Wednesday, September 12, 2018

බීම බට පිළිබඳ කතිකාවෙන් මතුවන පුද්ගලික වගකීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.09.2018, පි.9 (Vidusara)

http://www.vidusara.com/2018/09/05/feature2.html



ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව කටයුතු කරන එක්‌ ෆේස්‌බුක්‌ පිටුවක පළ වූ අපූරු දැන්වීමක්‌ මේ සමඟ ඇති ඡායාරූපයේ දැක්‌වෙයි. පෙනෙන ආකාරයට විදේශීය රටක අලෙවි සලක දැකිය හැකි වූ දැන්වීමක්‌ බව පෙනෙයි. එහි සඳහන් වැකියෙහි සිංහල අරුත මෙසේ ය.

"මෙය එක්‌ බීම බටයක්‌ පමණයි"
බිලියන 8ක ජනතාවක්‌ එසේ පැවසූ හ.

මේ වැකියෙන් දැක්‌වෙන්නේ සැලකිය යුතු පිරිසක්‌ අතර ඇති එක්‌තරා පොදු හැඟීමකි. වරක්‌ භාවිතයෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ බීම බට (ස්‌ට්‍රෝ) එසේ ඉවත දැමීම නිසා සැලකිය යුතු පරිසර දූෂණයක්‌ ඇති වෙයි. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව අතර ඇති හැඟීමක්‌ වන්නේ මා භාවිත කරන්නේ එක බීම බටයක්‌ පමණයි යන අදහසයි. එහෙත් බොහෝ දෙනා එසේ සිතා ප්ලාස්‌ටික්‌ බීම බට භාවිත කරන විට පරිසරයට එකතු වන බීම බට ප්‍රමාණය අති විශාල ය. තම තමන් පෞද්ගලික ව පරිහරණය කරනු ලබන්නේ එකක්‌ පමණක්‌ වුව ද, සියලු දෙනා එසේ පරිහරණය කිරීමෙන් සමස්‌තයක්‌ ලෙස පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැන අවබෝධයක්‌ නොමැති වීම මෙයට නිදසුනකි. මෙය අදාළ වන්නේ ප්ලාස්‌ටික්‌ බීම බටවලට පමණක්‌ නො වෙයි. වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලන බොහෝ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවලට ද මෙය අදාළ ය.

ප්ලාස්‌ටික්‌ බීම බට යනු අපේ රටේ ජනතාව අතර ද එදිනෙදා අධික ලෙස භාවිත වන්නකි. බීම බෝතල්, කිරි පැකට්‌ ආදිය පමණක්‌ නො ව, තැඹිලි ගෙඩියක්‌ පානය කිරීමේ දී පවා දැන් දැන් මේ බීම බට භාවිත වෙයි. බීම බෝතලයක්‌ පානය කරන ඇතැම් අවස්‌ථාවක දී අප බීම බටයක්‌ ප්‍රතිෙක්‌ෂේප කරන විට එම වෙළෙන්දන් විස්‌මයට පත් වන බවක්‌ ද පෙනෙයි. ඒ තරමට බීම බට අත්‍යවශ්‍ය දෙයක්‌ වී ඇත.

ප්ලාස්‌ටික්‌ බීම බට පිළිබඳ ව හා ඉන් ඇති වන බලපෑම පිළිබඳ ව මඳක්‌ සාකච්ඡා කිරීමට සිතුවේ මේ නිසා ය.

ප්ලාස්‌ටික්‌ බීම බටවල කතාව


බීම බට භාවිතයට සැලකිය යුතු අතීතයක්‌ ඇත. ඈත අතීතයේ පැවැති සුමේරියානු ශිෂ්ටාචාරයේ විසූවන් මත්පැන් පානය සඳහා විවිධ ලෝහවලින් කළ බීම බට භාවිත කර ඇති බවට සාධක පවතී. පසු කාලයක ඇමෙරිකාවේ බීම වර්ග පානය කිරීම සඳහා රයි තෘණවල බටයක්‌ වැනි කොටස යොදාගත් බව සඳහන් වෙයි. කඩදාසිවලින් තැනූ බීම බට සඳහා පළමු ව පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත්තේ 1888 වර්ෂයේ දී පමණ ය. ඒ ඇමෙරිකානු ජාතික මාර්වින් ස්‌ටෝන් නමැත්තා ය. භාවිතයේ පහසුව සඳහා මැදින් නැමුණු බීම බට භාවිතය ආරම්භ වන්නේ 1930 දශකයේ දී පමණ ය.

ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන ජනප්‍රිය වීමත් සමඟ ප්ලාස්‌ටික්‌ බීම බට නිෂ්පාදනය ආරම්භ වෙයි. 1960 දශකයේ දී පමණ ප්ලාස්‌ටික්‌ බීම බට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වී ඇත. කඩදාසි බීම බටවලට වඩා කල් පැවතීම, ලාභදායක වීම වැනි කරුණු නිසා මේවා නිෂ්පාදනය බෙහෙවින් වේගයෙන් වර්ධනය වූයේ ය. මේවායෙන් ඇති විය හැකි පරිසර බලපෑම පිළිබඳ ව මෑතක්‌ වන තුරු කිසිවකු අවධානය යොමු කළේ නැත.

ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය පිළිබඳ ව ඇති සංඛ්‍යාලේඛන අපගේ අවධානයට යොමු විය යුතු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ එක්‌ දිනයක දී භාවිත වන ප්ලාස්‌ටික්‌ බීම බට ප්‍රමාණය මිලියන 500ක්‌ පමණ බව එක්‌ ගණන් බැලීමකින් හෙළි ව ඇත (මේ ප්‍රමාණය පිළිබඳ ව ඊට වඩා අඩු වෙනත් ගණනය කිරීම් ද වෙයි). එසේ ම බ්‍රිතාන්‍යයේ එක්‌ වර්ෂයක දී භාවිත වන බීම බට ප්‍රමාණය බිලියන 8.5ක්‌ පමණ බවට ගණන් බලා ඇති අතර, එය ඊට වඩා අධික විය හැකි බවට ද අදහස්‌ පළ වී ඇත. කෙසේ වෙතත් මෙහි ගැටලුව මතු වන්නේ ප්‍රමාණයේ නො ව ඒවා භාවිතයෙන් පසු ඉවත දැමීම හා ඒවා දිරා යැමට දිගු කාලයක්‌ අවශ්‍ය වීම නිසා බව පොදුවේ පිළිගැනෙන කරුණකි.

පරිසරය දූෂණය වීම


ප්ලාස්‌ටික්‌ බීම බට අතරින් වැඩි ප්‍රමාණයක්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ඒවා ය. එහෙත් ඒවා ප්‍රතිචක්‍රිකරණය කිරීම නිසි ලෙස සිදු නො වේ. මේ නිසා වෙරළ පිරිසිදු කිරීම්වල දී (beach clean-up) හමු වන ප්‍රධාන ම ද්‍රව්‍ය දහය අතර ප්ලාස්‌ටික්‌ බීම බට ද වෙයි. කෙසේ වෙතත් බර අනුව ගත් විට බීම බටවල ප්‍රමාණය අඩු ය. අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට වාර්ෂික ව සාගරයට එකතු වන ටොන් මිලියන 8ක්‌ පමණ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතර ප්ලාස්‌ටික්‌ බීම බට ඇත්තේ 0.025%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි.

ප්ලාස්‌ටික්‌ බීම බට නිසා ඇති වන පරිසර දූෂණය සමස්‌ත ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණයෙන් සුළු කොටසකට පමණක්‌ දායක වන බව සැබෑවකි. එහෙත් එය වරක්‌ භාවිතයෙන් පසු ඉවත දමන නිෂ්පාදනයක්‌ වීම පාරිසරික ක්‍රියාකාරිකයන් අතර මෙවැනි විරෝධයක්‌ ජනනය කිරීම සඳහා වැදගත් වී ඇති බව පෙනෙයි. එය එක්‌ වරක්‌ භාවිත කර ඉවත ලන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන පාලනය කිරීමෙහි දී ඉදිරි පියවරක්‌ වී ඇත. එබැවින් ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කිරීම සඳහා පුළුල් ආකාරයේ ව්‍යාපාරයක්‌ මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඒ වැඩි වශයෙන් දියුණු රටවල ය.

ප්ලාස්‌ටික්‌ බීම බට යොදාගනිමින් පානය කරන බොහෝ නිෂ්පාදන ඒවා යොදා නො ගනිමින් පානය කිරීමට හැකි ය. ඒවා අත්හැරීමට අපේ හැසිරීමේ විශාල වෙනසක්‌ සිදු කළ යුතු නො වීම මේ සඳහා ඇති එක්‌ සාධනීය තත්ත්වයකි. එහෙත් මෙවැනි දේ සාගරයට හා පරිසරයට එක්‌ වීම වැළැක්‌වීමට අපද්‍රව්‍ය එකතු කිරීම විධිමත් කිරීම තුළින් හැකියාව ඇති බව කර්මාන්ත අංශයේ අදහස වෙයි. ඒ බොහෝ බීම බට ප්‍රතිචක්‍රිකරණය කළ හැකි නිසා ය. එහෙත් ඊට වැඩි දෙයක්‌ කළ යුතු ය යන අදහස මේ ගැන උනන්දුවක්‌ දක්‌වන්නවුන් අතර ඇති බව පෙනෙයි. ප්ලාස්‌ටික්‌ බීම බට සම්පූර්ණයෙන් තහනම් කිරීමක්‌ පිළිබඳ ව යෝජනා කරනු ලබන්නේ මේ නිසා ය.

විකල්ප තිබේ ද?


ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කළ හොත් ඒ වෙනුවට භාවිත කළ හැකි විකල්පය කවරේ ද යන්න ගැන කලක සිට අවධානය යොමු ව ඇත. විශේෂයෙන් තිරසර විකල්පයක්‌ සොයාගැනීම තරමක අභියෝගයක්‌ වී ඇති බව පෙනෙයි. උණුසුමට හා සිසිලට ඔරොත්තු දෙන නිෂ්පාදනයක්‌ සොයාගැනීම ඉන් එකකි. එසේ ම ඇතැම් විශේෂිත තත්ත්ව යටතේ බීම බට අත්‍යවශ්‍ය වෙයි. නිදසුනක්‌ ලෙස ආබාධිතයන් දැක්‌විය හැකි ය. එසේ ම පැකට්‌ කරන ලද බීම වර්ග පානය සඳහා බීම බට අවශ්‍ය බව පැහැදිලි ය. පසුගිය මාසයේ National Geographic වෙබ් අඩවියේ පළ වූ ලිපියකට අනුව ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය අවසන් කිරීම තරමක්‌ සංකීර්ණ කාර්යයකි.

