Tuesday, October 15, 2024

වැස්ස නැවතුනා?

Climate Diary - දේශගුණ දිනපොත 07

ධනේෂ් විසුම්පෙරුම


"වැස්ස නැවතුනා වගේ නේද? මගෙන් එහෙම ඇහූවෙ උදේ මං ආපු (නොදන්න) තුන්රෝද රථයේ රියදුරායි.
"හ්ම්, ඒ වගේ" කියල මම කීවම,
"ටිකක් පායන්නත් ඕන සර්." කියපු ඔහු ඒක මෙහෙමත් පැහැදිලි කළා -
"එක දිගට දවසම වැස්සම මිනිස්සු තමන්ගේ වැඩ කල්දානවා."

ඊලගට මේ ගැන කීවෙ උදේට තේ එකක් බොන කඩේ කාන්තාව.
"අද නං පායනවා වගෙයි" ඒ ඇය කී කතාව.
"ඔව් පායන එක මිනිස්සුන්ගේ වැඩවලට හොඳයි. මොකද තදට වැස්සාම සමහර වෙලාවට බිස්නසුන් නැති වෙනවනේ." මගේ උත්තරේ ඒ.
"අපට නං බිස්නස් වැඩි උනා" ඇය කීවා.
"එහෙම ද?" මං ඇහුවා.
"ඔව් කෝපි, තේ බොන්න එන කට්ටිය වැඩි උනා"

බලන්න වැස්ස එකිනෙකා වෙනස් විදියට බලපාන හැටි...

මට මතක් උනේ තලවතුගොඩ පලතුරු බීම කඩේ. මේ වගේ එක දිගට වැහැපු කාලෙක ඒ කඩේ බිස්නස් නැති වුනානේ. වැස්සට කවුද, සීතල පලතුරු බීම බොන්නේ? අන්තිමට එයාලා තේ හා කෝපි විකුණන්න පටන් ගත්තා. ලොකු වචනවලින් 'ජීවනෝපාය විවිධාංගීකරණය' හා 'ජීවනෝපාය අනුහුරු වීම' කියන එකට මේක උදාහරණයක්.

මං කල්පනා කළේ මේ වැස්ස තවත් අයට දැනෙන හැටි - ඊයෙත් අදත් වසා තිබෙන කොළඹ කලාපෙ ඉස්කෝල ළමයින්ට හා ගුරුවරුන්ට මේක කොහොම දැනෙනව ඇතිද? ඒ ළමයි ගෙවල්වල ඉන්නකොට අම්මල තාත්තලාට කොහොම දැනෙනව ඇතිද කියලා...


කාලගුණය ජීවනෝපායට බලපාන ආකාරය ගැන ලිව්ව කලින් සටහන් දෙකක් - 

1. වැස්ස හා ජීවනෝපාය - https://dhaneshw.blogspot.com/2022/10/26-climate-diary-02.html

2. ජීවනෝපාය හා කාලගුණය - https://dhaneshw.blogspot.com/2022/11/17-climate-diary-03.html.html

Sunday, September 8, 2024

පැනගිය පුරුෂයෙක් ගැන පෙරනම් ප්‍රකාශයක්

මෙය පවුල් ඉතිහාස අධ්‍යයන අතර මට හමුවූ අපූරු සටහනකි.

මෙය කොළඹ ජාතික ලේඛනාගාරයේ ඇති විවාහ හා උපත් ලියාපදිංචි කරන ලද පුස්කොළ ලේඛනයක තිබී හමු වු එක් සටහනකි. 19වන සියවසේ මුල් දශක පහක පමණ කාලයක ට අයත් බස්නාහිර හා දකුණු පළාත්වල විවාහ හා උපත් සැලකිය යුතු තරම් මේ පුස්කොළ ලේඛන වල ඇතුළත්ය. මේවා ඒ ඒ ප්‍රදේශවල තිබූ පල්ලිවල පවත්වාගෙන ගිය උපත් හා විවාහ රෙජිස්ටර්ය. 

‍මේ උපුටා දක්වන සටහන පෙරනම් ලියාපදිංචියක් අවලංගු කිරීමකි. 

ඒ අනුව මෙහි වම් පස සටහනේ එන නම් සඳහන් පුරුෂයා (ළුවිස්) හා ස්ත්‍රිය (කත්‍රීනා) අතර* පෙර නම් දීම 1837 ජනවාරි මාසයේ 7 වෙනි දින සිදු වී ඇත. සාමාන්‍ය ලියාපදිංචියක නම් ඊට දකුණු පසින් ඇති සටහනේ දැක්වෙන කසාද බඳින්ඩ යෙදුනේ යනුුුුවෙන් කසාදය සිදු වූ දවස හා කවුරුන් විසින් කරන ලද්දේ ද යන්න පිළිබඳව වුවත් මේ සටහනේ ඇත්තේ වෙනස් සටහනකි. 

"මේ පෙරනමට අයිති ස්ත්‍රී පුර්‍ෂයෝ සන්වාස
නූනු නිසත් පුර්‍ෂයා සැඟවී ගිය නිසත් අවලඟු
කරන්ඩ ‌යෙදුනාය.

වර්‍ෂ 1839 පෙබ්‍රවාරි මස 27 දිනදීය"

 


මෙහි සඳහන් නම J M S Glenie බව පෙනේ. 1837 වර්ෂයේ Almanac ප්‍රකාශනය (පි. 145) අනුව ඔහු එංගලන්ත සභාවේ කොළඹ ප්‍රධානී තනතුර වන Archdeacon තනතුර දරා ඇත. මේ විවාහය අවලංගු කිරීම සිදු කර ඇත්තේ ඔහුගේ අත්සනෙනි. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි දී කසාදයට පෙර සැඟව ගොස් ඇත්තේ පුරුෂයා වීමයි. අපට වැඩි වශයෙන් අසන්නට ලැබෙන්නේ ස්ත්‍රිය සැඟව යාම හෙවත් කට වහරේ එන ආකාරයට නම් 'පැන යෑම' පිළිබඳවය. එහෙත් මේ සටහනේ දැක්වෙන්නේ පුරුෂයා පැන යෑමකි. මෙතෙක් මා කියැවූ, මේ කාලයට අයත් පහළොස් දහසකට අධික විවාහ ලියාපදිංචි කිරීම්වලින් මෙවැනි සිදුවීමක් නිසා සිදු වූ පෙරනම් දීමක් අවලංගු කිරීමක් හමු වූයේ මුල් වතාවටය.


