Wednesday, May 22, 2013

ජලය, ජෛව විවිධත්වය හා හෙට දවස

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-05-22, පි. 11,14
http://www.vidusara.com/2013/05/22/feature5.html

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය අදට (මැයි මස 22) යෙදී තිබේ. ඒ වෙනුවෙන් මේ වර්ෂයේ තේමාව සේ තෝරාගෙන ඇත්තේ 'ජලය හා ජෛව විවිධත්වය' යන්නයි. 2013 වර්ෂය ජල සහයෝගීතාව සඳහා වූ ජාත්‍යන්තර වර්ෂය (International Year of Water Cooperation& ලෙස එක්‌සත් ජාතීන් විසින් නම් කිරීම හා සමගාමී වන ලෙස යොදාගෙන ඇති තේමාවකි. එසේ ම 2005-2015 දශකය ද 'ජීවය සඳහා ජලය' ('International Decade for Action ‘WATER FOR LIFE') නමින් දශකයක්‌ ලෙස නම් කර තිබේ.

ජලය හා ජෛව විවිධත්වය යන තේමාව අපේ පරිසරයේ ඇති ප්‍රධාන හා අත්‍යවශ්‍ය සංඝටක දෙකක ඇති වැදගත්කම ඉස්‌මතු කරන අවස්‌ථාවකි. ජලය හා ජීවය යනු එකිනෙකට බෙහෙවින් සම්බන්ධිත වූ සංඝටක දෙකකි. ජීවයේ පැවැත්ම උදෙසා ජලයේ ඇති වැදගත්කම ඉහළ ය. එතරම් සාකච්ඡා නො වූව ද ජලයට ද ජීවය අවශ්‍ය වේ. අනෙක්‌ අතට ජලය මෙන්ම ජීවය ද විවිධ අභියෝග ගණනාවකට මුහුණ දී ඇති වකවානුවකි මේ. ඒ නිසා මේ වර්ෂය සඳහා තෝරාගෙන ඇති තේමාව කාලෝචිත බව පැවසිය යුතු ය. මේ නිසා උක්‌ත සංඝටක දෙක පිළිබඳව සාකච්ඡා කිරීමට අපි සිතුවෙමු.

ජලය ජීවය සඳහා වැදගත් වන බැවින් ජෛව විවිධත්ව සංරක්‌ෂණය සඳහා ක්‍රියාත්මක ප්‍රයත්නයේ දී ජලයේ ඇති වැදගත්කම පිළිගෙන තිබේ. 2010 වර්ෂයේ දී ජපානයේ නගෝයාහි දී පැවැති ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ සමුළුවේ දී ජලය, ජෛව විවිධත්වය හා තිරසර සංවර්ධනය අතර ඇති සම්බන්ධයේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදි.

එහි දී සම්මත වූ 2011-2020 කාලය සඳහා වන ජෛව විවිධත්වය සඳහා වූ උපායමාර්ගික සැලැස්‌මට හා අයිචි ජෛව විවිධත්ව ඉලක්‌කවල ජලය හා සම්බන්ධ වන එක්‌ ඉලක්‌කයක්‌ තිබේ. 2020 වන විට භෞමික හා අභ්‍යන්තර ජලාශ අතරින් 17%ක්‌ හා වෙරෙළබඩ හා සාගරික පරිසර පද්ධති අතරින් 10%ක්‌ 2020 වර්ෂය වන විට සංරක්‌ෂණය කිරීම අයිචි ජෛව විවිධත්ව ඉලක්‌කවල උපායමාර්ගික අභිමථාර්ථ Cහි ඇතුළත් වන ජලය හා සම්බන්ධ වැදගත් ඉලක්‌කයයි (ඉලක්‌ක අංක 11). එහි තවත් ඉලක්‌කයක්‌ අත්‍යවශ්‍ය පරිසර පද්ධති සේවා සැපයීම යටතේ ද ජලය හා සම්බන්ධ සේවා ද සපයන පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය පිළිබඳව අවධානය යොමු කර ඇත. මේ සියල්ලෙන් පෙනෙන්නේ ජලයේ ඇති වැදගත්කම ගැන අවධානය යොමු වී ඇති බවයි.

