Friday, November 20, 2015

තෙල් සමාගම්වල සටකපට උපක්‍රම හෙළිදරව් වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 11.11.2015 (Vidusara)

(Topic: Tactics used by oil companies revealed)

http://www.vidusara.com/2015/11/11/feature3.html




දේශගුණ වෙනස්‌ වීම සත්‍යයක්‌ නො වන බව හෝ ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුමේ අඩුපාඩු ඇති බව පවසමින් ලෝකයේ විවිධ ඛනිජතෙල් සමාගම් කටයුතු කරන ආකාරය ප්‍රකට රහසකි. කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන අධික ලෙස නිකුත් කරන ෆොසිල ඉන්ධන භාවිත සීමා වීමෙන් උක්‌ත සමාගම්වල ආදායම් අහිමි විය හැකි නිසා ඔවුන් මේ ආකාරයෙන් සත්‍ය තොරතුරු නො සලකාහරිමින් කටයුතු කරන බව පෙනේ. ලෝකයේ ධනවත් ම සමාගම් අතර සිටින, මුදල් බලයෙන් මෙන්ම දේශපාලන බලයෙන් ද ශක්‌තිමත් තෙල් සමාගම්වලට මෙවැනි කටයුතු එතරම් අලුත් දේ නො වේ.

මේ සමාගම් ජනතාව ගේ හා ලෝකයේ සුබසිද්ධිය නො සලකා කටයුතු කර ඇත්තේ කෙතරම් වගකීමකින් තොර ආකාරයෙන් ද යන්න, පසුගිය සති කිහිපයක කාලය ඇතුළත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ අනාවරණය වී ඇති මෙවැනි එක්‌ සිදුවීමක්‌ සම්බන්ධව විස්‌තරවලින් පැහැදිලි වේ. මේ සිදුවීම් ජාලය සම්බන්ධ වන්නේ එක්‌සොන් (Exxon) ලෙස අතීතයේ හන්වන ලද, අද වන විට Exxon Mobil ලෙස හඳුන්වනු ලබන ලෝකයේ විශාලතම තෙල් හා ගෑස්‌ සමාගම සමග ය.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ InsideClimateNews නම් ආයතනයක්‌ විසින් මාස ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද කරුණු සොයාබැලීමක දී ය. ඔවුන් ඒ සඳහා මේ ආයතනයේ සේවය කළ පිරිස්‌, විද්‍යාඥයන් හා පෙඩරල් නිලධාරීන් ආදී පිරිස්‌ රැසකින් තොරතුරු ලබාගෙන ඇති අතර, වැඩි වශයෙන් 1977-1986 අතර කාලයට අයත් එක්‌සොන් සමාගමේ ලියෑවිලි විශාල ප්‍රමාණයක්‌ද පරීක්‌ෂාවට ලක්‌ කර තිබේ.

දේශගුණ වෙනස්‌ වීම දැනගත්තේ 1977 දී


එහි දී අනාවරණය වී ඇති ආකාරයට එක්‌සොන් සමාගම 1977 ජුලි මාසය තරම් ඈත කාලයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව දැන සිටියේ ය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වූ ඡේම්ස්‌ බ්ලැක්‌ මේ පිළිබඳව සමාගමට අනාවරණය කර ඇත්තේ මේ මාසයේ දී ය. සමාගමේ කළමනාකාරීත්වයට ඔහු පෙන්වා දී ඇත්තේ ලෝක දේශගුණය සම්බන්ධව මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රමුඛතම බලපෑම ෆොසිල ඉන්ධන දහනය කිරීම හරහා වායුගෝලයට කාබන් ඩයොක්‌සයිඩ් නිකුත් කිරීම බවයි. මේ සිදුවීමෙන් වසරකට පමණ පසුව ඔහු සමාගමට අනාවරණය කර ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යැමෙන් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.

මේ සිදුවීම් සිදු වන්නේ දේශගුණ වෙනස්‌ වීම පුළුල් මාතෘකාවක්‌ බවට පත් වීමට වසර 11ක්‌ තරම් ඉහත කාලයේ දී ය. මේ කරුණු අනාවරණය වීමත් සමඟ ම එක්‌සොන් සමාගම ඒ පිළිබඳව දැන සිටියා පමණක්‌ නො ව, සමාගමේ විද්‍යාඥයන් යොදාගනිමින් මාස කිහිපයක්‌ ඇතුළත මේ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් එහි ඉහළ ම විද්‍යාඥයන් කාබන්ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ගැන පර්යේෂණ කර ඇති අතර, දේශගුණ ආකෘති පවා ගොඩනගා අධ්‍යයන සිදු කර තිබේ. එසේ ම කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කරගැනීම සඳහා සාගරයට ඇති හැකියාව පිළිබඳව නෞකාවක්‌ යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයක්‌ සඳහා වරක්‌ ඩොලර් මිලියනයක පමණ මුදලක්‌ වැය කර ඇත. කෙසේ වෙතත් මේ පර්යේෂණ කටයුතු 1980 ගණන්වල මුල දී අඩාළ වූ අතර එතැන් සිට සමාගමේ කටයුතු වෙනස්‌ මගක්‌ ගත් බවක්‌ පෙනේ.