'පෙර නම්' යනු කවරේද?

පෙර නම යනු විවාහය සඳහා දෙදෙනෙකුගේ නම් ප්‍රසිද්ධ කිරීමයි. විවාහ ගිවිස ගැනීම හෙවත් නම් දීම යනුවෙන් අද හැඳින්වෙන ක්‍රියාවට සමාන කටයුත්තකි. මෙය banns of marriage යනුුුුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

බටහිර සිරිත් ප්‍රකාරව විවාහයට පෙර විවාහ ලේකම් කෙනෙකු වෙත නීතිමය ලෙස ලියාපදිංචි කිරීම හෙවත් නම් ප්‍රසිද්ධ කිරීම බව පෙනේ. කලින් නම් දීම යන අරුතෙන් "පෙර නම්" දීම යන වචනය සිංහල වචනයක් සේ පෙනුනත් එය එසේ නොවන බව පෙනේ. මෙය පෘතුගීසි භාෂාවේ එන pregao නම් වචනයෙන් "පෙර ගම්" ලෙස සිංහලට බිඳී ඇති බව පැහැදිලිය. මුලින් තිබූ පෙරගම් යන්න තවදුරටත් විකාශනය වීමෙන් පෙර නම් යන්න ඇති වූ බවක් පෙනේ. (කෙසේ වෙතත් ක්ලෆ් (1887, Sinhala English Dictionary. B Clough) සඳහන් කරන්නේ පෙර නම වෙනුවට පෙරගම හා පෙරකම යනුවෙන් සඳහන් කරන්නේ වැරඳීමකින් බවයි. එහෙත් ඒය සාවද්‍ය පැහැදිලි කිරීමක් බව පෙනෙන්නේ විවාහ ලේකම් කිරීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසි සමයේ වීමත්, පෙර කී පෘතුගීසි වචනය පහසුවෙන් පෙරගම් යනුවෙන් සිංහලට පැමිණීමට ඇති හැකියාවක් ඇති නිසාය).

"අද පෙරගං - හෙට කිරිබත්" යනුවෙන් රබන් පදයක් ඇති අතර, ඉන් කියැවෙන්නේ අද සිදුවන පෙරගම් දීම හා පසුව කසාද බැඳීම වෙනුවෙන් පැවැත්වෙන මංගල උත්සවය පිළිබඳව බව පෙනේ.

පෙරගම ප්‍රකාශය හෙවත් පෙරනම් පත්‍රය යනු ඒ ලේඛනයයි.


*අදාළ පුද්ගලයින්ගේ නම් ඔවුන්ගේ පියවරුන්‌ගේ නම්, ගම් කුලය යන විස්තර මේ පුස්කොළ රෙජිස්ටරයේ ඇතුළත් වුවත් මෙහි ඒවා ආවරණය කර ඇත.


ධනේෂ් විසුම්පෙරුම
2024-09-08

Wednesday, July 31, 2024

අපේ පුස්තකාලවල ඉරණම

ධනේෂ් විසුම්පෙරුම

2024-07-31

කලක් තිස්සේ ටික ටික ලියමින් සිටි මේ සටහන අවසන් කිරීමට මට සිතුනේ මෑත දිනයක මගේ මිතුරෙකු පැවසූ කරුණක් නිසාය. ඔහු කී පරිදි, ඔහු "දැන් පොත් ගන්නේ අඩුවෙන්"ය. ඊට හේතුව ලෙස ඔහු කීවේ, ඔහුගෙන් පසුව පොත්වලට කුමක් වේද යන්න නොදන්නා බවයි. පරිසරය මෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන හා විශිෂ්ට දැනුමකින් යුක්ත ඔහුගේ දරුවන්‌ උනන්දුවක් දක්වන අංශ ඊට වඩා වෙනස් බව මම දැන සිටියෙමි.

මම පොත් ගැනීම අඩු කර දැන් කලක් ගත වී තිබේ. මම උනන්දුවක් දක්වන අංශවල වුවත් මගේ විශේෂිත උනන්දුවක් ඇති මාතෘකාවලට අදාළ පොත් මිස සෙසු පොත් දැන් මිලට ගන්නේ නැති තරම්ය. ඒ සඳහා මූලික හේතුව ඉඩ නොමැති වීම වන අතර, දෙවැනි හේතුව වන්නේ ආයතනික පුස්තකාල පරිහරණයට මට ඕනෑ තරම් අවස්ථාව තිබීමයි.

අපි බොහෝ දෙනා පෞද්ගලික පුස්තකාල නඩත්තු කරන්නෙමු. එසේම පොත්වලට ප්‍රේම කරන්නෙමු. අප මෙතරම් ප්‍රේම කරන පොත්වලට, අපෙන් පසුව අනාගතයේ දී අත්වන ඉරණම කෙබඳු විය හැකිදැයි අපි සිතා බැලිය යුතුය. 

පෙර සඳහන් කළ පරිදි මේ ගැන කලක සිට ලිවීමට සිතා සිටියේ සිදුවීම් දෙකක් නිසාය.