ජීවයේ පැවැත්මට ජලය

ජීවය හා ජලය අතර සම්බන්ධය පෘථිවියේ ජීවයේ ආරම්භය දක්‌වා දිව යන්නකි. ජලය යනු ලෝකයේ ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූවකි. ජලය ජීවයේ පරිණාමය සඳහා බලපා ඇති තීරණාත්මක සාධකයකි. මේ නිසා ජෛව විවිධත්වයේ දැකිය හැකි විවිධ මට්‌ටම්වල විවිධත්වය සඳහා ද ජලය බලපා තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ජලය හිඟ පරිසර පද්ධතිවල දැකිය හැකි ජෛව විවිධත්වය ජලය සුලබ පරිසර පද්ධතිවලට සාපේක්‌ෂව අඩු ය. අනෙක්‌ අතට ඒකක ජල පරිමාවක්‌ පිළිබඳව සැලකූ විට මිරිදිය මත යෑපෙන ජීවීන් ගේ විවිධත්වය ඉහළ බව පෙන්වා දී තිබේ.

ජීවයේ ආරම්භය සඳහා මෙන්ම ජීවයේ පැවැත්ම සඳහා ද ජලය වැදගත් වී තිබේ. එසේ ම ජලය වැදගත් වන්නේ හුදෙක්‌ ජලයේ ජීවත්වන ජීවීන්ට පමණක්‌ නො වේ. භෞමිකව වාසය කරන ජීවීන්ට ද තම ජීවය පවත්වා ගැනීම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජලය හිඟ වීම ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපා ඇති අතර දේශගුණ වෙනස්‌වීම අර්බුද මේ තත්ත්වය තවත් උග්‍ර කරයි. නියඟය ජෛව විවිධත්වයට බෙහෙවින් බලපාන අතර අධික වර්ෂාව නිසා ද මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් පරිසර පද්ධතිවල පරිසර විද්‍යාත්මක වෙනස්‌කම් ඇති වීමට දිගුකාලීන දේශගුණයේ වෙනස්‌වීම් හේතු වේ.

අනෙක්‌ අතට ජලය හිඟ කාන්තාර වැනි පරිසරවල ජීවත් වන ජීවීන් ඒ සඳහා විශේෂයෙන් හැඩගැසී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, කිසියම් පරිසර පද්ධතියක ජීවත් වන්නේ එහි වාසය කළ හැකි, හා එම පරිසර පද්ධතියට ගැලපෙන ජීවීන් ය. නිදසුනක්‌ ලෙස ගත හොත් කිවුල්දිය වැනි සීමා සහිත පරිසර පද්ධතිවල වාසය කරන ජීවීන්ට මිරිදිය සැපයුමක්‌ තිබීම ද වැදගත් වේ. එවැනි පරිසරයක දී ජලයේ ඇති ලවණතාව වැනි තත්ත්ව ජීවීන් සඳහා තීරණාත්මක ලෙස බලපායි.