එම තත්ත්වය යටතේ ප්ලාස්‌ටික්‌ බීම බට සඳහා විවිධ පරිසර හිතකාමී විකල්ප ගණනාවක්‌ ඉදිරිපත් ව ඇති බව පෙනෙයි. ඒ ඉක්‌මනින් දිරා යන, ජෛවහායනයට ලක්‌ වන නිෂ්පාදන වෙයි. මේ අතරින් වඩාත් ම වේගයෙන් ව්‍යාප්ත වන්නේ කඩදාසිවලින් කළ බීම බට ය. ඒ හැරුණු විට පැස්‌ටා, උණ හා පිදුරුවලින් තනන ලද බීම බට පිළිබඳව ද මේවා නිෂ්පාදනය කරන සමාගම්වල අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් මේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක නිෂ්පාදන වියදම ප්ලාස්‌ටික්‌ බටවලට වඩා අධික වනු ඇත.

ප්ලාස්‌ටික්‌ බීම බට තහනම


පෙර සඳහන් කර ඇති පරිදි ප්ලාස්‌ටික්‌ බීම බටවලට එරෙහි ව යම් සමාජ මතයක්‌ තැනීමට බටහිර දියුණු රටවලට හැකි වී තිබෙයි. මේ අනුව සැලකිය යුතු ඉදිරි පියවර ද එම රටවල දැකිය හැකි ය. ඇතැම් ආයතන හා නගරවල මේ වන විට ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය සීමා කිරීමට පියවර ගෙන තිබීම මීට නිදසුන් ය.

ඇමෙරිකාවේ ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කරන ලද පළමු ප්‍රධාන නගරය වන්නේ සිsයෑටල් නගරයයි. නිව්යෝක්‌ හා වොෂින්ටන් ඩී.සී. ප්‍රදේශවල ද ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් ව ඇත. මියාමි බීච් හා මලිබු වැනි නගරවල කිසියම් සීමිත තහනමක්‌ ක්‍රියාත්මක වෙයි. මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ ද බීම බට තහනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක්‌ තිබෙයි.

එසේ ම ඇතැම් ප්‍රකට ආයතන ඉදිරියේ දී ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය අවසන් කරන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර මැරියට්‌ හෝටල, ඇලස්‌කා එයාර්ලයින් හා ඇමෙරිකන් එයාලයින් වැනි ආයතන ද තවත් අවන්හල් ජාල කිහිපයක්‌ ද වෙයි. බ්‍රිතාන්‍යයේ මැක්‌ඩොනල්ඩ් ආයතන ද ලබන සැප්තැම්බර් සිට ප්ලාස්‌ටික්‌ බීම බට වෙනුවට කඩදාසි බට භාවිතයට ගන්නා බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් විචාරකයන් පෙන්වා දී ඇති පරිදි ප්ලාස්‌ටික්‌ බීම බට සීමා කිරීමට පියවර ගෙන ඇති ආයතන බොහොමයක්‌ මේ වන විට ද පාරිසරික වගකීම පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇති ආයතන වෙයි. එසේ ම මේ නගර ද කිසියම් ආකාරයකට වාමවාදී දේශපාලන නැඹුරුවක්‌ ඇති නගර සේ දක්‌වා ඇත.

මේ ඇතැම් ආයතන මේ තීරණය ගැනීම සඳහා පෙලඹුණේ බීම බට විරෝධී කණ්‌ඩායම් හා පොදුවේ ජනතාව වෙතින් ආ ඉල්ලීම් නිසා ය. තවත් ආයතනවල එය ඉහළ නිලධාරීන් විසින් ගන්නා ලද තීරණයක්‌ විය. එහෙත් ඒ සියල්ලට හේතු වූයේ ප්ලාස්‌ටික්‌ බීම බට සම්බන්ධ ව ඇති වූ කතිකාවයි. විශේෂයෙන් ප්ලාස්‌ටික්‌ බීම බට පිළිබඳ ප්‍රකාශයට පත් වූ සංඛ්‍යාලේඛන හා එමඟින් ඇති වන බලපෑම් මේ වෙනස සිදු කිරීමට දායක වී ඇති බව පෙනෙයි. නූතන සමාජයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්‌ ලෙස සැලකුණ ද, ප්ලාස්‌ටික්‌ බීම බට අත්‍යවශ්‍ය නැති බව හා ඒවාට විකල්ප ඇති බව ලෝකය අද වන විට පිළිගනිමින් තිබීම තිරසරභාවය සම්බන්ධ ව වැදගත් ය.

Tuesday, August 28, 2018

නූතන මානවයා පරිසරයට අනුහුරු වීම සෙසු ආදි මානවයන්ට වඩා ඉදිරියෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 15.08.2018, පි. 11, (Vidusara)

http://www.vidusara.com/2018/08/15/feature4.html





Homo ගණයේ සෙසු විශේෂ අභිබවා Homo sapiens හෙවත් නූතන මානවයාගේ සාර්ථකත්වයට හේතු වූ කරුණු මොනවා ද යන්න ද කලක්‌ තිස්‌සේ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වූ කරුණකි. ඒ සම්බන්ධ ව මේ දක්‌වා යම් හෝ පිළිගැනීමකට ලක්‌ ව ඇති කරුණු අතර, සංකේත භාවිතයට ඇති හැකියාව (symbolism) හා ප්‍රජානන වෙනස්‌කම් (cognitive changes) වැනි කරුණු වෙයි. එම අංශවල දැකිය හැකි දියුණුව නිසා අප අයත් වන නූතන මානවයා සෙසු මානවයන් අභිබවා ඉදිරියට ගිය බව එම අදහස්‌වලින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව නව කල්පිතයක්‌ පර්යේෂකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම කල්පිතයට අනුව ලෝකය පුරා විවිධ වූ හා ආන්තික වූ පරිසර අත්පත් කරගැනීමට නූතන මානව විශේෂයට ඇති හැකියාව හේතුවෙන් අනෙක්‌ Homo විශේෂ ඉක්‌මවා ලීමට හා අපේ විශේෂය මේ ගණයේ ඉතිරි ව ඇති අවසන් විශේෂය වීමට අවස්‌ථාව ලැබී ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරන නූතන මානවයාගේ සුවිශේෂ පාරිසරික ස්‌ථානගත වීම ගෝලීය වූ සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු (generalist specialist) ලෙස හඳුන්වා දී තිබෙයි. මේ අනුව නූතන මානව විශේෂය පාරිසරික වශයෙන් සුවිශේෂ වූයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

අධ්‍යයනයේ පසුබිම


මේ පර්යේෂණ පත්‍රිකාව සඳහා පදනම් වී ඇත්තේ මධ්‍ය හා අපර ප්ලයිස්‌ටොසීන යුගයේ දී (අදින් වසර 300,000 සිට 12,000 දක්‌වා වූ කාලයේ දී) අප්‍රිකාවේ හා ඉන් පිටත ප්‍රදේශවල සිදු වූ ආදි මානවයන්ගේ ව්‍යාප්තිය පුරාවිද්‍යාත්මක හා පුරාපරිසර විද්‍යාත්මක දත්ත යොදාගනිමින් සිදු කරන ලද සවිස්‌තර සමාලෝචනයකි.

මෙහි දී Homo sapiens හෙවත් නූතන මානව විශේෂය හා ඔවුන්ට පෙර හා ඔවුන්ට සමකාලීන ව විසූ මානව විශේෂ වූ Homo erectus හා Homo neanderthalensis වැනි විශේෂ හා පරිසරය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එහි දී පැවැති පාරිසරික තත්ත්ව හා ඒවාට අනුහුරු වූ ආකාරය පිළිබඳ ව සැලකිල්ල යොමු කර තිබෙයි. අපේ පූර්වජයන්ට හා සමකාලීන වෙනත් Homo ගණයේ සාමාජිකයන්ට වඩා නූතන මානවයන් වෙනස්‌ වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ වූයේ ඔවුන් කාන්තාර, නිවර්තන වනාන්නර, ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශ හා ප්‍රාග් ආක්‌ටික්‌ ප්‍රදේශ වැනි අභියෝගාත්මක පරිසර ගණනාවක්‌ ජනාවාස කරගැනීම ය. එපමණක්‌ නො ව මේ ඇතැම් ආන්තික පරිසරවලට අනුහුරු වීමේ දී දැක්‌වූ විශේෂිතභාවය ද වැදගත් විය.

අනාවරණය වූ කරුණු


මේ පර්යේෂණ පත්‍රිකාවේ දී ඉදිරිපත් කර ඇති වැදගත් හෙළි කිරීම් මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය. සෙසු Homo විශේෂ අතරින් Homo erectus මානවයා වැනි මානවයන් අප්‍රිකාවෙන් පිටත ඇතැම් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. එහි දී මේ මානවයන් වනාන්තර හා තෘණබිම් වැනි පරිසර පද්ධති භාවිත කර ඇති බව මේ වන විට ලැබී ඇති සත්ත්ව, ශාක ආදි අවශේෂ මඟින් පෙනී ගොස්‌ ඇත. Homo florensis වැනි මානව විශේෂයක්‌ නිවර්තන වනාන්තර භාවිත කර ඇති බවට අදහස්‌ පළ වී ඇතත් ඒ පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් හා පිළිගත හැකි සාධක නොමැති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

Homo neanderthalensis මානවයා පිළිබඳ ව මීට වඩා වෙනස්‌ අදහසක්‌ තිබුණේ ඔවුන් වඩා ඉහළ අක්‌ෂාංශ ප්‍රදේශ වන යුරේසියානු ප්‍රදේශවල වාසය කළ නිසා ය. අදින් වසර 250,000ත් 40,000ත් අතර කාලයේ වාසය කළ ඔවුන් ඒ පිළිබඳ ව විශේෂඥතාවක්‌ දැක්‌වූ බවට අදහසක්‌ විය. මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ ශීත කාලගුණ තත්ත්වයට ඔරොත්තු දෙන මුහුණු හැඩයක්‌ තිබීම හා වූලි මැමත් වැනි මහා ක්‌ෂිරපායී විශේෂ දඩයම් කිරීම සඳහා පෙලඹීමයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ඇති සාධක විමසා බැලූ මේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ නියෑන්ඩර්තාල් මානවයන්ගේ අවධානය මූලික වශයෙන් යොමු වූයේ වනාන්තර හා තෘණභූමි සහිත විවිධ පරිසර පද්ධතිවලට බවයි. ඔවුන් මධ්‍යධරණී ප්‍රදේශවල සිට සෞම්‍ය කලාපීය උතුරු යුරේසියාව දක්‌වා වූ ප්‍රදේශයක විවිධ සතුන් දඩයම් කිරීමේ යෙදී ඇත.