ගංවතුරින් පාලනය වූ පොත්


මට මුලින්ම මේ ගැන සිතුනේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි පැරණි සිවිල් නිලධාරියෙකු සතු වූ පුස්තකාලයට සිදුවන දේ පිළිබඳව ඔහුම පැවසු කරුණක් නිසාය. ඒ වසර පහලොවකට පමණ පෙර මා ඔහුගේ නිවසට ගිය අවස්ථාවක දී ය. ඔහු සතුව 1950 දශකයේ පමණ සිට එකතු කළ පොත් එකතුවක් විය. ඒ එකතුව දෙස බලමින් ඔහු පැවසුවේ අපේ පොත්වලට අනාගතයේ දී සිදුවන දේ ගැන කලින් සිතිය යුතු බවයි. ඔහුගේ දූ දරුවන් ඒ පොත් පත් පරිශීලනය නොකරන බව ඔහු කීවේ කම්පාවක් නොමැතිවයි. එසේම ඔහු මද සිනහවකින් කීවේ, "මගේ නං පොත් ටික ටික අවුරුදු කීපයකට වරක් නැතිවෙනවා" කියාය. ඒ කෙසේදැයි ඇසු විට ඔහු කීවේ පොත් රාක්කවල පහළ තට්ටුවල පොත් ගංවතුර නිසා විනාශ වී ඉවතලන්නට සිදුවන බවයි. ඒ නිවස පිහිටි අතුරු මාවත බරපතළ ගංවතුර අවස්ථාවල දී වතුරට යටවේ. ඔහු ඒ පොත්වලට කළේ කුමක්දැයි නොදනිමි. අද වන විට ඔහු ඒ පොත්-පත් පමණක් නොව ගිහි ජීවිතයෙන් ද ඇත්ව මහණ දම් පුරන්නෙකි.



නොදන්නා අත්වලට යන පොත්


තවත් අප දන්නා වියතකුගේ වසර හැට හැත්තෑවක් පමණ කාලයක් තිස්සේ එකතු වු පොත් එකතුව ඔහු මියගිය පසු නිවසේ උදවිය විසින් වෙනත් අයට රැගෙන යන්නට දී ඇත. ඔහුගේ දූ දරුවන් අතර ඔහුගේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන්නවුන් නොවිණි. මට දැනගන්නට ලැබුනු ආකාරයට පොත්වලින් කොටසක් හිතවත් අයෙකුගේ මැදිහත්වීමෙන් රජයේ විශ්ව විද්‍යාලයකට ලබා දී ඇත. එහෙත් අනෙක් පොත් විවිධ පුද්ගලයින් විසින් පැමිණ රැගෙන ගොස් තිබේ. එක් අයෙකු පැමිණ 'වෑන් ලෝඩ් එකක' පුරවා පොත් රැගෙන ගිය බව මට අසන්නට ලැබිණි. 


පොත්වල ඉරණම ගැන ලියැවුන දේ

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පොත් එකතු දෙක් එරික් ඉලියප්පආරච්චිගේ 'මගේ පුස්තකාල' නම් කෘතියේ එවැන්නක් ගැන සඳහන්ය. ඔහු පළමුවැන්න ගැන මෙසේ කියයි. 

"සුලේමාන් ටෙරසයේ පිහිටි සමාජ විද්‍යාඥයින්ගේ අගනා පුස්තකාලය රාක්ක සමග විකුණා දමනු ලැබුණේය. එදා සුලේමාන් ටෙරසය බස්රාවකට හෝ අලිප්පෝවකට හෝ සමාන විය. "අපේ රටේ දැනුමේ ඉරණමේ හැටි මෙහෙමයි" කවුදෝ කීවේ සුසුම් ලමිනි. මා ඇතුළු ඒ පොත් තුට්ටුවට දෙකට මිලට ගත් සියල්ලන්ට මිනිස් ශිෂ්ටාචාරය විසින් වරෙන්තු නිකුත් කරනු ඇත." (පිටුව 111)

ඉලියප්පආරච්චි තවත් වටිනා පුස්තකාලයක් ගැන ඒ කෘතියේම මෙසේ පවසා ඇත.

"වටිනා පුද්ගලික පුස්තකාල ද මේ ඉරණමට ලක්වන බව පරණ පොත් කඩවලට හා පදික පොත් වෙළෙඳුන්ට අත්සන් සහිතව ලැබෙන පොත්වලින් පැහැදිලි වේ. හිරිහැටියේ අනුර බණ්ඩාරනායකගේ නම සහිත ඉංග්‍රීසි පොත් රැසක් පදික වේදිකාවට පැමිණියේය. මිල දී ගත් නගරය ද ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වශයෙන් ඒවායෙහි ලියා තිබිණි. ඒ පොත් අනුව ඔහු මෙරට විසූ දුර්ලභ ගණයේ නිහඬ ප්‍රාඥයෙකි" (පිටුව 111)

අනුර බණ්ඩාරනායක යනු බොහෝ සේ පොත පත කියැවු අයෙකු බව රහසක් නොවේ. ඉලියප්පආරච්චි පවසන මේ සිදුවීම කරුණාරත්න අමරසිංහයන් දින වකවානු සහිතව ලියා ඇත. ඒ අනුව එය සිදුව ඇත්තේ 2016 අගෝස්තු මාසයේ 09 වැනි අඟහරුවාදා හෙවත් අනුරගේ මරණයේ වසර 8කට පසුවය! අමරසිංහයන් වෙනත්  මාතෘකාවක් ගැන ලියන සටහනක උක්ත සිදුවීම ගැන ලියා ඒ සටහන මෙසේ අවසන් කරයි. 

"මෙරට විශිෂ්ට දේශපාලන නායකයෙකු වීමට උපනිශ්‍රය ඇතිව උපන් අනුර බණ්ඩාරනායකගේ අකල් අභාවයෙන් අනතුරුව ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණු විවිධ විෂය පථයන්ට අයත් අගනා පොත්පත් මහ මග පදික වේදිකාවට කුණු කොල්ලයට විකිණී යෑම කොතරම් ඛේද ජනකද?" (අදාළ සටහන මෙතැනින් කියවන්න)


අපේ වගකීම කුමක් ද?