කලපු වැනි කිවුල් දිය පරිසර පද්ධතිවල වාසය කරන ජීවීන්ට ජලයේ ඇති තත්ත්වවල ඇති වන වෙනස්‌වීම් දැඩි බලපෑමක්‌ ඇති කළ හැකි ය. විශේෂයෙන් කිවුල් දිය පරිසර පද්ධතිය ඇති වීමට හේතු වන මිරිදිය සැපයුමේ වෙනස්‌වීම් ඇති වීමෙන් දැඩි ගැටලූ ඇති විය හැකි ය. අපේ රටෙන් ද එවැනි සිදුවීමක්‌ වාර්තා වී ඇත. ඒ 1980 දශකයේ දී ක්‍රියාත්මක වූ කිරිඳිඔය වාරිමාර්ග හා ජනපද ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. මෙහි දී කිරිඳිඔයේ ඉහළ ප්‍රදේශයේ ලූණුගම්වෙහෙර ජලාශය ඉදි කරන ලද අතර එම`ගින් හම්බන්තොට ආසන්නය දක්‌වා දක්‌වා කිරිඳිඔය දකුණු ඉවුරේ නව බිම් ප්‍රදේශයක්‌ සඳහා ජලය සැපයිණි. මෙහි දී යාය කිහිපයක්‌ හරහා එන මිරිදිය අවසානයේ ඇඹිලිකල කලපුවට එක්‌ විය. ඇඹිලිකල කලපුවේ වැඩි ජලය එක්‌වූයේ තවත් කලපුවක්‌ වු මලල කලපුවට ය. කිරිඳිඔය ජලාශ ව්‍යාපාරය අවසන් වූ පසුව මලල හා ඇඹිලිකල කලපුවලට පැමිණි මිරිදිය ප්‍රවාහය ඉහළ ගියේ ය. මේ නිසා අදාළ කලපුවල ලවණතාව අඩු විය. ලවණතාවේ විචල්‍යතා ඇති වීම හා ලවණතාව සමස්‌තයක්‌ ලෙස අඩු වීම ඒ පරිසර පද්ධතියේ දැඩි වෙනස්‌කම් ඇති කළේ ය. කලපුවල ලවණතාව අඩු වීමත් සමඟ පරිසර පද්ධතියේ ඇති වූ බරපතළ ම වෙනස්‌ වීම වන්නේ ඉස්‌සන් හා වෙනත් කලපු ජීවීන් අඩු වීමයි. එහි සෘජු ප්‍රතිඵලය වූයේ මේ සතුන් ගොදුරු කරගත් පක්‌ෂීන් ගේ ගහනය අඩු වීම ය. එසේ ම මේ වෙනස සිදු වීමට පෙර උක්‌ත කලපුවල වර්ෂයේ යම් කාලයක දී ඉස්‌සන් ඇති කිරීම සිදු කර ඇති අතර එම`ගින් පවුල් 400ක්‌ පමණ සිය ජීවනෝපාය සරි කරගෙන තිබේ. මේ වන විට අදාළ ප්‍රදේශ බුන්දල ජාතික වනෝද්‍යානය තුළ පිහිටා තිබේ. මේ සිදුවීමේ ඇති විශේෂත්වය වන්නේ එය මිනිසුන් විසින් පරිසරයේ සිදු කරන ලද වෙනස්‌වීමක ප්‍රතිඵලයක්‌ වීමයි.

මානව අවශ්‍යතා සඳහා ස්‌වාභාවික පරිසරයෙන් වැඩි වශයෙන් මිරිදිය ඉවත් කිරීම නිසා ද මෙවැනි ම බලපෑමක්‌ ඇති විය හැකි ය. මෙය එතරම් අලුත් දෙයක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස කෘෂිකර්මය සඳහා පරිසරයෙන් ජලය අධික ලෙස ලබා ගැනීම දැක්‌විය හැකි ය. මේ නිසා පරිසරයේ ගැටලූ ඇති වීම වැළැක්‌විය නොහැකි ය. මානව අවශ්‍යතා සඳහා අධික ලෙස ජලය ලබාගැනීම නිසා විශාල වශයෙන් වෙනස්‌ කරන ලද පරිසර පද්ධති රැසක්‌ ලෝකයේ තිබේ. මධ්‍යම ආසියාවේ පිහිටා ඇති ඒරල් මුහුද ඒ සඳහා නිදසුනකි. එහි ජලයෙන් වැසුණු ප්‍රදේශයේ ප්‍රමාණය 2007 වර්ෂය වන විට එහි මුල් ප්‍රමාණයෙන් 10%ක්‌ පමණ දක්‌වා අඩු වී තිබේ. එය ලෝකයේ දරුණුතම පාරිසරික ව්‍යසනයක්‌ ලෙස හඳුන්වන ලදි. මේ නිසා ඒරල් මුහුදේ ජෛව විවිධත්වයට පමණක්‌ නො ව ඒ ආශ්‍රිතව තම ජීවනෝපාය උපයාගත් මිනිසුන්ට ද යම් යම් ගැටලූවලට ලක්‌ වීමට සිදු විය. කෙසේ වෙතත් මේ වන විට ඒරල් මුහුද බේරා ගැනීම සඳහා යම් උත්සාහයක්‌ ක්‍රියාත්මක වේ. මළ මුහුද ඇතුළු තවත් විල් හා මුහුදු රැසක්‌ වාරිමාර්ග සඳහා ජලය ලබාගැනීම නිසා ලවණතාව ඉහළ යැමෙන් හා ජල ප්‍රවාහය අඩු වීමෙන් විනාශ වෙමින් පවතී. ඒ ඒවායේ ජෛව විවිධත්වයට ද බලපෑම් කරමිනි.