එහෙත් මේ Homo විශේෂ සමඟ සංසන්දනය කරන විට නූතන මානවයා වඩා විශාල විවිධත්වයක්‌ සහිත හා ආන්තික තත්ත්ව සහිත පරිසරයන්හි සිය වාසස්‌ථාන පිහිටුවීමට සමත් විය. අදින් වසර 80,000ත් 50,000ත් අතර කාලයකට ඉහත දී ඔවුහු ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල ජනාවාස ඇති කරගත්තෝ ය. අදින් වසර 45,000කට පමණ පෙර කාලය වන විට ආක්‌ටික්‌ ප්‍රදේශ ගණනාවක හා ආසියාවේ, මෙලනීසියාවේ හා ඇමෙරිකාවේ නිවර්තන වනාන්තර තුළ ද වාසස්‌ථාන ඇති කරගෙන තිබිණි. එසේ ම උතුරු අප්‍රිකාවේ, අරාබි අර්ධද්වීපයේ හා වයඹදිග ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශවල නූතන මානවයන් ව්‍යාප්ත වූ බව පෙන්වන සාධක ලැබීමත් සමඟ ඔවුන් නව ප්‍රදේශවලට අනුහුරු වීමේ දී දැක්‌වූ දක්‌ෂතාව මනාව පැහැදිලි වෙයි. එසේ ම ටිබෙට්‌ හා ඇන්ඩීස්‌ කඳුකරය වැනි ඉහළ උන්නතාංශයක්‌ හා ආන්තික තත්ත්ව සහිත පරිසරවලට හැඩගැසීමට හැකි වීම මේ විශේෂයේ ඉදිරි පැවැත්මට වැදගත් විය. එසේ ම මේ හැකියාව නූතන මානවයාගේ නව්‍ය වූ හැකියාවක්‌ විය.

සුවිශේෂී තත්ත්වය


මේ පාරිසරික වශයෙන් වූ සුවිකාර්යතාවට (plasticity) - එනම් බෙහෙවින් එකිනෙකට විවිධ වූ පරිසර අත්පත් කරගැනීමට ඇති හැකියාවට - හේතුව හා එහි ආරම්භය තරමක්‌ අපැහැදිලි ය. එය ඇතැම් විට Homo sapiens නූතන මානව විශේෂයේ අදින් වසර 300,000ත් 200,000ත් අතර සිදු වූ ආරම්භය හා බැඳුණු එකක්‌ විය හැකි ය. එය සාමාන්‍යයෙන් පිළිගැනෙන කරුණකි. එහෙත් මෙසේ නව පරිසර පද්ධතිවලට නූතන මානවයා අනුහුරු වීමේ දක්‌ෂතාවට හේතු වූ කරුණු අනාගතයේ දී වඩාත් පැහැදිලි විය හැකි ය.

මේ ආකාරයෙන් ලෝකයේ මහාද්වීපවලින් බහුතරයක විවිධ වූ පරිසර පද්ධතිවල මානව පැවැත්ම සඳහා සාධක ලැබීම පසුපස නව පාරිසරික නිකේතනයක්‌ හෙවත් අවකාශයක්‌ ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය ඔවුන් දක්‌වන්නේ පෙර සඳහන් කළ 'සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු' යනුවෙනි. මෙහි සාකල්‍යකරුවකු ලෙස හඳුන්වනු ලබන්නේ විවිධ වූ වෙනස්‌ සම්පත් භාවිත කළ හැකි හා විවිධ වූ පාරිසරික තත්ත්වවල වාසය කළ හැකි මිනිසුන් ය. එහෙත් විශේෂඥතාව යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ සීමිත ආහාර වර්ග ප්‍රමාණයක්‌ හා පරිසරයට ඔරොත්තු දිය හැකි සීමිත වූ පිරිස්‌ පිළිබඳව ය. කෙසේ වෙතත් නූතන මිනිසුන් මේ විශේෂඥ ගහන පිළිබඳ ලක්‌ෂණ (කඳුකර වැසි වනාන්තරවාසීන් හා පුරාආක්‌ටික්‌ මැමත් දඩයක්‌කරුවන් වැනි) මෙන් ම සාකල්‍යයික ගහන පිළිබඳ ලක්‌ෂණ ද දරයි.

මේ තත්ත්වය නූතන මානවයාගේ පැවැත්ම සඳහා වැදගත් වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ හැකියාව සඳහා ඥාතීත්වයක්‌ නොමැති තම විශේෂයේ වෙනත් සාමාජිකයන් සමඟ පුළුල් ලෙස ඇති කරගත් සහයෝගිතාව වැදගත් වන්නට ඇත. එවැනි අය සමඟ ආහාර බෙදා ගැනීම, දිගු දුරක වාසය කරන පිරිස්‌ සමඟ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම හා චාරිත්‍රමය සම්බන්ධතා මඟින් පරිසරයේ විවිධ අංශවල හා දේශගුණයේ විචල්‍යතාවලට අනුහුරු වීමට මිනිසුන්ට ඇති හැකියාව ඉහළ නැංවූ බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සෙසු Homo විශේෂ පරයා ව්‍යාප්ත වීමට මෙන් ම ඔවුන් අභිබවා යැමට ද දායක වන්නට ඇත. මේ අනුව සමුච්චිත (cumulative) සංස්‌කෘතික දැනුමක්‌ එක්‌රැස්‌ කරගැනීම, එය භාවිත කිරීම හා ඊළඟ පරපුරට ලබා දීම අපේ මානව විශේෂයේ සාර්ථකත්වයට හේතු විය. මේ දැනුම ද්‍රව්‍යමය මෙන් ම අදහස්‌වලින් යුත් දැනුමක්‌ වන්නට ඇත. මේ දැනුම සාකල්‍යයික විශේෂඥතා නිකේතය ඇති කිරීමේ දී ඵලදායී වන්නට ඇත.

තවත් කල්පිතයක්‌ ලෙස


අප මාතෘකා කරගත් පර්යේෂණ පත්‍රිකාවෙන් නූතන මානව විශේෂයේ සාර්ථකත්වයට හා සැම මහාද්වීපයක ම හා පරිසරයක ම පාහේ ව්‍යාප්ත වීමට ඔවුන් සතු වූ දක්‌ෂතාව පැහැදිලි කළ හැකි පාරිසරික දෘෂ්ටිකෝණයක්‌ සපයා ඇත. අපගේ විශේෂයේ ආරම්භය හා ස්‌වභාවය පිළිබඳ ව මේ පාරිසරික දෘෂ්ටිකෝණය වැදගත් ය.

කෙසේ වෙතත් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ අදහස අපූරු කල්පිතයකි. එය පිළිගත හැකි මෙන් ම, ප්‍රාමාණික සාධක ඉදිරිපත් කිරීම මඟින් ප්‍රතික්‌ෂේප කළ හැකි එකක්‌ බවත් මේ පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත්, මේ නව අදහස මඟින් ආන්තික පරිසරවල පුරාවිද්‍යාත්මක ගවේෂණ හා අධ්‍යයන සිදු කිරීම බෙහෙවින් දිරිමත් කරනු ලැබෙයි. එවැනි ස්‌ථාන රැසක්‌ ම මේ දක්‌වා එතරම් සැලකිල්ලට ලක්‌ නො වූ ස්‌ථාන වෙයි. විශේෂයෙන් නූතන මානවයාගේ පරිණාමය හා සම්බන්ධව තොටිල්ල සේ සැලකිය හැකි කාලයට (වසර 300,000ක්‌ හෝ 200,000ක්‌) අයත් පැරැණි සාධක පිළිබඳ ව වඩා සවිස්‌තර ව හැදෑරීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.

මූලාශ්‍රය : Nature Human Behaviour, DOI: 10.1038/s41562-018-0394-4

Thursday, August 23, 2018

කෘෂිකර්මයේ යෙදීමට පෙර මිනිසුන් පාන් නිපදවූ බවට සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 01.08.2017, පි. 09 (Vidusara)

http://www.vidusara.com/2018/08/01/feature3.html



මිනිසුන්ගේ ආහාර අතරින් පාන් යනු ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාසය කරන ජනතාවක්‌ සිය ප්‍රධාන ආහාරය ලෙස ගනු ලබන ආහාරයකි. ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය ආහාරයක්‌ වුවත් පාන් නිෂ්පාදනය තරමක්‌ සරල ක්‍රියාවලියකි. මේ නිසා සහල් ප්‍රධාන ආහාරය වන ලෝකයේ ප්‍රදේශ කිහිපයක හැරෙන්නට ලෝකයේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ආහාරය ලෙස භාවිත කරනු ලබන්නේ පාන් ය. එසේ ම විවිධ ධාන්‍ය වර්ග යොදාගනිමින් පාන් සැකසීම ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කරනු ලැබෙයි. පාන් වර්ග ද විවිධාකර වන අතර, එම විවිධත්වය නිසා අද වන විට පාන් යනු ඇතැම් රටවල සංස්‌කෘතික අනන්‍යතාවේ වැදගත් සංකේතයක්‌ බවට ද පත් ව ඇත.

කෙසේ වෙතත් පාන් භාවිතයේ ආරම්භය සිදු වූයේ කවර දා ද යන්න පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි අවබෝධයක්‌ නම් නො වේ. බොහෝ පුරාවිද්‍යාඥයන් අනුමාන කරන ලෙස පාන් නිෂ්පාදනය මුලින් ම සිදු වූයේ අවම වශයෙන් අදින් වර්ෂ 9,100කට පමණ පෙර නවශිලා යුගයේ දී පමණ දී ය. පාන් පිළිබඳ පැරැණි සාධක යුරෝපයේ හා නිරිතදිග ආසියාවේ නවශිලා යුගයේ පුරාස්‌ථානවලින් ලැබෙන අතර, ඒවා ගෘහාශ්‍රිතකරණය කරන ලද ශාක වර්ග භාවිත කරන ලද කෘෂිකාර්මික ප්‍රජාව හා සම්බන්ධ වෙයි.