පොත් යනු දැනුමයි. තවදුරටත් අපට ඕනෑ නැතිනම් සහ අපෙන් පසුව ඒවා පත් විය යුත්තේ, ඒවා පත්විය යුත්තන් අතට බව දැන් මගේ ද අදහසයි. අප ආදරය කළ පොත් නැසෙනු දැකීමට අපි නොකැමැත්තෙමු. ඒ පොත්, අප මෙන්ම ඒවාට ආදරය කරන්නවුන් අතට පත් වීම එක්තරා ආකාරයක සැනසුමකි.

මේ සිතිවිල්ල අනුගමනය කරමින්, මම මගේ පොත් එකතුවෙන් මට අනවශ්‍ය යැයි සිතූ පොත් හා වාර්තා දෙසීයක් පමණ දෙවරක දී බැහැර කරන්නට උත්සාහ දැරීමි. සමහරක් අවශ්‍ය මිතුරන්ට මෙන්ම, සුදුසු යැයි මා සිතූ ආයතනයක පුස්තකාලයකට ද දුනිමි. ඒ ලද අත්දැකීම අනුව මා සිතන්නේ වඩාත් යෝග්‍ය වන්නේ ආයතනයකට ලබාදීම බවයි. 

ඉතින් ඔබත් පොත් ඇසුරු කරන්නෙකු නම්, වටිනා පොත් පත් තිබේ නම්, ඔබෙන් පසු ඒ පොත් පරිස්සමින් කියවන්නෙකු සමීපතමයන් අතර නොමැති නම්, ඔබෙන් පසුව සුදුසු අයෙකුට හෝ ආයතනයකට ඒ පොත් ලබා දීමට කාරුණීක වන්න. 

එසේම ඒ තීරණය කලින් ගත යුතුය. 

ඡායාරූපය - මම මගේ එකතුවෙන් කලකට පෙර බැහැර කළ පොත් අතරින් කිහිපයක්.


Monday, July 29, 2024

ඔබ ආයෙමත් ඇවිදින් - රඹුටන්, මැංගුස්, ගඩුගුඩා හා දූරියන්

Climate Diary - දේශගුණ දිනපොත 06

ධනේෂ් විසුම්පෙරුම



ආපසු රඹුටන්, මැංගුස්, ගඩුගුඩා හා දූරියන් පාරට ඇවිත්. ඒක අමුත්තක් නෙමෙයි - මොකද මේ තමයි සාමාන්‍යයෙන් ඔය පලතුරු වෙළෙඳපොලට එන කාලය. ඒ කියන්නේ ජුලි-අගෝස්තු මාස.

ඒත් මේ අවුරුද්දේ මාර්තු මාසෙ දී වගෙත් මේවා වෙළෙඳපොලේ තිබ්බා. ඒකට හේතුව මේ අවරුද්ද මුල් කාලෙදි මේ පලතුරු හැදෙන තෙත් කලාපයට සැලකිය යුතු වැස්සක් වැටීම වෙන්න ඕන. සමහර අවුරුදුවල නොවැම්බර් දෙසැම්බර් මාසවල දීත් මේ පලතුරු සුලබ උනා.

මේක වර්ෂාපතනයේ වෙනස් වීම එක්ක ඇති වන වෙනසක් වගේ පේන්නේ. අපේ වර්ෂාපතන රටාව වෙනස් වෙලා - සාමාන්‍යයෙන් වහින්නේ නැති කාලවල දී පවා සැලකිය යුතු වැස්සක් වැටෙන අවස්ථා දැන් දැන් තිබෙනවා. පලතුරු වාර ගණන දෙකක් තුනක් වීම සාධනීය වෙනසක් විදියට ගන්නත් පුළුවන්. හැබැයි මේක  හැමදේටම සාධනීය නෑ - ගොයම් කපන්න ආසන්නයේ වැටෙන වැස්සෙන් ග‌ොයමට හානි වෙනවා. අනෙක මේක හැම අවුරුද්දකම වෙන්නේ නෑ.

තවත් වැදගත් දෙයක් - මේ පලතුරු ‌හතරම විදේශීය සම්භවයක් ඇති පලතුරු. ගඩුගුඩා හැර අනෙත් තුන වර්තමාන මලයාසියාව ප්‍රදේශයේ සම්භවය වූ පලතුරු වන අතර, ගඩුගුඩාවල සම්භවය පොදුවේ අග්නිදිග ආසියාවේ බව පැවසෙනවා. මේවා 18-19 සියවස්වල දී අපේ රටට හඳුන්වා දීමෙන් පසු රටේ ජනතාව විසින් වැළඳගනු ලැබුවා. 'පලතුරු ලෝකයේ රජු' යැයි පැවසෙන දූරියන් කියන්නේ මේ රටේ වැඩිම මිලකට අලෙවි වන පලතුරක් වෙන්න ඕන. තවත් විදේශීය සම්භවයක් ඇති පලතුරු වන කජු හා අන්නාසි උනත් මිල අධික පලතුරුයි.

මේ වගේ බොහෝ විදේශීය එලවළු හා පලතුරු මිනිසුන් විසින් ලෝකයේ අනෙක් රටවලට ගෙන ගොස් තම පරිභෝජනය සඳහා වවා ගැනීම නිසා ලෝකය පුරා ව්‍යාප්ත වී තිබෙනවා. ඇතැම් එළවළු හා පලතුරු අපට කෙතරම් සමීප ද කියනවා නම්, ඒවා විදේශීය රටවලින් අපේ රටට හඳුන්වා දුන්නාද යන්න විශ්වාස කරන්න පවා නොහැකි තරම්. ඒ පිළිබඳව ලියැවුණු ලිපියක් මෙතැනින් කියැවිය හැකියි (අදාළ මුල් පර්යේෂණ පත්‍රිකාවට සබැඳියක් එහි ඇති) - https://dhaneshw.blogspot.com/2016/07/blog-post.html

2024-07-29


Sunday, June 23, 2024

පාසලෙන් ඈත් වීම

මෙය පසුගිය දා මා දුටු මීම් එකකි. තරමක හාස්‍යයක් දැනුනත් මේ තුළින් පෙන්වන්නේ අද උසස්පෙළ පාසැල් අධ්‍යාපනයේ ඇති අර්බුදයයි. උසස් පෙළ කරන වයසේ ළමුන් පාසැලට නොපැමිණීමයි - කලින් පාසල් යෑම නැවැත්වීමයි.