මිනිසුන් ගේ ජල භාවිතය මෑත කාලයේ දී ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. එය ඇතැම් විට තිරසර නො වන මට්‌ටමකට ළ`ගා වී ඇති බවක්‌ පෙනේ. වැඩි වන ජනගහනයත් සමඟ එය තවදුරටත් ඉහළ යැමට ඉඩ ඇත. මේ නිසා ලෝකයේ බොහෝ ප්‍රදේශ ජල හිඟතාවකින් පෙළීම දැකිය හැකි අතර එහි දී ගන්නා පියවර නිසා ජලය තවදුරටත් අධික ලෙස පරිසරයෙන් උකහාගැනීමෙන් ජෛව විවිධත්වයට බොහෝ ගැටලු ඇති විය හැකි ය.

අනෙක්‌ අතට ඇතැම් ජලජ ජීවීන්ට ඔවුන් ගේ ජීවන චක්‍රයේ වෙනස්‌ අවස්‌ථා සඳහා වෙනස්‌ ජලජ පරිසර පද්ධතිවලට ගමන් කිරීම සිදු කළ යුතු ය. එහෙත් මිනිසුන් විසින් සිදු කරනු ලබන වේලි තැනීම නිසා මේ සංක්‍රමණ රටාවලට බලපෑම් ඇති වේ. එය මානව ක්‍රියාකාරකම්වලින් ඇති වන අයහපත් ප්‍රතිඵල ඇති කළ හැකි සදුවීම් අතර වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් ගංගා සහ වෙනත් ඇල වේලි හරහා ඉදි කරන වේලි මගින් ආඳන් වැනි මසුන්ට ඔවුන් ගේ ප්‍රජනනය සඳහා පහළ ප්‍රදේශවලට හා සාගරයට ගමන් කිරීම අසීරු වූ අවස්‌ථා ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වේ. එපමණක්‌ නො ව වේල්ලකින් පහළ ප්‍රදේශයේ ජීවත් වන ජීවීන් ගේ පැවැත්ම වේලි මගින් අවදානමට ලක්‌ කර ඇත. මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා වේලි හා ජලාශ ආශ්‍රිතව පහළ ප්‍රදේශවලට ජලය ගලා යන අගල් පිහිටුවා ඇත. ඒවා මගින් අඛණ්‌ඩ ජල ප්‍රවාහයක්‌ පහළ ප්‍රදේශවලට සැපයෙන අතර ජල මාර්ගයේ ඉහළ පහළ ගමන් කරන ජීවීන්ට ද එම`ගින් පහසුව සැලසේ. පාරිසරික ප්‍රවාහ (environmental flows) යනුවෙන් ඇතැම් විට හඳුන්වන ජල ප්‍රවාහයක්‌ පවත්වාගැනීමේ වැදගත් බව මේ වන විට පුළුල් ලෙස පිළිගැනී තිබේ. මිනිසුන් කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම ජල විදුලිය සඳහා වැනි විවිධ අවශ්‍යතා සඳහා මේ වන විට වේලි තනනු ලබන නිසා මෙවැනි පියවර ගැනීම ජෛව විවිධත්වයේ පැවැත්ම සඳහා වැදගත් වේ. අපේ රටේ ද වේලි නිසා මෙවැනි තත්ත්ව පැනනැ`ගී ඇති බව අපට අමතක කළ නොහැකි ය.

ජලය සඳහා ජීවය

ඉහත දැක්‌වූ පරිදි, ජෛව විවිධත්වය සඳහා ජලය කෙතරම් ප්‍රයෝජනවත් වන්නේ ද යන්න අප හොඳින් දන්නා කරුණකි. එහෙත් ජල සැපයුමේ ගුණාත්මක බව හා ප්‍රමාණාත්මක බව පවත්වා ගැනීම සඳහා ජෛව විවිධත්වය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මේ කාර්යභාරය වැදගත් නමුත් ඇතැම් විට නො සලකා හැර ඇති හා එතරම් අවධානයකට ලක්‌ ව නොමැති කරුණකි.