කෙසේ වෙතත් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කිරීමට එක්‌සොන් සමාගම කටයුතු කර ඇති අතර ඔවුන් පවසන්නේ අදාළ සමාගමෙන් මහජනතාවට විවෘත කර ඇති ලේඛන සමූහයක්‌ යොදාගනිමින් මේ චෝදනා එල්ල කර ඇති බවයි.

දේශගුණ සංශයවාදයට උදව් කිරීම


කෙසේ වෙතත් එක්‌සොන් සමාගමේ පසුකාලීන ක්‍රියාකාරකම් වඩාත් ආන්දෝලනාත්මක ය. සමාගම මේ ගැටලුව පිළිබඳව දැනුවත් ව සිටිය ද, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ යථාර්ථය ඔවුන් දශක කිහිපයක්‌ යන තෙක්‌ පිළිගත්තේ නැත. නිදසුනක්‌ ලෙස ගත හොත් 1988 වර්ෂයේ දී ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ කමිටුවක්‌ අමතමින් ඡේම්ස්‌ හැන්සන් නම් නාසා ආයතනය හා සම්බන්ධ ව සිටි ප්‍රකට විද්‍යාඥයා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යමින් තිබෙන බව පවසමින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පළමුවරට අවධානය යොමු කළ අවස්‌ථාවේ දී පවා එක්‌සොන් සමාගම සිටියේ වෙනස්‌ මතයක ය - සමාගම පවසා සිටියේ මේ පිළිබඳව ඇති විද්‍යාත්aමක දැනුම මතභේදාත්මක බවයි.

එක්‌සොන් සමාගයේ කටයුතු එතැනින් නැවතුණේ නැත. ඔවුන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක්‌ දක්‌වමින් කටයුතු කර ඇති බව වාර්තා වී තිබේ. මේ සඳහා යොදාගත් එක්‌ ක්‍රමයක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම අවතක්‌සේරු කරන කටයුතු සඳහා විවිධ පිටස්‌තර කණ්‌ඩායම්වලට අරමුදල් ලබා දීමයි. නිදසුනක්‌ ලෙස, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ විද්‍යාත්මක දැනුම ප්‍රශ්න කළ ගෝලීය දේශගුණ සමූහය (Global Climate Coalition) නම් එකතුව පිහිටුවීම සඳහා 1989 වර්ෂයේ දී මේ සමාගම මුල් වී ඇත. (මෙවැනි කණ්‌ඩායම් සඳහා අනුග්‍රහය ලබා දීමට විවිධ තෙල් සමාගම් කටයුතු කළ බව වාර්තා වී ඇත). එසේ ම ඇමෙරිකාව කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම වැළැක්‌වීම සඳහා ද එක්‌සොන් සමාගම කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. එතැනින් නො නැවතී කියෝටෝ සන්ධානයට වෙනත් රටවල් එක්‌ වීම වැළැක්‌වීමට පවා කටයුතු කර ඇති බව බව මේ වන විට හෙළි ව ඇත.

එපමණක්‌ නො ව මේ සමාගම මෙන්ම තවත් සමාගම් ගණනාවක්‌ එකතුව සකස්‌ කළ දේශගුණ සැකය මහජනතාව අතරට සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙළක්‌ සම්බන්ධව කරුණු අනාවරණය කරගැනීමට මීට මාස කිහිපයකට පෙර සැලකිලිමත් විද්‍යාඥයන් ගේ සංගමය (UCS) නම් එකමුතුව විසින් නිකුත් කර ඇති සොයා බැලීමකින් හෙළි වී ඇත. ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ ජනතාව එක්‌ එක්‌ පුද්ගලයා ලෙස දේශගුණ වෙනස්‌ වීම සැක කරනු ලබන තත්ත්වයක්‌ කරා කටයුතු කිරීම බව පැහැදිලි ය. මෙවැනි කටයුතු සඳහා එක්‌සොන් සමාගම විශාල මුදලක්‌ වැය කර ඇති බව ගී්‍රන්පීස්‌ ජාත්‍යන්තරය වැනි සංවිධාන පවා කලක පටන් පෙන්වා දී තිබේ.