මා දකින ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වන ආකාර දෙකකි.

1.     උසස් පෙළ කරන ළමුන් - මේ අතරින් සමහර ළමුන් පාසලට වඩා උපකාරක පංති සඳහා කාලය වෙන් කර ඇත. ඒ නිසා පාසල් පැමිණෙන්නේ නැත. මදක් විමසීමෙන් බැලුවහොත්, සතියේ දිනවල උදේ වරුවේ උපකාරක පංති ඇති ස්ථාන බොහෝ ඇති බව දැකිය හැකිය.

2.      උසස්පෙළ නොකරන ළමුන් - ළමුන් සමහරක් උසස් පෙළ විභාගය නොකර පෞදගලික සරසරවියක උපාධියක් කිරීමට යොමු වන නිසා පාසැල් පැමිණීම අවශ්‍ය නැත. එහෙත් මෙය වැඩි වශයෙන් නාගරික ප්‍රවණතාවයක් වන අතර එය සිදු කළ හැක්කේ යමක් කමක් ඇති අයටය. (මා දන්නා පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ ද උසස් පෙළ නොමැතිව පදනම් පාඨමාලාවකින් පසුව උපාධියක් කළ හැකිය.)

මෙහි ඇති ගැටලුව වන්නේ උසස්පෙළ අධ්‍යාපනයේ ඇති වටිනාකම හුදෙක් විෂය නිර්දේශයට සීමා නොවීමයි. එය තවත් අංශ ගණනාවකට යොමු වී ඇත. මද කලකට පෙර ව්‍යාපෘති ක්‍රමය මගින් ඵලදායී තත්ත්වයක් ඇති විය. අනෙක් අතට පාසැල් ජීවිතයේ හොඳම කාලය වන්නේ උසස් පෙළ සමය බව මගේ අදහසයි. අප නිදහසේ ක්‍රීඩා, කලා, සමිති සමාගම් ආදියේ අත්දැකීම් ලැබුවේ ඒ කාලයේ දීය. ළමයෙකු සමාජයට නික්මීමට පෙර හැඩගැස්වීමේ ලා මේවා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

රටේ නිදහස් අධ්‍යාපනයක් නැතැයි ඔබට සිතිය හැකිය. නැත, ගාස්තුවලින් නිදහස් වූ අධ්‍යාපන අවස්ථාව සරසවි අධ්‍යාපනය දක්වාම අපේ රටේ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ තමන්ගේම (හා දෙමාපියන්ගේ) කැමැත්තෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීමය. එසේම අප මේ කතා කරන්නේ එකේ පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලද (එහි වටිනාකම නොදන්නා) ළමුන් පිළිබඳවය.

ධනේෂ් විසුම්පෙරුම

2024-06-23

Monday, May 20, 2024

හුදකලා වූ මරණය...

සැතපේ නිසලව
අවසන් නින්දේ
දිවිගමන නිම කළ 
පියෙකු සිය නිවහනේ...

තැන තැන හිඳිත්
සෝබර වතැතිව
පවුලේ අය පමණක්ම
අඳුරුය නිවෙස ද, අහස ද...

ළඟම නෑසියන්
කළණ මිතුරන්
පැමිණෙනු නොහැකිව
ඇමතුම් දෙත්
අසල්වැසියන් ද
එසේම ය...

පැමිණිවුන් ද නොරැඳෙති
නෑ-හිතවතෙකු වුව
වරකට සිටියැකි ගණන
නියම කර ඇති බැවින...

මළකෙනාගේ මතක
නොපැමිණේ සබයට
කතාවට අයෙකු නැත
මීටරේ දුර සිට වුව ද...

පැය විසිහතරකින්
නික්මිය යුතුය
දශක ගණනක්
ඔහු විසූ ‌සෙව‌නෙන්...

ගුණ කියන්නට
උත්සව සභා නැත
ගුණ අසන්නට
මහ සෙනග නැත...

ගමේ පන්සල වසා ඇත
වසංගතය නිසාවෙන්
හිමිවරුන් වැඩමවින
යාබද ගමක විහාරෙන්  
පාංශුකූලයට...

කොරෝනා ගෙන ආ
වෙනසය මේ...
මරණය හුදකලා වූව ද,
වෙන්වීම දැනේ හදවතට..

ධනේෂ් විසුම්පෙරුම

2024-05-20

සටහන- කොවිඩ් වසංගත සමයේ දී, තෙවසරකට ‌පෙර මා සහභාගී වූ මළගෙදරකින් ලත් අත්දැකීමකින් වික්ෂිප්තව, ඇතැම් හිතවතුන් හා ඔවුන්ගේ නෑසියන් ඒ කාලයේ මියගිය බවක් කලක් යනතෙක් ‌නොදැන උන් සිදුවීම් කීපයකින් ජනිත වූ ශෝකයෙන් ලියන ලද්දකි. මෙතෙක් මෙය පළ කරන්නට සිතුනේ නැත.

අවමංගල්‍යයක් යනු මෙරට සමාජයේ සමාජයීය සිදුවීමකි, අවස්ථාවකි. ඒ ගැන මතුවට ලියනට සිතා සිටිමි.