ජල චක්‍රයේ විවිධ අවස්‌ථා සමඟ ජෛව විවිධත්වයේ සංඝටකයක්‌ වන පරිසර පද්ධති හා ජීවීන් සම්බන්ධ වේ. වනාන්තර, තෙත්බිම්, තෘණභූමි ආදි විවිධ පරිසර පද්ධති ජල චක්‍රය සමග සම්බන්ධ වේ. භූමිය හරහා ජලය ගලා යැමේ දී ජලයේ ඇති ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව පවත්වාගැනීම සඳහා මේ පරිසර පද්ධති දායක වේ. මේ සඳහා නිදසුන් කිහිපයක්‌ දැක්‌විය හැකි ය.

ශාක ම`ගින් සිදු වන උත්ස්‌වේදනය ආර්ද්‍රතාව පවත්වාගෙන යැම හා වර්ෂාපතනය සඳහා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ක්‍රියාවලියකි. එසේ ම ජලය ගබඩා කිරීමක්‌ සිදු කරන තෙත්බිම් ජල සැපයුම ස්‌ථාවරව පවත්වාගැනීම සඳහා සඳහා ද වැදගත් ක්‍රියාවක්‌ සිදු කරයි. ජලසැපයුම් ස්‌ථාවරව පවත්වා ගැනීම සඳහා වනාන්තර යොදාගැනීම සිදු කළ හැකි බව මේ වන විට පෙනී ගොස්‌ ඇත.

නිව්යෝක්‌ නගරයේ ජල සැපයුමේ ගුණාත්මක බව පවත්වාගැනීම සඳහා අදාළ ජලපෝෂක ප්‍රදේශය සංරක්‌ෂණය කිරීමට ගත් තීරණය ජෛව විවිධත්වයේ භාවිතය සඳහා ලෝක ප්‍රකට නිදසුනකි. දිගු කාලයක්‌ තිස්‌සේ ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයට ජලය ලබාගන්නා ලද්දේ කැට්‌ස්‌කිල් ජලපෝෂක ප්‍රදේශයෙනි (Catskill Watershed). එය පිහිටා ඇත්තේ නගරයට කිලෝමීටර් 200ක්‌ පමණ උතුරු දිසාවෙනි. එහෙත් මෑත කාලයේ දී එරට නීතිය අනුව අවශ්‍ය ප්‍රමිතියට වඩා මේ ජලයේ ප්‍රමිතිය අඩු වූ නිසා ජලය පෙරණය කිරීමේ පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීම හෝ අදාළ ජල ධාරාවේ පරිසර පද්ධතිය ආරක්‌ෂා කිරීම හෝ යන දෙකෙන් එක්‌ විකල්පයක්‌ තෝරාගැනීමට නිව්යෝක්‌ බලධාරීන්ට සිදු විය. ඊට වැය වන මුදල ඇස්‌තමේන්තු කරන ලදි. නගරය සඳහා යෝජනා කරන ලද පෙරුම්කරණ පද්ධතිය (filtration system) සඳහා අපේක්‌ෂිත වියදම ඩොලර් බිලියන 6-8 අතර ප්‍රමාණයක්‌ වූ නමුත් අදාළ ජලාධාර ප්‍රදේශය සංරක්‌ෂණය කිරීමට වැය වන බවට ඇස්‌තමේන්තු කරන ලද්දේ ඩොලර් බිලියන 1ත් 1.5ත් තරම් අඩු මුදලක්‌ විය. මේ අනුව 1997 වර්ෂයේ දී අදාළ ජලාධාර ප්‍රදේශය පරිසර දූෂණයෙන් ආරක්‌ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ආරම්භ කරන ලදි. මෙහි දී කැට්‌ස්‌කිල් ප්‍රදේශයේ සිදු වන ජල දූෂණයට හේතු වන ක්‍රියාකාරකම් නවතා දැමීම හා එවැනි ඉඩම් අත්පත්කරගෙන ස්‌වාභාවික පරිසර පද්ධතිය ස්‌ථාපිත කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලදි. අනෙක්‌ අතට මේ නිසා අදාළ පරිසර පද්ධතියේ විශේෂ විවිධත්වය ද ආරක්‌ෂා විය.

