Saturday, May 18, 2013

අපේ කාලයේ ලැබූ නිදහසේ සිවුවන සමරුව - මැයි 18

අද මැයි 18 වැනිදාය. එය අපට කිසිසේත් අමතක නොවන හා අමතක කළ නොහැකි දිනයකි. දශක තුනක් පමණ කාලයක් තිස්සේ අපේ රට ව්‍යසනයකට ඇද දැමූ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා අද දිනට (2013-05-18) වසර හතරක් ගත වී ඇත.

අපේ රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල 1970 දශකයේ මැද භාගයේ ආරම්භ වූ පැවැති ත්‍රස්තවාදී ගැටුම් අපේ ජීවිත බොහෝ සේ වෙනස් කළේය. අපේ මව්බිම බෙදන්නට ගෙනගිය ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ ජනජීවිත අඩපන කළේය. කොළඹද ඇතුළුව රටපුරා ත්‍රස්ත ප්‍රහාර, බෝම්බ වෙඩිතැබීම් වැනි පුවත් නොඇසූ දිනයක් නොමැති තරම් විය. අපේ මව්පියන් ඔවුන් කුඩා කළ අත් විඳි නිදහස අපට අත්විඳින්නට ලැබුනේ නැත. අප පාසල් ගොස් නිවසට එනතුරු අපේ දෙමාපියන් පසුවූයේ දැඩි බියකිනි. වැඩට ගිය පියා හෝ මව ආපසු නිවසට එනතුරු නිවසේ සෙසු පිරිස් මග බලා සිටියේ සැකයෙනි. බස් රථය, දුම්රිය පමණක් නොව මහමග යෑම පවා එදා අවදානම් සහිත විය.

අප කුඩා කළ පටන් අප ජීවත්වූයේ සැකසංකා සහිත ජන සමාජයකය. අපේ පරම්පරාවේ ජීවිත ගෙවුනේ හදිසි නීතිය සමඟය. මෑත අතීතයේ අපේ සිත් සසල කළ ඇතැම් ත්‍රස්ත ප්‍රහාර අදටත් සිහිවන්නේ එදා දැනුණු ශෝකයද සමගිනි.

මේ සැකසංකා අවසන් වූයේ 2009 වර්ෂයේ මැයි 18 වැනි දිනදීය. එදිනට පසුව ගෙවුණු දින කිහිපයේදී අපේ රටේ බහුතරයක් දෙනා අත්විඳි ප්‍රීතිය ඊට සාධකයකි. එය අපට දැනුදු සිහිපත් කළ හැකිය. එය සැබැවින්ම ජනතාව පැතූ හා සැබෑ වූ සිහිනයක්ම විය. එය ඔවුන්ගේ හදවතට දැනුණු නිදහස නිසාම උපත් ප්‍රීතියක් විය.

මේ නිසා මැයි මස 18 වැනි දිනය අපේ රටේ ඉතිහාසයේ සන්ධිස්ථානයකි. මෙය දෙවැනි නිදහස සේ ඇතැම් විට හඳුන්වනු ලැබීම සාධාරණ බව අපටද සිතේ. ඒ, සැබැවින්ම මේ දිනය දෙවැනි වන්නේ අප 1948 වර්ෂයේදී ලබාගත් නිදහසට පමණක් වන නිසාය. (එහෙත්, 1948 වර්ෂයේ අප ලබාගත්තේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් වන අතර එය සම්පූර්ණ වූයේ 1972දීය.)

අපට මේ සැබෑ නිදහස අපට ලබාදුන් සියලු රණවිරුවන්ට හා දේශප්‍රේමීන් සැමට අපේ උපහාරය පුද කරමු. ඔවුන් අතරින් ඇතැමෙක් අප අතර නැත. ඔවුන් සිය හෙට දිනය කැප කළේ අපේ අද දිනය උදෙසාය.


බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අභියස ඇති රණවිරු ස්මාරකය හිරු බැස ගිය පසුව.

ධනේෂ් විසුම්පෙරුම

No comments:

Post a Comment