කෙසේ වෙතත් සරු වන්ද්‍රවංකය ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ (නයිල් නිම්නයේ සිට ලෙවන්ට්‌ ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා ඇනටෝලියාවට හා මෙසපොතේමියාව දක්‌වා වූ ප්‍රදේශය) ගෘහාශ්‍රිතකරණය කරන ලද ධාන්‍යවල වල් දර්ශ හමු වන අතර එහි විසූ දඩයක්‌කාර ඵලවැල එකතු කරන්නන් මේ තෘණ වර්ගවලින් පිටි නිපදවීම කරන්නට ඇති බවට සාධක තිබෙයි. මේ ප්‍රදේශවල පුරා ස්‌ථාන සමහරකින් ලැබී ඇති පිළිස්‌සුණු ශේෂවලින් මෙන් ම ඇඹරුම් ගල් හා වෙනත් ආයුධ මඟින් පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් වල් තිරිඟු, රයි, බාර්ලි මෙන් ම මාෂ යෙදාගැනීමට පටන්ගෙන තිබූ බවකි. එහෙත් මේ ද්‍රව්‍ය සොයාගනිමින් ඔවුන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද, නැත හොත් කැඳ හෝ බියර් වැනි ආහාරමය ද්‍රව්‍යයක්‌ ද යන්න සාධක සහිත ව පැහැදිලි වී නැත. මේ නිසා මිනිසුන් කෘෂිකර්මයට පිවිසීමට පෙර පාන් නිෂ්පාදනයේ යෙදුණේ ද යන්න පිළිබඳ ව ඝෘජු සාධක මෙතෙක්‌ ලැබී තිබුණේ නැත.



කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලවලට අනුව මිනිසුන් කෘෂිකර්මයේ නියෑළීම ආරම්භ කරන්නට අවම වශයෙන් වසර 4,000ක්‌ පමණ කාලයකට පෙර, පාන් නිෂ්පාදනයේ යෙදුණු බවට සාධක ලැබී තිබෙයි.

ජෝර්දානයේ පුරාස්‌ථානයකින් හමු වූ සාධක


මේ පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත්තේ ඊසානදිග ජෝර්දානයේ බ්ලැක්‌ ඩෙස්‌ර්ට්‌ හෙවත් කළු කාන්තාරය නම් ප්‍රදේශයේ පිහිටා ඇති ශුබේඛා 1 (Shubayqa 1) නම් පුරාවිද්‍යා ස්‌ථානයෙනි. 1990 දශකයේ දී මුලින් ම සොයාගෙන කැණීම් කරන ලද මේ ස්‌ථානයේ 2012 - 2015 කාලයේ දී සිදු කරන ලද කැණීම්වලින් පුරාශිලා යුගයේ යෑයි සැක කෙරෙන නිවසක ගල් අතුරන ලද ගෙබිමක්‌ හමු වී ඇත. එහි මධ්‍යයේ වූ ගිනි උදුන මීටරයක්‌ පමණ විෂ්කම්භයකින් යුක්‌ත ගලින් මායිම් කරන ලද එකකි. අදාළ පළමු උදුන අවසන් වශයෙන් භාවිත කළ පසුව, මීටර් 0.5ක්‌ පමණ ඝන තැන්පතුවකට යට වී ආරක්‌ෂා වී තිබිණි. ඒ මත පසු ව තවත් උදුනක්‌ තනා තිබෙයි. මේ ස්‌ථානය අදින් වර්ෂ 11,700 සිට 14,500 පමණ අතර කාලයකට අයත් බවට කාලනිර්ණය කර ඇත. (ඡායාරූපය).



මේ ස්‌ථානයේ ගිනි උදුන අසලින් ශාකමය ද්‍රව්‍යවල ශේෂ 65,000කට අධික ප්‍රමාණයක්‌ හමු වීම මේ කැණීමෙහි දී සිදු කරන ලද වැදගත් ම සොයාගැනීමයි. මෙතරම් අධික ශාක ශේෂ සමූහයක්‌ මේ ප්‍රදේශයේ පුරාස්‌ථානයකින් හමු වීම විශේෂ සිදු වීමකි. එම කාලයට අයත් නිරිතදිග ආසියානු ප්‍රදේශයකින් ශාක ශේෂ විශාල ලෙස හමු වීම දුර්ලභ වීම එයට හේතුවයි.

මේ ශාක ශේෂ සමූහය තුළ විවිධ තක්‌සෝන (taxa) 95කට පමණ අයත් ශාක ශේෂ ඇති බවට හඳුනාගෙන ඇත. ඉන් 50,000කට අධික ප්‍රමාණයක්‌ ඇත්තේ එක්‌තරා අල වර්ගයකි. එසේ ම තවත් ශාක විශේෂ ගණනාවක ශේෂ මෙහි දී හමු වී ඇත. ඒ අතර රනිල භෝගයක්‌, තිරිඟු වර්ගයක්‌, බාර්ලි හා ඕට්‌ හමු වී ඇත. මීට අමතර ව කර වුණු (charred) ආහාර ශේෂ 642ක එකතුවක්‌ ද හමු වී තිබෙයි. පුරාවිද්‍යා කැණීම්වලින් හමු වන මෙවැනි ආහාර ද්‍රව්‍ය පිළිබඳ ව එතරම් ක්‍රමානුකූල ව අධ්‍යයනය කර නොමැති අතර, ඒවායෙන් අතීත මානවයන්ගේ ආහාර තේරීම, සැකසීම හා පරිභෝජනය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ය. මේ අධ්‍යයනයේ දී මේ ආහාර ශේෂ අතරින් පාන් වැනි යනුවෙන් වර්ග කරන ලද ආහාර ශේෂ 24 ක්‌ පිළිබඳව අවධානයට ලක්‌ කර ඇත. ඉන් 22ක්‌ පැරැණි උදුනෙන් ද, 02ක්‌ මතුපිට තිබූ පසුකාලීන උඳුන අසලින් ද ලැබී ඇති ඒවා ය.

මෙහි දී ඒවායේ ප්‍රමාණය, වයනය, අංශුමය ස්‌වභාවය වැනි කරුණු අඩු විශාලනයකින් යුක්‌ත අන්වීක්‌ෂ හරහා පරීක්‌ෂා කර ඇත. එසේ ම ඒවායේ ඇතුළත් ශාකමය ද්‍රව්‍ය හා න්‍යාසයේ ලක්‌ෂණ පිළිබඳ කරුණු (අවකාශ ප්‍රමාණය හා වර්ගය) අනාවරණය සඳහා පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂ යොදාගෙන තිබෙයි. පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් හමු වන පාන් වැනි ද්‍රව්‍ය හඳුනාගැනීම පහසු කරුණක්‌ නො වෙයි. ඔවුන් මෙහි දී එවැනි ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයක්‌ ද දියුණු කර ඇත. පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂය භාවිතයෙන් එක්‌ එක්‌ ආහාර කොටසෙහි ඇතුළත් ක්‌ෂුද්‍ර ව්‍යqහය හා අංශු වර්ග හඳුනාගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. එසේ හඳුනාගත් දේ නූතන පුරාඋද්භිද විද්‍යාත්මක නිදර්ශක සමඟ සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. මේ ආහාර කොටස්‌ ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා වුව ද දියුණු කරන ලද තාක්‌ෂණය යටතේ ඒවා හඳුනාගැනීමට මේ අනුව හැකියාව ලැබී ඇත. පිෂ්ටය පිළිබඳ ව පරීක්‌ෂා කිරීම් ද සිදු කර තිබෙයි.

මේ තොරතුරු අනුව මේ ශේෂ පිෂ්ටයෙන් සමන්විත වූ බව හෙළි වී තිබෙයි. එසේ ම ඒවායේ අවකාශවල ව්‍යqහය හා න්‍යාසයේ ව්‍යාප්ත වී ඇති ස්‌වභාවය අනුව මේවා පැතලි පාන් (flatbread) ලෙස හඳුන්වන වර්ගයේ පාන් බව පෙන්වා දී ඇත. මේවා යුරෝපයේ හා තුර්කියේ නවශිලා සහ රෝමානු පුරාස්‌ථානවලින් හමු වී ඇති නුමුහුන් පාන් හා සමාන වෙයි.

මේ පාන් නිපදවීමට යොදාගත් ද්‍රව්‍ය අතර තිරිඟු විශේෂයක්‌, රයි, මිලට්‌ හා ඕට්‌ වැනි ධාන්‍ය වර්ගවල වල් පූර්වජයන් වූ ධාන්‍ය වර්ග තිබී ඇත. මේවා අඹරා, අනා සකස්‌ කරගෙන පාන් නිපදවීම සඳහා යොදාගෙන ඇත.

කෘෂිකර්මයට වඩා පැරැණි පාන්


මේ උදුන් අසලින් හමු වූ ශාක ශේෂ අදින් වර්ෂ 14,400 හා 14,200 අතර කාලයකට අයත් ලෙස දින නියම කර ඇත. ඒ සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ හතක්‌ පමණ යොදාගෙන තිබෙයි. මේ දිනය මේ දක්‌වා පාන් නිෂ්පාදනය පිළිබඳ ව ලැබී ඇති වඩාත් පැරැණි ම ඝෘජු සාධකය වෙයි. මීට පෙර පාන් නිෂ්පාදනය පිළිබඳ ව ඇති පැරැණි ම නිශ්චිත සාධකය වූයේ තුර්කියේ පුරාස්‌ථානයකින් ලැබුණු අදින් වර්ෂ 9,100ක්‌ පමණ පැරැණි සාධකයකි. එම දිනයට වඩා ජෝර්දානයේ පුරාස්‌ථානයෙන් ලැබෙන දිනය වසර 4,000ක්‌ පමණ වත් පැරැණි බව පැහැදිලි ය.

එය කෘෂිකර්මය ආරම්භය පිළිබඳ ව මෙතෙක්‌ ලැබී ඇති පැරැණි ම සාධකවලට වඩා ද පැරැණි ය. ඒ අනුව පාන් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කිරීම කෘෂිකර්මයේ ආරම්භයට පෙර සිදු ව ඇති බව පැහැදිලි ය. වෙනත් ලෙසකින් පවසන්නේ නම් අනුව ශාක වගා කිරීමට පෙර පාන් පිsළිස්‌සීම පිළිබඳ ව මිනිසුන් දැන සිටි බවක්‌ පෙනෙයි. මිනිසුන් පරිසරයෙන් සොයාගත් ස්‌වාභාවික ව වැවුණු ශාක යොදාගනිමින් පාන් නිෂ්පාදනය කර ඇත.