Sunday, May 12, 2024

අධික උණුසුම නිසා සිදු වන මරණ

Historical Notes - ඉතිහාස සටහන් 04
Climate Diary - දේශගුණ දිනපොත 05

ධනේෂ් විසුම්පෙරුම

2024-05-12

අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ කීපයක් පසුගිය දිනවල යාපනයෙන් වාර්තා වී තිබේ. මෙවැනි මරණ වරින්වර ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතත්, කෙටි කාලයක් තුළ මරණ කීපයක් වාර්තා වීම එතරම් සුලබ නොවේ.

ගතවන 2024 වර්ෂයේ මේ දක්වා ගත වූ මාස කිහිපය අධික උෂ්ණත්වයක් සහිත අවුරුද්දකි. සමස්තයක් ලෙස  එය ලෝකයටම ‌පොදු වූ කරුණකි. එවැනි අධික උෂ්ණත්වයක් ඇතිවන තත්ත්වය හමුවේ අපේ රටේ ඇතැම් ප්‍රදේශ හා ප්‍රජාවගේ ඇතැම් කණ්ඩායම් (වැඩිහිටියන්, රෝගීන් හා කුඩා ළමුන්) වැඩි අවදානමකට ලක් විය හැකිය. මේ පිරිස් හා එළිමහනේ කටයුතු කරන පිරිස් විසින් ගත යුතු පියවර කාලගුණ විද්‍යා හා සෞඛ්‍ය අංශ දක්වා ඇත්තේ සැලකිය යුතු කලක සිටය. ඒ අධික උෂ්ණත්වය නිසා පුද්ගලයින්ට ඇති විය හැකි තාප ආඝාතය වැළැක්වීම පිණිසය.

අතීත වාර්තා


මේ තත්ත්වයට අතීතයේ දී ලක් වූ විදේශිකයන් ගැන ද වාර්තා වී ඇත. එසේ මියගිය සමහරුන්ගේ සුසාන ස්මාරක ද රටේ කිහිප ස්ථානයක හමුවේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පුවේ පරණ ලන්දේසි බලකොටු භූමියේ කෙලවරක පිහිටා ඇති සුසානයි.

චාල්ස් ලේස්ගේ සුසානය (1878)


SACRED
TO THE
MEMORY OF
CHAELES LEYS
OF THE
ORIENTAL BANK CORPORATION
WHO DIED OF SUNSTROKE
AT
MARISIKADDI
ON THE 14TH APRIL, 1878
AGED 35 YEARS

මෙහි වැඩි විස්තර සඳහන් කරන ජේ.පී. ලුවිස්ට [1, පි. 249] අනුව, චාල්ස් ලේස් මරිච්චිකඩ්ඩි වෙත පැමිණ ඇත්තේ දඩයම් චාරිකාවකය. පෙර දින යාපනයේ සිට මරිච්චිකඩ්ඩියට ඔහු පැමිණ ඇත්තේ ද ආවරණයක් නොමැති යාත්‍රාවකය. එදින උදෑසන මරිච්චිකඩ්ඩි සිට සැතපුම් හතක් දුර ප්‍රදේශයක දඩයමේ ගොස් ඇති අතරතුර රෝගාතුර වූ බැවින් ආපසු පැමිණ තිබේ. එහෙත් ඔහු මරිච්චිකඩ්ඩි තානායමේ දී එදිනම සවස මියගිය අතර, අරිප්පුවට ගෙන ගිය සිරුර මරණ පරීක්ෂණයකින් පසු අරිප්පුවේ තානායම් භූමියේ කෙලවරක භූමදානය කර ඇත. එහි ‌මේ සුසානය ගොඩ නගා තිබේ (අරිප්පුවේ ඕලන්ද කොටුව පසුකලක තානායමක් ලෙස භාවිත කරන ලදි. තානායම් ගොඩනැගිල්ල ලෙස භාවිත කර ඇති කොටුවේ පිහිටා තිබූ ගොඩනැගිල්ලේ හා අට්ටාලවල නටබුන් එහි ඇත.)

මේ හැර අධික උෂ්ණත්වය නිසා මියගිය බවට සුසාන පුවරුවල සඳහන් වන දෙදෙනෙක් පිළිබඳව ජේ. පී. ලුවිස් සිය List of inscriptions on tombstones and monuments in Ceylon කෘතියේ සඳහන් කරයි. ඒ අය මියගිය දින හා සුසාන පිහිටා ඇති ස්ථාන මෙසේය.

  1. ඇන්ඩෘ මැක්ගිල් (36) - මොහු තාප ආඝාතය නිසා අඹගමුවේ, රොසැල්ල වත්තේ දී මියගියේ 1873.11.13 දිනය (මහනුවර ගැරිසන් සුසාන භුමියේ පිහිටි සුසානයකි, ලුවිස්, පි.319)
  2. ඇලිස් මෝඩ් මේසි ස්වින්නර්ටන් (ළදැරියකි) - දැරියගේ සුසානයේ ඇති පාඨයක් මත ඇය තාප ආඝාතයෙන් මියගිය බව ලුවිස් පෙන්වා දෙයි. ඒ 1876 මාර්තු 7 දින දීය. (පුස්සැල්ලාවේ ශුද්ධ ත්‍රිත්ව සුසානභූමියේ ඇති සුසානයකි, ලුවිස් පි. 348)
මේ ගැන විමසනවිට පෙනී ගියේ 1876-78 කාලය මෙන්ම 1873 ද එල් නිනෝ තත්ත්වය පැවති වර්ෂයක් වූ බවයි. ඒ අතරින් 1876-78 කාලය ඉතා බරපතළ එල් නිනෝ තත්ත්වයක් පැවති බව මයික් ඩේවිස්ගේ කෘතියේ ක්වා තිබේ [2]. අනෙක් අතට පසුව සඳහන් මරණ දෙකම ඇති වී තිබෙන්‌නේ උණුසුම අඩු දේශගුණයක් ඇති කඳුකර ප්‍රදේශවලය.