ජලපෝෂක ආරක්‌ෂා කිරීම මගින් ජල සැපයුම ස්‌ථාවරව පවත්වා ගැනීම සඳහා ක්‌ෂුද්‍ර ජල මූලාශ්‍ර ආරක්‌ෂා කිරීමෙන් ද කළ හැකි බව අපේ රටේ කඳුකරයේ සිදු කර ඇති ඇතැම් සංරක්‌ෂණ කටයුතු අනුව ද පෙනේ. විශේෂයෙන් ගම්මාන හා වතු සඳහා ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර ආශ්‍රිත පරිසර පද්ධති සංරක්‌ෂණය කිරීම ප්‍රමාණවත් බව මේ අනුව හෙළි වේ.

ජල චක්‍රය අඛණ්‌ඩව පවත්වාගැනීම ඇතැම් පරිසර පද්ධති මඟින් ඉටු වන පරිසර පද්ධති සේවාවක්‌ (ecosystem service) සේ සැලකේ. විශේෂයෙන් වනාන්තර හා තෙත්බිම් වැනි පරිසර පද්ධති මෙවැනි පරිසර පද්ධති සේවා ලබා දේ. මේ නිසා පරිසර පද්ධති මනාව කළමනාකරණයකින් යුක්‌ත ව පවත්වා ගැනීම ජල සුරක්‌ෂිතතාව සඳහා ද වැදගත් ය. වනාන්තර ජල සැපයුම් ආරක්‌ෂා කිරීමට හා පස සෝදා යැම වළක්‌වාලීමට උපකාරී වේ. එසේ ම, තෙත්බිම් ජලය සංචය කරන පරිසර පද්ධතියක්‌ වන අතර වැඩි ජලය ගබඩා කර තබාගැනීමට හා අවශ්‍ය අවස්‌ථාවල පරිසරයට නිකුත් කිරීමට ක්‍රියා කරයි. එම`ගින් නියඟ මෙන්ම ගංවතුර නිසා ඇති වන අවදානම ද අඩු කළ හැකි ය. එසේ ම තෙත්බිම් ම`ගින් ජලයේ ඇතුළත් විෂ ද්‍රව්‍ය බැහැර කිරීම ද සිදු කරයි. මේ සියල්ල ස්‌වාභාවිකව සිදු කරන අතර ඒ සේවාවන් ලබාගැනීමට පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය කිරීම තුළින් ද හැකියාව තිබේ. අඩු වියදම් ක්‍රියාවලියක්‌ වීම ද වැදගත් ය.

දූෂණයට ලක්‌ වූ ජලය පවිත්‍ර කිරීමේ දී ජෛව විවිධත්වයේ ඇති වටිනාකම හඳුනාගෙන තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපේ රටේ සාර්ථකව සිදු කර ඇති එක්‌ ව්‍යාපෘතියකින් ද මේ බව පෙනේ. කල්පිටිය අර්ධද්වීපයේ ගම්මානයක ජනතාව විසින් භාවිත කරන ලද අධික රසායනික පොහොර නිසා පසට එක්‌ වූ නයිට්‍රජන්, නයිටේ්‍රට, ක්‌ලෝරයිඩ හා පොටෑසියම් නිසා ජලය දූෂණය විය. මේ අධික දූෂණය නිසා ළිංවලින් ලබාගන්නා භූගත ජලය භාවිතයට ගත නොහැකි තත්ත්වයට පැමිණ තිබිණි. ජලයේ දැකිය හැකි ඉහත කී අයන ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය ඉක්‌මවන තත්ත්වයකට ඉහළ ගොස්‌ තිබිණි. මේ තත්ත්වයට පිළියමක්‌ ලෙස ජෛව පිළියම්කරණය (bioremediation) යෝජනා විsය. මේ මත පදනම් ව ව්‍යාපෘතියක්‌ දියත් කළ අතර මෙහි දී අදාළ ප්‍රදේශවල පානීය ජලය ලබාගන්නා ළිං අවට පිහිටි ක්‌ෂුද්‍ර ජලපෝෂක ප්‍රදේශ ස්‌වාභාවික වනාන්තරයක්‌ හා සදෘශ්‍ය වන සේ ශාක සිටුවීමෙන් සංරක්‌ෂණය කර තිබේ. ඒ සඳහා යොදාගන්නා ලද්දේ දේශීය වෘක්ෂලතා ය. මේ ශාක මේරීමෙන් අනතුරුව එහි පසේ නයිටේ්‍රට පෝෂක ප්‍රමාණය සැලකිය යුතු මට්‌ටමකින් අඩු වූ බව වාර්තා වී ඇත. වසර තුනක්‌ වැනි කාලයක්‌ ඇතුළත මේ වෙනස සිදු වී තිබීම විශේෂිත ය.