පාන් පිළියෙල කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ එකකි. ධාන්‍ය පොතු ඉවත් කිරීම, ඇඹරීම, ඇනීම හා පිළිස්‌සීම වැනි සංකීර්ණ, කාලය හා ශ්‍රමය අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියකි. එවැනි ආහාරයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා එම යුගයේ මානවයන් යොමු වීමෙන් එම ආහාරයේ තිබූ විශේෂත්වය හෝ වැදගත්කම හෝ පැහැදිලි වෙයි. මේ ආහාරය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීම ඔවුන්ට අවශ්‍ය වන්නට ද ඇත. ඒ අනුව වනගත ව වැවී තිබූ ධාන්‍ය භාවිත කරමින් පාන් නිෂ්පාදනය කළ හැකි වීම නිසා ඒ වන විට දඩයම හා ඵලවැල එකතු කිරීම (hunter gathering) සිදු කළ මානවයන් ධාන්‍ය වගා කිරීම සඳහා යොමු වන්නට ද බලපෑමක්‌ කරන්නට ඇති බව මේ පර්යේෂකයන් විසින් යෝජනා කර ඇත. එය නවශිලා යුගයේ දී සිදු වූ කෘෂිකාර්මික විප්ලවයට හේතු වන්නට ද ඇත.

එසේ ම මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති පුරාවිද්‍යා ෙක්‌ෂaත්‍රයෙන් මේ දක්‌වා ලැබී ඇති සාධක අනුව එම ස්‌ථානයේ විසූ මිනිසුන් තැනින් තැනට යන දිවිපෙවෙතක්‌ වෙනුවට වඩා නිශ්චල වූ දිවිපෙවෙතක්‌ ගෙවූ බව ද පෙනී ගොස්‌ ඇත. ඔවුන් භාවිත කර ඇති ඇඹරුම් ගල් හා කැපුම් ගල් අනුව පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් වඩා වෙනස්‌ ආකාරයකින් හා වඩා ඵලදායි ආකාරයෙන් ශාක භාවිතය සඳහා යොමු ව ඇති බවයි.

මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1801071115

Wednesday, August 8, 2018

චීනයෙන් හමු වූ ගිබන් විශේෂය වඳ වී ගියේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.07.2017, පි. 06 (Vidusara)

http://www.vidusara.com/2018/07/18/feature1.html




චීනයේ පැරැණි සුසානයක තිබී හමු වූ සත්ත්ව අස්‌ථි ශේෂ අතර තිබී මෙතෙක්‌ විද්‍යාත්මක ව විස්‌තර කර නොමැති ගිබන් වානර විශේෂයකට අයත් ශේෂ හඳුනාගැනීමට විද්‍යඥයන් පිරිසක්‌ සමත් වූ බව පසුගිය දා වාර්තා විය. මෙසේ හමු ව ඇති ගිබන් විශේෂය අද ලෝකයේ දැකිය නොහැකි වඳ වී ගිය ගිබන් විශේෂයකි. ඒ අනුව මිනිසුන් ජීවී විශේෂ තර්ජනයට ලක්‌ කර ඇත්තේ හා වඳ වී යැමට සලස්‌වා ඇත්තේ සැලකිය යුතු තරම් අතීතයේ සිට බවට ද සාධක මෙමඟින් ලැබෙන බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි.

මේ සොයාගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම චීනයේ ෂාන්ක්‌සි පළාතේ සියාන් (Xi'an) ආසන්නයේ පිහිටා ඇති සුසානයකිනි. අතීතයේ ප්‍රබල අධිරාජ්‍යයක කේන්ද්‍රස්‌ථානය ලෙස පැවැති ප්‍රදේශයක්‌ වන එම ප්‍රදේශයෙන් මේ සුසානය සොයාගන්නා ලද්දේ 2004 වර්ෂයේ දී පමණ ය. සුසානයේ පිහිටීම හා ලැබුණු පුරාවස්‌තු අනුව එහි දින නියම කර ඇත්තේ අදින් වසර 2,200ත් 2,300ත් අතර කාලයකට අයත් වූවක්‌ ලෙස ය. එසේ ම එම සුසානය අයත් වන්නේ සියා (Lady Xia‌) ලෙස හඳුන්වනු ලබන වංශවත් කාන්තාවකට ලෙස ද නිගමනය කර ඇත. ඇය චීනයේ පළමු අධිරාජයා ලෙස සැලකෙන ක්‌සිං ෂිසුආග් (Qin Shi Huang) අධිරාජයාගේ මිත්තණියයි. පොදු වර්ෂ පූර්ව 256 සිට 210 දක්‌වා රාජ්‍යත්වය දැරූ මේ අධිරාජයා චීනයේ විශාල ප්‍රදේශයක්‌ එක්‌සත් කර සිය අධිරාජ්‍යය ගොඩනඟාගත්තේ ය. එසේ ම ඔහු චීන මහා ප්‍රාකාරය තැනීමට ද මුල් වූයේ ය. ලෝක ප්‍රකට මැටි සොල්දාදුවන් දැකිය හැකි සුසාන ගෘහය ඔහුගේ දේහය තැන්පත් කළ සුසාන ගෘහය වෙයි.

පෙර සඳහන් කාන්තාවගේ සුසානය කැණීමෙන් ලැබී ඇති ද්‍රව්‍ය අතර විවිධ සත්ත්ව ශේෂ රැසක්‌ තිබී ඇත. ඒ අතර ලින්ක්‌ස්‌ මුවන්, දිවියන් හා කළු වළසුන් වැනි සතුන්ගේ අස්‌ථිමය ශේෂ විය. ඒ අතර තිබී මේ අධ්‍යයනයේ යෙදුණු පිරිසට අදාළ ගිබන් අස්‌ථි ශේෂ නිරීක්‌ෂණයට අවස්‌ථාව ලැබෙන්නේ 2011 වර්ෂයේ දී පමණ ය. කැණීමෙන් හමු වූ මේ ප්‍රයිමේටා අස්‌ථි ශේෂ මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වූයේ එම හිස්‌ කබල කොටස හා හනු කොටස මේ වන විට දන්නා ගිබන් වානරයකුට සමාන නො වන බව ඔවුන්ට පෙනී ගිය නිසා ය.

ගිබන් විශේෂය හඳුනාගැනීම

ඩිජිටල් පරිලෝකනය මඟින් ලබාගත් දත්ත යොදාගනිමින් ආසියාවේ ගිබන් සතුන් සිය ගණනකගේ හිස්‌කබල් සමඟ මේ නව හිස්‌කබල සංසන්දනය කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ කෞතුකාගාරවල ඇති නිදර්ශක එකතු හා සමඟ ද සංසන්දනය කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, මේ හිස්‌කබල පැහැදිලි වෙනස්‌කම් සහිත ව ඉස්‌මතු වී ඇති බව පෙනී ගොස්‌ ඇත. කෙසේ වෙතත් මේ හිස්‌කබලෙන් DNA ලබාගැනීමට පර්යේෂකයන්ට හැකියාවක්‌ ලැබී නැත.

මෙසේ ලැබුණු ගිබන් හිස්‌කබලේ තොරතුරු යොදාගෙන පර්යේෂකයන් අධිතාක්‌ෂණික ආකෘතික ක්‍රමවේද යොදාගෙන මේ ගිබන් වානරයන් අතර නව විශේෂයක්‌ මෙන් ම නව ගණයක්‌ ද වන බව අනාවරණය කරගෙන ඇත. මෙසේ සොයාගත් ගිබන් වානර විශේෂය නම් කර ඇත්තේ Junzi imperialis යනුවෙනි. මේ ගිබන් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය සාපේක්‌ෂ ව වඩා පැතලි වූවක්‌ වන අතර එය ප්‍රමාණයෙන් කුඩා වූවකි. එසේ ම මොවුන්ගේ රදනක දත් සත්ත්වයාගේ ප්‍රමාණයට සාපේක්‌ෂ ව දික්‌ වූ බව ද දක්‌වා ඇත. එසේ ම අද වන විට මේ ගිබන් විශේෂය වඳ වී ගොසිනි. මේ අනුව වඳ වී ගිය ගිබන් වානර විශේෂ ගණන දෙකක්‌ දක්‌වා ඉහළ යයි.

මේ නව විශේෂය ජීවත් වන්නට ඇත්තේ වර්තමානයේ ගිබන් වාසය කරන ප්‍රදේශවලට වඩා උතුරට වන්නට විය හැකි ය. අතීත චීනයෙන් ගිබන් පිළිබඳ ව වාර්තා තිබුණ ද වර්තමානය වන විට ගිබන් වානරයන් හමු වන්නේ මධ්‍යම චීනයට බොහෝ ඈතින් ය.

ගිබන් පිළිබඳ වාර්තා ඓතිහාසික චීන ලේඛන අතර එයි. නිදසුනක්‌ ලෙස අටවැනි සියවසේ චීන කවියකු වූ ලි බායි (Li Bai) විසින් යෑංට්‌සි ගෙග් ගල්පර අතරේ ගිබන් වානරයන්ගේ හඩ රැව් දෙන ආකාරය පිළිබඳ ව සටහන් තබා ඇත. එහෙත් අද වන විට යෑංට්‌සි ගෙග් ෙද්‍රdaණියේ තවදුරටත් ගිබන් වානරයන් දැකිය නොහැකි ය. එසේ ම චීනයේ පැරැණි චිත්‍රවල සඳහන් වන සමේ වර්ණ රටාවලින් යුක්‌ත ගිබන් වානරයන් අද වෙනත් ප්‍රදේශවල දැකිය හැකි වානරයන් අතර දැකිය හැකි නො වේ. චිත්‍රවල ඉතා කැපී පෙනෙන ආකාරයෙන් නිරූපණය කර ඇති බැවින් එම ගිබන් වානරයන් මධ්‍යම චීනයේ කිසියම් කාලයක සුලබ ව දැකිය හැකි වූ බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ ව සාධකයක්‌ ලෙස මේ සුසානයෙන් ලැබී ඇති ගිබන් අස්‌ථි ශේෂ සැලකිය හැකි ය. මේ අනුව උක්‌ත වඳ වී ගිය විශේෂය චිත්‍රවල හා ඓතිහාසික වාර්තාවල සටහන් වන්නේ ද යන්න සිතීම සාධාරණ ය.

චීන සංස්‌කෘතිය තුළ ගිබන් වානරයන් උසස්‌ ලක්‌ෂණ තිබූ සතුන් සේ සැලකිණි. මේ සතුන් වඳුරන් හා සංසන්දනය කරමින් මේ බව දක්‌වා ඇත. ඒ නිසා ගිබන් වානරයන් වංශවතුන් අතර සුරතල් සතුන් සේ ඇති කරන ලද බව ද සඳහන් වෙයි. චිත්‍රවල ගිබන් වානරයන් සටහන් වීමට මෙය ද එක්‌ හේතුවකි.