අධික උෂ්ණත්වය නිසා සිදු වූ ඉහත මරණ අප දන්නේ සුසාන පුවරුවල ඒ පිළිබඳව සඳහන් වන නිසාය. එසේ සඳහන් නොවන, ඒත් අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරණ කෙතරම් සිදුවන්නට ඇත්දැයි අපි නොදනිමු. වඩා ශීත දේශගුණයකට හුරු විදේශිකන්ට මෙන්ම මෙරට වැසියන්ට ද කලින් කල ඇති වන ඒ අධික උෂ්ණ තත්ත්වයට දරාගැනීමට අපහසු වන්නට ඇත.

මූලාශ්‍රය 

[1] Lewis, J. P. (1913) List of inscriptions on tombstones and monuments in Ceylon, of historical or local interest, with an obituary of persons uncommemorated, Colombo: (Printed by) H. C. Cottle. (සබැඳිය - වෙබ් පිටුව, PDF ගොනුව (‌26MB))

[2] Davis, Mike (2001) Late Victorian holocausts: El Niño famines and the making of the third world, London, New York: Verso (සබැඳිය - ඇතැම් කොටස් සහිත වෙබ් පිටුව)

Thursday, March 21, 2024

තුන් රෝදයේ "ජීවිතය"

තුන්රෝදයේ කතා 2


ගෙදර ආසන්නයේ ඇති පින් ළිඳ අසල පාර අයිනේ උදේට තුන්රෝද රථ කීපයක් නවත්වා තිබෙනු මම නිතර දකිමි. එසේම උදෙන්ම ඒ ළිඳේ නාගන්නා අය ද දකිමි.

මේ කරුණ වටහා ගන්නට මට දින කීපයක් ගත විය. රාත්‍රියේ දි මේ තුන්රෝදවල කර්ට්න් දමාගෙන ඒවායේ රියදුරන් ඇතුළේ නිදිය. ඒ ඔවුන්ගේ රාත්‍රී නවාතැනයි. උදෙන්ම අසල ඇති පින් ළිඳෙන් නෑමෙන් පසු ඔවුහු හයර් දුවන්නට යති.

මට කතා කරන්නට ලැබුණු එක් රියැදුරෙකු කී පරිදි එතැන නයිට් පාක් කරන වාහන ගණන අටකි. ඔවුහු කොළඹින් බැහැර පදිංචි අය වන අතර, ඇප් හරහා එන කුලී ගමන්වල යෙදෙති. ඒ නිසා තුන්රෝද රථ පාක් අවශ්‍ය නැත. ඔහු මා හා කතා කළ දවසේ උදේ හයහමාරට එතැන සිටියේ ඔහු පමණකි. අනෙක් අය උදේ හය වන විට සූදානම්ව යන්න ගොසිනි. "බෝඩිමක හිටියා නම් අපි උදේ හත අට වෙනකනුත් නිදි සර්" යන්න ඔහුගේ අදහස විය.

මෙවැනි ජීවිතයක් තරමක් දුෂ්කර කටයුත්තකි. තුන්රෝද රියක පසුපස අසුනේ නිදාගැනීම මෙන්ම දිනපතාම නිදාගැනීම පහසු දෙයක් නොවේ. නවාතැන් සඳහා යන ගාස්තු ඉතිරි කර ගැනීම මේ ක්‍රමවේදයේ මූලික අරමුණ විය හැකිය. එවැනි තවත් පිරිසක් රාත්‍රියේ ආසන්න නගරයේ ද තැනකට රොක්වෙති.

කෙසේ වෙතත්, ගෙදර ලග හන්දියේ තුන්රෝද රියදුරු මිතුරෙකු කී විදියට නම්, ඒ අයට ප්‍රමාණවත් තරම් තුන්රෝද හයර් ඇති නිසා ඒ තරම් කට්ටක් කන්නට අවශ්‍ය නැත. ඔහු කීවේ "ඕක මොන ජීවිතයක් ද? මට නං කවදාවත් කරන්න බෑ" යනුවෙනි. ඒ මිත්‍රයා ජීවිතය ගත කරන හැටි කෙසේ ද යත්, බීමතින් රිය ධාවනය නිසා කීපවරක්ම දඬුවම් වින්දෙකි. වරක්, බීමතින් පොලිසියට හසු වී, කලබල ඇති කරගත් නිසා උසාවි ගොස් රියැදුරු බලපත්‍රය ද අහිමිව මාස දෙකක් පමණ, පොලීසිය නැති හන්දිවලට පමණක් රු. 50-60 (ඒ කාලෙ) හයර් දිවූ අයෙකි!


ධනේෂ් විසුම්පෙරුම

2024-03-21

Thursday, March 14, 2024

සූදුවට ඇති ආසාව - The passion for gambling

ඉතිහාස සටහන් - 2

ධනේෂ් විසුම්පෙරුම 


සූදුවට ඇති ආසාවේ තරම කියැවෙන අපුරු කතාවක් මෙරට පාර්ලිමේන්තු විවාද අතර කියැවී තිබේ. ඒ, 1956 මාර්තු මාසයේ පමණ සූදු ආඥාපනතට සංශෝධනයක් (Gaming Bill) ගෙන ආ අවස්ථාවේ දී පැවති විවාදයේ දීය.

මෙය සවිස්තරව පවසන්නේ කෝට්ටේ මන්ත්‍රී ඩී.බී.ආර්. ගුණවර්ධනය (රොබට් ගුණවර්ධන). එය හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දන්වන්නේ නම් මෙසේය.