මෙහි ඇති වැදගත් ම කරුණ වන්නේ මෙවැනි නොමග යෑවීම් නිසා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කටයුතු කිරීම ප්‍රමාද වී ඇති බවයි. මේ නිසා අපතේ ගොස්‌ ඇති කාලය බොහෝ ය. 1988 වර්ෂයෙන් පසු, මේ කරුණු සම්බන්ධව වාද කරමින් ගත කර ඇති කාලය දශක තුනකට ආසන්නය. එහෙත් ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සාධනීය පිළියමක්‌ තවමත් දැකිය නොහැකි ය.

මේ දුම්කොළ සමාගම්වල උපක්‍රමයමයි


මේ අතර එක්‌සොන් සමාගමේ කටයුතු පිළිබඳව නීතිමය පරීක්‌ෂණයක්‌ අවශ්‍ය බව පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත. ඒ සඳහා ම සකස්‌ කරන ලද අන්තර්ජාල පෙත්සමක්‌ අත්සන් කිරීම සඳහා ග්‍රීන්පීස්‌ සංවිධානය පසුගිය කාලයේ දී කටයුතු කළේ ය. පසුගිය සතියේ දී වාර්තා වූ පරිදි නිව්යෝක්‌ නීතිපතිවරයා පසුගිය දා මේ කරුණු පිළිබඳව පරීක්‌ෂණයක්‌ දියත් කර ඇති බව ද වාර්තා විය. ඒ අනුව මේ සමාගම දේශගුණ වෙනස්‌ වීමේ අවදානම සම්බන්ධව ජනතාවට ද, තෙල් ව්‍යාපාරයට ද බලපාන ආකාරය ගැන ආයෝජකයන්ට ද අසත්‍ය ප්‍රකාශ කළේ ද යන්න පිළිබඳව අවධානය යොමු ව ඇති බව පෙනේ.

මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් පූර්වාදර්ශයක්‌ තිබේ. තම නිෂ්පාදනවලින් ඇති විය හැති අනතුරුදායක තත්ත්වය හෙළිදරව් වීමෙන් ව්‍යාපාරවලට ඇති විය හැකි තර්ජනය නිසා දුම්කොළ සමාගම් ද අතීතයේ දී මේ හා සමාන ආකාරයකින් කටයුතු කර තිබේ.

1950 හා 60 දශකවල දී දුම්කොළ සමාගම් දුම්කොළවල ඇති හානිකර හා ඇබ්බැහි කරනසුලු බව පිළිබඳ කරුණු දැන දැන ම ඒවා වසන් කරමින් වෙනත් කරුණු පෙන්වා දෙන්නට හා පසුකාලීනව සැක සහිත වූ පර්යේෂණ සඳහා අරමුදල් ලබා දෙන්නට කටයුතු කර ඇත. එහි අරමුණ වූයේ මහජන මතය වෙනස්‌ කිරීම ය. මේ පිළිබඳව ගත් නීතිමය පියවරක දී ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක්‌ පෙන්වා දුන්නේ දුම්කොළ සමාගම් විද්‍යාත්මක කරුණු වසන් කිරීම සඳහා කටයුකු කර ඇති බවයි. ඒ ඔවුන් ගේ ආර්ථික වාසි සඳහා ය.

මේ අනුව තෙල් සමාගම් භාවිත කර අත්තේ දුම්කොළ සමාගම් අතීතයේ දී යොදාගත් උපක්‍රම හා සමාන උපක්‍රම බව පෙනේ. දුම්කොළ සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ වූයේ මානව සෞඛ්‍යය වීම ය. තෙල් සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ ව ඇත්තේ සමස්‌ත ලෝකයේ අනාගතය වීම ය. එය මිනිසුන් ගේ ද සියලු ජීවී සංහතියේ ද අනාගතය ද වේ. විද්‍යාව වැනි විශ්වසනීයත්වයෙන් යොදාගත යුතු මෙවලමක්‌ පවා අවශ්‍ය ආකාරයට වෙනස්‌ කර යොමු කරමින් ව්‍යාපාරික අවශ්‍යතා සඳහා යොදාගැනීමට සමාගම් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි.

http://www.vidusara.com/2015/11/11/feature3.html

No comments:

Post a Comment