වඳ වී යැමට මිනිසුන්ගේ සම්බන්ධය

එසේ නම් මේ ගිබන් වානරයන්ට සිදු වූයේ කුමක්‌ ද? මේ ගිබන් විශේෂය මීට ශතවර්ෂ කීපයකට පෙර පමණ කාලයක්‌ දක්‌වා (එනම් 18 වැනි සියවස පමණ) ජීවත් වී ඇති, ගිබන් විශේෂයක්‌ විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. මේ ගිබන් විශේෂයේ වඳ වී යැම සඳහා බලපා ඇති මූලික හේතු වන්නේ පරිසරය සම්බන්ධ ව මිනිසුන් විසින් එල්ල කරන ලද පීඩනය විය හැකි ය.

මෙසේ උක්‌ත සත්ත්වයා සුසානයක රැඳවීම මඟින් පෙනෙන්නේ එම සත්ත්වයා සුරතල් සතෙකු ලෙස ඇති කරන ලද බව ය. එවැනි භාවිතයක්‌ අදාළ විශේෂයේ සතුන්ට ඉතා බරපතළ ලෙස හානිකර විය හැකි දෙයකි. විශේෂයෙන් සුරතලයට ඇති කිරීම සඳහා ලබාගන්නේ කුඩා පැටවකු ය. එවැනි පැටවකු පරිසරයෙන් ලබාගැනීමේ දී බොහෝ විට එම පැටවාගේ මව මරා දැමීම සිදු වෙයි. එය තවදුරටත් ගැටලු සහිත විය හැක්‌කේ එය සමස්‌තයක්‌ ලෙස මුළු ගිබන් කණ්‌ඩායමේ ම ව්‍යුහයට බලපාන්නක්‌ විය හැකි නිසා ය. සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ලබාගැනීම ද සතුන්ගේ වඳ වී යැමට හේතුවක්‌ විය හැකි ය.

ඓතිහාසික දත්ත අනුව පෙනී ගොස්‌ ඇත්තේ මිනිසුන් විසින් එල්ල කරන ලද දඩයම හා වාසස්‌ථාන විනාශය වැනි වෙනත් පීඩන තත්ත්ව හේතුවෙන් ද ගිබන් සතුන් වඳ වී යා හැකි බවයි. මේ සියලු තත්ත්ව හේතුවෙන් මේ සුසානයෙන් හමු වූ විශේෂයට අයත් ගිබන් සතුන් වඳ වී යැමට බෙහෙවින් ඉඩ ඇත. මේ අනුව මිනිසුන්ගේ ඝෘජු ක්‍රියාකාරිත්වය නිසා මිහිතලයෙන් වඳ වී ගිය පළමු ජීවී විශේෂය මේ ජීවියා විය හැකි ය. (අද චීනයේ වාසය කරන ගිබන් විශේෂ දැකිය හැක්‌කේ චීනයේ දකුණු දෙසට හා ඈතට වන්නට පිහිටා ඇති ප්‍රදේශයකිනි. ඒ වෙනත් විශේෂ වෙයි)

මේ දක්‌වා දඩයම් කිරීම නිසා හෝ වාසස්‌ථාන විනාශ වීම නිසා හෝ වඳ වී ගිය ප්‍රයිමේටා විශේෂයක්‌ පිළිබඳ ව වාර්තා වී තිබුණේ නැත. එහෙත් මේ නව සොයාගැනීම ගිබන් වානරයන් මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධ ව පෙන්වා දෙයි. අද වන විට ලෝකයේ ජීවත් වන අග්‍රේෂයන් හෙවත් ප්‍රයිමේටාවන් ජීවත් වන්නේ දැඩි වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව ය.

අනෙක්‌ අතට මිනිසුන් විසින් කොපමණ ප්‍රයිමේටා විශේෂ ගණනකගේ වඳ වීම සඳහා දායක වී තිබේ ද යන්න ඇතැම් විට අප මෙතෙක්‌ අවතක්‌සේරුවට ලක්‌ කර ඇතැයි යන්න මේ පර්යේෂණයෙන් මතු කරන තවත් කරුණකි. අප නො දන්නා දේ තවත් තිබිය හැකි ය. අනෙක්‌ අතට අද ජීවත් වන සියලු ජීවී විශේෂ මුහුණ පා ඇති තර්ජනයේ තරම ද මේ අනුව පෙනෙයි. මේ ජීවීන්ගේ ආරක්‌ෂාව හා පැවැත්ම පවතින්නේ මිනිසුන්ගේ දායකත්වය මත ය.

මූලාශ්‍රය : Science, DOI: 10.1126/science.aao4903

සටහන - ගිබන් විවිධත්වය



ගිබන් යනු ක්‌ෂිරපායි වර්ගයේ Primates ගෝත්‍රයට අයත් Hylobatidae කුලයට අයත් වානර විශේෂ වේ. මොවුන් කුඩා වානරයන් (Lesser apes) ලෙස මහා වානරයන් ගෙන් (Great apes - චිම්පන්සි, ගොරිල්ලා, ඔරංඋටං හා මිනිසුන්) මූලික ව වෙන් කරගනු ලබන්නේ ප්‍රමාණයෙන් කුඩා වීමෙනි.

මේ වන විට ලෝකයේ ජීවත් වන ගිබන් විශේෂ ගණන 18ක්‌ පමණ වෙයි. ඒ විශේෂ 18 ගණ හතරකට (04) අයත් ය. එසේ ම මේ ලිපියේ සඳහන් වන වඳ වී ගිය විශේෂය ද ඇතුළත් ව ගණ දෙකකට (02) අයත් වඳ වී ගිය විශේෂ දෙකක්‌ පිළිබඳව ද වාර්තා වෙයි. මේ අනුව ගිබන් විශේෂ 20ක්‌ පිළිබඳ ව ලෝකයෙන් වාර්තා වී ඇත.

අප දන්නා ගිබන් සත්ත්වයන් වාසය කරන්නේ ආසියාවේ ය. ඒ නිවර්තන හා උප නිවර්තන කලාපයට අයත් රටවල් කිහිපයක පමණකි. බංගලාදේශය හා නැඟෙනහිර ඉන්දියාවේ සිට චීනයේ දකුණුදිග ප්‍රදේශවල හා අග්නිදිග ආසියානු රටවල් දක්‌වා වූ කලාපයක ද හා ඉන්දුනීසියානු දූපත් කිහිපයක ද මේ සතුන් දැකගත හැකි ය.

Friday, July 20, 2018

Papaer: The abandoned attempt to establish a botanic garden in Colombo, 1799

[My Research Papers published]

Citation: Wisumperuma, Dhanesh, 2017. The abandoned attempt to establish a botanic garden in Colombo, 1799, Journal of the Royal Asiatic Society of Sri Lanka, Vol. 62 Part 2, pp.51-64.

Abstract

Sri Lanka chronicles and other historical sources indicate the existence of a few types of gardens in Sri Lanka. However, the concept of modern botanic gardens was introduced by the British during their occupation of the country.

Based on published sources, it has been proposed that a botanic garden was established in 1799 by the British in Colombo under the orders of Frederic North (1798-1805 CE), the first British Governor of the Maritime Provinces of the country. This is based on the fact that Joseph Jonville was appointed as the Superintendent of Botanic Gardens, and was ordered to establish a botanic garden in a land called Ortafoula in Peliyagoda, near Colombo. This reference has been cited by many subsequent authors as a source for the establishment of a botanic garden at this location.

With contemporary evidence, this study concludes that the botanic garden ordered by Governor North to be established was never established. The land was in Peliyagoda, on the right bank of the Kelani River, and after an examination of the proposed site, and discussions with the locals, Jonville proposed to abandon the project due to the threat of frequent inundation of the land during the rainy season.

Download full paper at: 

Tuesday, July 17, 2018

මිනිසුන් හා වන සතුන් අතර ගැටුමට පිළියම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 04.07.2017, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/07/04/feature4.html



පසුගිය දිනවල දී අපේ රටෙන් වාර්තා වූ වනජීවීන් පිළිබඳ සිදුවීම් කිහිපයක්‌ මඟින් මිනිසුන් හා වනජීවීන් අතර ඇති ගැටුමේ ස්‌වභාවය පිළිබඳව පෙන්වා දෙයි. සිංහරාජයේ වාසය කරන අලින් දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙන යැමට ගත් උත්සාහය, කිලිනොච්චිය ප්‍රදේශයේ දී මරා දමන ලද දිවියා පිළිබඳ සිදු වීම හා බඹරකැළේ දී මිනිසුන් විසින් අල්ලාගෙන නිදහස්‌ කරන ලද ගෝනාගේ සිදු වීම මෙරට වන සතුන් හා මිනිසුන් අතර ඇති ගැටුමේ පැති කිහිපයක්‌ පෙන්වා දෙයි.

මේ පිළිබඳව වාර්තා වන පරිදි මේ සිදු වීම් සංක්‌ෂිප්ත කළ හැක්‌කේ මෙසේ ය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වන අවසන් අලින් දෙදෙනා එම ප්‍රදේශයෙන් ඉවත් කරන මෙන් එම ප්‍රදේශයේ ඇතැම් පිරිස්‌ විසින් සිදු කරන ලද ඉල්ලීමක්‌ මත ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් පියවර ගන්නා ලදි. ඒ සඳහා ගැනීමට යෝජිත පියවර වූයේ අදාළ අලින් හොරොව්පතානේ පිහිටා ඇති අලි රැඳවුම් මධ්‍යස්‌ථානය වෙත ගෙන යැම ය. එහෙත් මේ පිළිබඳ ව පරිසරවේදීන් වෙතින් දැඩි විරෝධයක්‌ එල්ල විය. අවසානයේ දී ජනාධිපතිවරයාගේ නියෝගයක්‌ මත එම ප්‍රයත්නය අත්හිටුවීමට පියවර ගත් බව සැළ විය. එය එක්‌තරා ආකාරයකින් සතුටට කරුණකි. තෙත් කලාපයේ වාසය කරන තෙත් කලාපීය ආහාර රටාවකට හුරු වී ඇති මේ අලින් වියළි කලාපයේ දේශගුණයට හෝ එම ආහාරවලට හුරු වෙතැයි අපේක්‌ෂා කළ නොහැකි ය. අනෙක්‌ අතට මේ අලින් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ඇත්තේ කවර පිරිස්‌වලට ද යන්න පිළිබඳව ද ගැටලු ඇති වී තිබෙයි.