"... කොටුවේ පසුගිය කාලයේ ඇති වුණු සිද්ධියක්. උසස් ධනපති පංතියේ දෙදෙනෙක් - රේස් අශ්වයන් පවා තබාගෙන සිටින දෙදෙනෙක් - ගහක වහලා සිටි කපුටන් දෙන්නෙකු දෙස බලා ඉස්සර වෙලා ඉගිලෙන කපුටාට රුපියල් 10000ක ඔට්ටුවක් ඇල්ලුවා"

විවාදයට පෙර ඔහු මේ කතාව රුවන්වැල්ල මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට ද පවසා ඇති බව පෙනෙන්නේ රොබට්ගේ කතාවට පෙර ඇන්. ඇම්. සිදුකරන කතාවේ දී ඒ ගැන සැකෙවින් පවසන නිසාය. ඔහු ඉන්පසුව පවසන මේ ප්‍රකාශය අගනා එකකි.

“අහඹු දේ හෙවත් වාසනාව වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ගැනීම සඳහා මිනිසුන් දක්වන අධික උනන්දුව හා ශූරත්වයට සීමාවක් නොමැත. නීති මගින් හෝ කිසිදු ව්‍යවස්ථාදායක/ නෛතික අරමුණකින් ඔබට එය වැළැක්විය නොහැක.” (There is no limit to the anxiety of and ingenuity of man to stake his life on chance and you cannot prevent that by law or any legislative intention.)

මූලාශ්‍රය - හැන්සාඩ් (පාර්ලිමේන්තු විවාද), 1956 මාර්තා 21 (තීරු 2263 හා 2254)

ඉංග්‍රීසි කොටසේ පරිවර්තනය මගෙනි.

Monday, December 25, 2023

පී. ජී. පුංචිහේවා

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ කටයුතුවල දී මට හඳුනාගන්නට ලැබුණු තවත් වැඩිහිටි විද්වතෙකි, හිතවතෙකි. එහි පාලක සභාවේ සාමාජිකයන් ලෙස නේම පුස්තකාලයට නිතර පැමිණි නිසා මට ඔහු සමඟ පසුගිය වසර කීපයේ දී වරින්වර කතා කිරීමට අවස්ථාව ලැබිණි. ඒ බොහෝ විට ශාස්ත්‍රීය මාතෘකා ගැනය. මා වඩාත් තොරතුරු විමසුවේ ඔහුගේ රාජකාරි ජීවිතයේ අත්දැකීම් සම්බන්ධවය. ලංකා සිවිල් සේවාවේ නිලධාරියෙකු ලෙස හා අන්තර්ජාතික ආයතනවල දී ඔහු ලද අත්දැකීම් මගේ අවධානයට ලක් වූ කරුණු අතර විය. ඔහුගේ නිවසේ දී දින දෙකක් අපි කතා කළෙමු. මොණරාගල දිසාපති ලෙස කළ කටයුතු ගැන ඔහු කතා කළේ බොහෝ සේ කැමැත්තෙනි.

පුංචිහේවා මහතා ලියූ විවිධ වර්ගවලට අයත් පොත් ගණනාවකි. ඒ අතර, 'ගම සහ විපරිණාමය', 'ගන බොල් පොළොව' හා 'Those were the days' හැර, මගේ හිත වඩාත් ඇද ගත්තේ 'අනුබුදු මිහිඳු', 'දුටුගැමුණු' හා 'මහා විජයබාහු: අමරණීය නරපති' යන කෘතිය. ඒ ඉතිහාසයට මගේ ඇති කැමැත්ත නිසා විය හැකිය. එසේම ඔහු පුවත්පත් ආදියට ලියු ලිපි ද රට ගැන ඇති ඇල්ම හා උනන්දුව පෙන්වන ඒවා විය.

ඔහුගේ අවසන් කෘතිය රචනා කරද්දී ඔහුගේ ආරාධනයෙන් ඒ ගැන අදහස් පළ කිරීමට හා ඇතැම් මූලාශ්‍ර සොයාගැනීමට දායක වීමට ලැබීම ගැන මට අදටත් සතුටුය. එසේම පසුගිය ඔක්තෝබර් අග දී අවසන් වරට මට කතා කළ අවස්ථාවේ දී ඔහු මගෙන් විමසුවේ අග්බෝ රජ සමය හා සම්බන්ධ පූජාවක් ගැන මහාවංසයේ එන සඳහනකි. ඔහු කියවූ සිංහල පරිවර්තනයක වූ නොපැහැදිලි තැනක් නිරාකරණය කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එය සොයා යැවු විට ඊමේල් පණිවුඩයකින් මට ඕනෑවටත් වඩා ස්තුති කර තිබිණි. වයස අවුරුදු අසූ අටේ දී පවා ඔහු දැක් වූ ශාස්ත්‍රීය උනන්දුව මෙන්ම නිවැරදි දත්ත විමසීම සඳහා තිබූ උනන්දුව ද ඉතා අගනේය.

අසනීපයෙන් සිටි බැවින් තමන්ට තවත් කෙතරම් කලක් වැඩ කළ හැකිවේ ද යන්න ගැන අවිශ්වාසයක් ඔහුට තිබිණි. එහෙත් ඔහු ඒ බව පැවසුවේ ද සැහැල්ලුවෙන් හා මදහසකින් යුතුවය.

2023 දෙසැම්බර් මස 22 වන දා  ඔහු අපෙන් වෙන්ව ගිය ද ලේඛකයෙකු වූ නිසා ඔහුගේ නම තවත් බොහෝ කලක් අප අතරේ පවතිනු ඇත.

පඤ්ඤාදාස ගාර්දියේ පුංචිහේවා මහතාට නිවන් සුව ලැබේවා!

එතුමාගේ කටයුතු පිළිබඳ විකීපීඩියා පිටුව (මෙහි ඔහුගේ මෑත කාලීන කෘති ඇතුළත් නොවේ) - https://en.wikipedia.org/wiki/P._G._Punchihewa


ධනේෂ් විසුම්පෙරුම


2023-12-24