අනෙක්‌ අතට ශාක ම`ගින් සිදු කළ හැකි පිළියම්කරණය (bioremediation) යනු දූෂිත ජලය පිරිසිදු කිරීම සඳහා යොදාගත හැකි ක්‍රියාවලියකි. මේ තාක්‌ෂණය යොදාගනිමින් දූෂිත ජලය පවිත්‍ර කිරීම සඳහා කෘත්‍රිමව පිළියම්කරණ පද්ධති ස්‌ථාපිත කර තිබේ. ස්‌වාභාවික තෙත් බිමක්‌ සැලකුව හොත්, එහි ඇති ශාක භාවිතයෙන් සිදු වන්නේ ද මෙවැනි ම ක්‍රියාවලියකි.

මේ මත පදනම් ව පරිසර පද්ධති යනු ස්‌වාභාවික යටිතල පහසුකම් පද්ධති (natural infrastructure) බව සැලකීමට පටන්ගෙන තිබේ. ඇතැම් විට හරිත හෝ තිරසර යටිතල පහසුකම් ලෙස ද මේවා නම් කෙරේ. මෙහි දී ස්‌වාභාවික පරිසර පද්ධතිවල ඇති එකිනෙකට සම්බන්ධිත බව පිළිබඳව අවධානයක්‌ යොමු ව ඇති බව පෙනේ. අනෙක්‌ අතට ස්‌වාභාවික පරිසරයෙන් ලැබෙන ප්‍රයෝජන මිනිසුන් මේ වන විට අවබෝධ කරගෙන ඇති අතර ඉන් ගම්‍ය වන්නේ ස්‌වාභාවික පරිසර පද්ධතිවල දැකිය හැකි ප්‍රයෝජනවත් බව යළිත් තහවුරු කර ඇති බවකි.

මේ කරුණු සියල්ල අනුව ජලය සඳහා ජෛව විවිධත්වයත්, ජෛව විවිධත්වය සඳහා ජලයක්‌ අතිශයින් වැදගත් බව පැහැදිලි ය. මේ අනුව ජෛව විවිධත්වය පිළිබඳව අචධානයකින් යුක්‌තව ජලය කළමනාකරණය කිරීම වැදගත් වන අතර, පරිසර පද්ධති විවිධත්වය ප්‍රමුඛව ජෛව විවිධත්වය ආරක්‌ෂා කරගැනීමෙන් ජලය සඳහා ද සුවිශේෂ මෙහෙයයක්‌ ඉටු වේ. අනෙක්‌ අතට හායනයට ලක්‌ ව ඇති ස්‌වාභාවික පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය කිරීම, ජලය සුරක්‌ෂිත කිරීමට මෙන්ම ජෛව විවිධත්වය ආරක්‌ෂා කිරීම සඳහා ද ප්‍රයෝජනවත් ක්‍රියාවලියකි.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ ජලය ජීවය සඳහා සීමාකාරී සාධකයක්‌ වන්නේ හුදෙක්‌ සතුනට හා ශාකවලට පමණක්‌ නො වන බව ය. එය මිනිසා නම් සත්ත්වයටෙ ද සීමාකාරී සාධකයක්‌ වනු ඇත. මෙය අප විසින් ඇතැම් විට අමතක කරනු ලබන කරුණකි. මිනිසා නම් වූ ජීවියාට ජලය හා සම්බන්ධයක්‌ තිබේ. මිනිසා ගේ ජල භාවිතය හා සම්බන්ධව සැලකිය යුතු අතීතයක්‌ ඇති අතර එය මානව ශිෂ්ටාචරයේ වර්ධනය මෙන්ම බිඳවැටීම සඳහා බෙහෙවින් තීරණාත්මක ලෙස බලපා ඇති කරුණකි. අද දවසේ වුවත් එය වලංගු නො වේ යෑයි කිව නොහැකි ය.

http://www.vidusara.com/2013/05/22/feature5.html

No comments:

Post a Comment