මේ අතර කිලිනොච්චියට නුදුරු ප්‍රදේශයක දී ගමකට පිවිසුණු දිවියකු හෙවත් කොටියකු මිනිසුන් විසින් පහර දී මරා දමනු ලැබීම පිළිබඳ වීඩියෝ දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ ප්‍රචාරය වීමෙන් පරිසර අංශවල විශාල කලබැගෑනියක්‌ ඇති විය. විශේෂයෙන් මේ සිදු වීමේ දී අදාළ දිවියා ඇල්ලීම සඳහා වනජීවී අංශවලට බාධා කළ බව ද වාර්තා විය. එය කණගාටුදායක සිදු වීමකි. එසේ ම මේ දිවියා මරා දමන ලද අමානුෂික ක්‍රියාවලිය හා එය සමාජ ජාල ඔස්‌සේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. මීට පෙර ඇතැම් අවස්‌ථාවල දී පක්‌ෂින් හා වෙනත් සතුන් දඩයම් කිරීමේ දී ද මෙසේ එය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන පිරිස්‌ සමාජ ජාලවල අපි දැක ඇත්තෙමු. එහි ඇති අමානුෂික ස්‌වභාවය සමාජයේ පරිහානියක්‌ නිරූපණය කරන්නක්‌ ද යන්න විටක අපට සිතෙයි.

එසේ ම නුවරඑළිය බඹරකැළේ වතු යායේ ඇළක තුවාල සහිත ව වැටී සිටි ගෝනකු නිරීක්‌ෂණය කළ වතු කම්කරුවන් පිරිසක්‌ ඒ පිළිබඳ ව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු ව එම ගෝනාට ප්‍රතිකාර ලබා දී පිදුරුතලාගල රක්‌ෂිතයට නිදහස්‌ කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. ඒ පසුගිය ජුනි මස අවසන් සතියේ දී වූ සිදු වීමකි. මෙය සිදු විය යුතු දේ පෙන්වා දෙන්නකි. ඇතැම් විට වගා බිම්වලට පවා හානි කළ හැකි ගෝනකු වැනි සතකු ගම් වැදුණු අවස්‌ථාවක දී එම වතුවල කම්කරුවන්ගේ මේ හැසිරීම අගය කළ යුත්තක්‌ බව පැහැදිලි ය.

ගැටුමේ ඉතිහාස කතාව


වනජීවී-මිනිස්‌ ගැටුම (human-wildlife conflict) ලෙස හඳුන්වනු ලබන්නේ මිනිසුන් හා වනසතුන් අතර ඇති අන්තර් ක්‍රියා සහ එමඟින් මිනිසුන් හා මිනිසුන්ගේ සම්පත් සඳහා හෝ වනසතුන් හා ඔවුන්ගේ වාසස්‌ථාන සම්බන්ධ ව හෝ ඇති වන නිෂේධනාත්මක බලපෑමයි.

වනජීවීන් හා මිනිසුන් අතර මෙවැනි ගැටුම් ඇති වීම ඈත අතීතයේ සිට සිදු වන සිදු වීමකි. එහි ආරම්භය මානව ප්‍රාග් ඉතිහාසය ලෙස දැක්‌විය හැකි ය. එකල ඇති වූ මිනිස්‌-වනජීවී ගැටුම ප්‍රාථමික තත්ත්වයේ වූවක්‌ විය. කෙසේ වෙතත් මිනිසා ශිෂ්ටාචාරගත වීමෙන් පසුව මේ මිනිස්‌-වනජීවී ගැටුම වඩා සංකීර්ණ ස්‌වභාවයක්‌ ගත් බව පෙනෙයි. විශේෂයෙන් මිනිසුන් වගා කටයුතු ආරම්භ කිරීමෙන් හා පශු පාලනය ආරම්භ කිරීමෙන් අනතුරු ව මිනිස්‌-වනජීවී ගැටුම වඩා සංකීර්ණ වූවක්‌ විය. වන සතුන් වෙතින් මිනිසුන් වෙත ඇති වන හානිකර බලපෑම් මෙන් ම මිනිසුන් වෙතින් වන සතුන්ට ඇති වන හානිකර බලපෑම ද සුලබ ව දැකිය හැකි වූයේ ඒ සමඟ ය. මිනිස්‌ ජනගහනයේ වර්ධනයත් සමඟ මේ තත්ත්වය වඩාත් බරපතළ විය.

අපේ රටේ වුවත් මිනිස්‌-වනජීවී ගැටුම සම්බන්ධ ව නො දන්නා කරුණු බෙහෙවින් තිබෙයි. විශේෂයෙන් වන සතුන් ගෙන් මිනිසුන්ට සිදු වන හානි පිළිබඳ මෙන් ම මිනිසුන් වෙතින් වනසතුන්ට සිදු වන අමානුෂික ක්‍රියා පිළිබඳ ඉතිහාසය ද බොහෝ දෙනා අමතක කර ඇති දෙයකි.

නිදසුනක්‌ ලෙස ගත හොත් අලි මිනිස්‌ ගැටුම ඈත අතීතයේ සිට ම පැවත එන්නක්‌ බව පැහැදිලි ය. මිනිසුන් විසින් වගා කරනු ලබන බෝග වර්ග අලින් හා වෙනත් සතුන්ගේ ආහාර විය. එබැවින් අලි ඇතුන් පිළිබඳ ව මිනිසුන් අතර පළිබෝධයකු හා සමාන ආකල්පයක්‌ තිබීම පුදුමයක්‌ නො වේ. මේ නිසා අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව මිනිසුන් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබන්නට ඇත. අලි ඇතුන්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම සිදු කළ අවස්‌ථා, නිවස තුළට යොමු කළ හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදු වීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අපි නො දනිමු.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධ ව ප්‍රතිචාර දක්‌වා ඇති බව ද මේ පිළිබඳව ඇති වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් විසින් දැනුම් දෙන ලද අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය මීට සමාන වෙයි.

බ්‍රිතාන්‍ය පාලන සමය පිළිබඳව සැලකූ විට අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බව පෙනෙයි. ඒ පිළිබඳව පරීක්‌ෂා කිරීමෙන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට හෝ නියෝග කරනු ලැබෙයි. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන 'ක්‍රීඩාලෝලී' සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟපෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාවගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය.

දිවියා හෙවත් කොටි සමඟ මිනිසුන්ගේ ගැටුම් ඇති වීම ද කලක්‌ තිස්‌සේ වාර්තා වෙයි. මිනිසුන් විසින් දිවියන් කෙරෙහි සතුරු ආකල්පයක්‌ දක්‌වනු ලැබ ඇත්තේ මේ සතුන් විසින් ගවයන්, එළුවන් හා බල්ලන් වැනි සතුන් ආහාරයට ගනු ලැබීම නිසා පමණක්‌ නො වේ. (මෙවැනි සිදු වීම් පිළිබඳව වාර්තා බ්‍රිතාන්‍ය සමයේ සිට ම ඇත.) මිනිසුන් තුළ දිවියන් පිළිබඳව ඇති බිය ද මේ ගැටුම සඳහා හේතු වෙයි. එම බියට හේතු වී ඇත්තේ දිවියන් විසින් පහර දෙනු ලැබෙතැයි යන බියයි. එහෙත් ඇත්තෙන් ම දිවියකු විසින් මිනිසුන්ට පහර දෙන ලද අවස්‌ථා වාර්තා වන්නේ කලාතුරකිනි. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපගේ අධ්‍යයනවලින් දැනට අනාවරණය වී ඇති ආකාරයට 19 වැනි සියවස මුල, මාතරට නුදුරු ප්‍රදේශවලින් පවා එවැනි සිදු වීම් වාර්තා වී ඇත. මිනිසුන් මරා දැමූ අවස්‌ථා පිළිබඳව ඇති නිදසුන වන්නේ 1920 දශකයේ නැඟෙනහිර පළාතේ පුනානි දිවියාගේ සිදු වීමයි. එහෙත් අප දන්නා පරිදි දිවි ප්‍රහාර වළක්‌වාගත හැකි ඒවා ය. මේ සඳහා අවශ්‍ය වන්නේ වගකීමකින් හා අවබෝධයකින් යුතු ව කටයුතු කිරීමයි.

කුරුල්ලන් වැනි සතුන් දඩයම් කිරීම පිළිබඳ වාර්තා ද මෑත කාලයේ අසන්නට ලැබිණි. මස්‌ පිණිස දඩයමට වඩා එහි දැකිය හැකි වූයේ විනෝදය පිණිස කළ දඩයමකි. මස්‌ ලබාගැනීම සඳහා දඩයම් කිරීම පිළිබඳ වාර්තා අතීතයේ සිට අසන්නට ලැබෙයි. මන්නාරම ප්‍රදේශයේ පක්‌ෂින් දඩයම් කර, වියළා අලෙවි කිරීම පාලනය කිරීමට උත්සාහ ගැනීම පිළිබඳ වාර්තා බ්‍රිතාන්‍ය සමයේ වාර්තා අතර වෙයි. මෙරට වනජීවී නීති වර්ධනය හා විකාශය වීම සඳහා මෙවැනි අපරාධ පාලනය කිරීම සඳහා ගත් පියවර වැදගත් වී ඇත. එසේ ම වඳුරන්, රිලවුන් හා කිඹුලන් සමඟ ඇති වූ ගැටුම් පිළිබඳව ද සැලකිය යුතු කලක පටන් වාර්තා තිබෙයි.

මැද මාවතේ විසඳුමක්‌ සොයා


මිනිස්‌-වනජීවී ගැටුමට පිළියම් යෙදීමේ දී මිනිsසුන් අමතක කර, ඇති කරගන්නා විසඳුමකින් එතරම් ප්‍රයෝජනයක්‌ ලබාගත නො හැකි බව පැහැදිලි ය. වන සතුන්ගේ ජීවිත මෙන් ම මිනිසුන්ගේ ජීවිත ද වැදගත් ය. අප පිළිගැනීමට කැමැති වුව ද අකැමැති වුව ද මේ වන විට ලෝකයේ ඇත්තේ මානව කේන්ද්‍රීය සමාජයකි. මේ අනුව මිනිස්‌-වනජීවී ගැටුමට විසඳුම් ලබා දීමේ දී මිනිස්‌ අවශ්‍යතා පිළිබඳව ද සැලකිල්ලට ගත යුතු වෙයි. මානව අවශ්‍යතා ද සම්පූර්ණ කරන, වනජීවීන් ද ආරක්‌ෂා කරන ආකාරයේ විසඳුමක්‌ සොයාගැනීම අද දවසේ අවශ්‍යතාව වෙයි.

