙන් අද මෙන් සන්නිවේදනය දියුණු කාලයක එය බෙහෙවින් ප්‍රමාණවත් කාලයකි. එබැවින් යම් පූර්ව අනතුරු හැගවීමේ ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය කිරීමෙන් කැලණි නිම්නයේ පහළ ප්‍රදේශවල ගංවතුර නිසා ඇති වන හානිය අවම කරගත හැකි ය. එසේ ම එවැනි අනතුරු හැගවීමක් සාර්ථක වන්නට නම්, ඊට අවනතව කටයුතු කිරීමට අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව ද සූදානම් කළ යුතු ය.

http://www.vidusara.com/2016/06/01/feature1.html