වරක්‌ අප සහභාගි වූ අලි-මිනිස්‌ ගැටුම පිළිබඳ එක්‌තරා වැඩසටහනක දී ප්‍රදේශවාසීන් පැවසූ කරුණක්‌ මෙහි දී අපට සිහි වෙයි. ඔවුන් මුහුණ දී තිබූ අලි-මිනිස්‌ ගැටුමට ආසන්න විසඳුමක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ ඔවුන්ගේ අදහස වූයේ 'එක එක සතා අඩු වෙලා හරි මේ ප්‍රශ්නෙ ඉවර වෙයි' යන අදහසයි. එම ප්‍රදේශයේ පසුගිය හැත්තෑ (70) වසරක පමණ කාලයේ අලි ගහනය අඩු වී ඇති අතර මිනිස්‌ ජනගහනය ඉහළ ගොස්‌ වන ගහනය අඩු වී ඇත. එසේ ම සිංහරාජ ප්‍රදේශයේ අලින්ට අද සිදු ව ඇත්තේ මෙයයි. එහි අතීතයේ සැලකිය යුතු තරමක්‌ සිටි අලි රංචුවකින් මේ වන විට ඉතිරි ව ඇත්තේ අලින් දෙදෙනකු පමණකි. එහෙත් මෙය පිළිගත හැකි තර්කයක්‌ නො වේ. ඇතැම් බිම් පෙදෙසක හුදකලා වී ඇති වනජීවීන් රැකගැනීමට මෙවැනි ආකල්ප වෙනස්‌ කළ යුතු බව පැහැදිලි ය.

Wednesday, July 11, 2018

"බ්‍රෑන්ඩ් නිව් එකක් ඕනද?" (කට කැඩිච්ච කතා 03)

අපේ මිතුරු දන්ත වෛද්‍යවරයෙක් වරක් එයාගෙ පුද්ගලික සායනයට අවශ්‍ය භාණ්ඩ වගයක් ගන්න එවැනි උපකරණ මෙරටට ගෙන්වා අලෙවි කරන තැනකට ගියේය. ඒ උපකරණවලට අපේ මිතුරාගේ හිත ගිය අතර ඒ ආයතනයේ සේවය කළ සුන්දර යුවතිය හා තව ටිකක් කතා කරන්නටත් ඕන වුනා.

එතැන තිබූ භාණ්ඩ විදේශ රටවල භාවිත කළ උපකරණ. හොඳ තත්ත්වයේ ඒවා. එහෙත් අපේ ම්තුරා මෙහෙම කිව්වා...

"මේ ඔක්කොම පාවිච්චි කරපුව නේද?"

"ඔව් සර්. රිකන්ඩිෂන්."

"මං හොයන්නෙ බ්‍රෑන්ඩ් නිව් එකක්. මොකද අපි බ්‍රෑන්ඩ් නිව් නේ..."

දැන් කාරණය අර යුවතියට තේරුණා. සැහැල්ලුවෙන් යමක් පෙන්වා ඇය දුන් අපූරු උත්තරේ මේකයි. 

"බ්‍රෑන්ඩ් නිව් එකක් ඕන නම් සර්ට අර ඈත තියන ගේට්ටුව ගාවට වෙලා ඉන්න වෙයි... එතනින් නම් පාවිච්ච් නොකළ අලුත්ම එව්වා එළියට එනවා."

ඒ පෙන්නපු තැන තිබුනේ කාසල් වීදියේ කාන්තා රෝහල...

(මේ කතාව කියූ අපේ මිත්‍රයා එතනින් අර උපකරණ ගත්තාදැයි කිව්වේ නැත.)

අනෙත් කට කැඩිච්ච කතා සඳහා මෙතැන ක්ලික් කරන්න.

Thursday, June 14, 2018

බ්‍රෙස්ට් එකට තිත තැබීම (කට කැඩිච්ච කතා 02)

​කෑම සඳහා මස් ටිකක් ගන්න මීට් ෂොප් එකකට ගිය වෙලාවක වුණු දෙයක්.
චිකන් පාට්ස් තෝරලා අරන්, තව දේවල් විකුණන්න (කවදාවත් නැතිව) වලිකන සේල්ස්මන් ගෙන් මිදී බිල දමන්නට කැෂියර් ළඟට ගියෙමි. එහි සිටි ටිකක් අැහැට-කනට පෙනෙන තරුණිය එකින් එක අයිතමය ගෙන බිල දමා අවසන් එකතුව ගත්විට එය රු. 289,870ක් වැනි ගණනක් විය. මම යමක් කීමට කලින්ම ඇය "බිල වැරදිලා" අන් අයටත් පවසා එහි මුද්‍රිත පිටපත අතට ගෙන යළි එකිනෙක කියමින් ඇතුල් කළාය.

අන්තිම අයිටම් එක ඇතුළු කරමින් වරද එහි බව හඳුනාගත් ඈ මෙසේ කීවාය.

"බ්‍රෙස්ට් එකට තිත තියල නෑනෙ"

මට මද සිනාවක් නැගුනේ නිතැතින්මය. එම තරුණියටද ඇය කී කතාවේ කට කැඩිච්ච ගතිය තේරුණ බව වැටහී සිනා ගියේය. කියන්න දේ මගෙ කටට ආවත් වැඩිය නොඑන කඩයක් නිසා කට පියාගෙන එළියට ආවෙමි....

මම දිය යුතුව තිබුණු උත්තරය කුමක්ද?

මාත් එක්ක ඇවිත් වාහනේටම වෙලා සිටි ඥාති සොහොයුරා කතාව අහලා කියනවා, අපරාදෙ ඔය වගෙ අය ඉන්නකොට මිස් කෝල් එකක් දෙන්න එපායැ කියලා. (හුහ්.., වෙන වැඩ නෑනෙ...)

Friday, June 1, 2018

පිට පිට තෙවැනි වසරේත් යළි ආ ගංවතුර

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.05.2018, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/05/30/feature4.html




මේ ගත වන්නේ නිරිතදිග මෝසම් වර්ෂා සමයයි. මේ කාලයේ දී රටේ බස්‌නාහිර හා නිරිතදිග ප්‍රදේශවලට සාමාන්‍යයෙන් දැඩි වර්ෂාපතනයක්‌ අපේක්‌ෂා කළ හැකි ය. සාමාන්‍යයෙන් මෙරටට වැඩි වර්ෂාවක්‌ ලැබෙන්නේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන් වන අතර, එබැවින් එම ප්‍රදේශවල සුළු වශයෙන් හෝ ගංවතුරක්‌ ඇති වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. එය එම ප්‍රදේශවල වැසියන් සාමාන්‍යයෙන් අපේක්‌ෂා කරන දෙයකි. ඇතැම් ප්‍රදේශවල යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන් සූදානම් වන්නේ ගංවතුර ඇති වූ පසුව ය.

කෙසේ වෙතත්, සැලකිය යුතු තරමේ බරපතළ ආකාරයේ ගංවතුරක්‌ මේ වර්ෂයේ දී ද ඇති වී තිබේ. මැයි 27 වැනි දා වන විට නිකුත් කර ඇති නිවේදනයට අනුව 166,228ක පමණ පිරිසක්‌ ආපදාවෙන් බලපෑමට පත් ව ඇති අතර, මරණ 23ක්‌ සිදු වී ඇත. වැඩි ම පිරිසක්‌ බලපෑමට ලක්‌ ව ඇත්තේ පිළිවෙළින් ගම්පහ, පුත්තලම, රත්නපුර, කොළඹ හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවල ය.

මෙහි ඇති වැදගත් කරුණ වන්නේ අඛණ්‌ඩ ව මැයි-ජුනි කාලයේ ගංවතුරක්‌ ඇති වූ තුන්වැනි වර්ෂය මෙය වීමයි. මීට පෙර 2016 වර්ෂයේ දී මෙන් ම 2017 වර්ෂයේ දී ද මහා ගංවතුර තත්ත්ව ඇති විය. 2016 වර්ෂයේ දී ඇති වූ ගංවතුර නිසා වැඩි බලපෑමක්‌ ඇති වූයේ කැලණි නිම්නයේ පිහිටා ඇති ප්‍රදේශවලට ය. එහෙත් 2017 වර්ෂයේ ගංවතුරින් වැඩි බලපෑමක්‌ ඇති වූයේ කළු, ගිං හා නිල්වලා නිම්නවලට ය. එම අවස්‌ථා දෙකෙහි දී ම ඇති වූ බලපෑම නිසා සමාජයේ වැඩි අවධානයක්‌ ගංවතුර කෙරෙහි යොමු වූ බව සඳහන් කළ යුතු ය.

ජීවිත 99ක්‌ පමණ අහිමි වූ 2016 වර්ෂයේ දී ඇති වූ තත්ත්වය පිළිබඳ ව සැලකිල්ලට ගනිමින් සකස්‌ කර ඇති ජගත් දේශගුණ ආපදා සුචිය (Global Climate Risk Index 2018) නම් සුචියේ දී ශ්‍රී ලංකාව දේශගුණ ආපදා දර්ශකයේ සිව්වැනි තැනට පත් ව ඇති බව වාර්තා වූයේ ද පසුගිය සතියේ දී ය. ආන්තික කාලගුණ තත්ත්ව හා සම්බන්ධ ආපදා නිසා වන, හානි පිළිබඳ ව සලකා බලමින් මේ වාර්තාව Greman Watch නම් ආයතනය විසින් සකස්‌ කරනු ලැබ ඇත. මෙහි දී දර්ශක හතරක්‌ යොදාගෙන ඇත. ඒ මරණ ප්‍රමාණය, ජනගහනයේ 100,000කට මරණ ගණන, හානියේ වටිනාකම ක්‍රය ශක්‌ති සාම්‍යය ලෙස (ඇමෙරිකානු ඩොලර්වලින්) හා දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට හානිය යන දර්ශක ය. මේ සුචිය අනුව අනුව ලංකාව පසු වන්නේ හයිටි, සිම්බාබ්වේ හා ෆීජි යන රාජ්‍යවලට පසුව වන අතර, ලංකාවේ ලබා ඇති අගය 11.50කි. ගංවතුරින් හානි සිදු නො වූ 2015 වර්ෂයේ දී ශ්‍රී ලංකාව පසු වූයේ 98 වැනි ස්‌ථානයේ වීම සැලකිල්ලට ගත යුතු ය. මේ අනුව පෙනෙන්නේ ඉහළ යන ආපදා ගැන අප අවධානය යොමු කළ යුතු බවයි. (මූලාශ්‍රය- https://germanwatch.org/en/14638)

ගංවතුරට බලපාන වර්ෂාපතන තීව්‍රතාව


මේ වර්ෂයේ දී ද ගංවතුර ඇති වීමට ප්‍රධාන හේතුව වර්ෂාපතන තීව්‍රතාව (rainfall intensity) බව පැහැදිලි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් කෙටි කාලයක්‌ ඇතුළත වැඩි වර්ෂාපතනයක්‌ ලැබීම මේ ගංවතුර තත්ත්වයට හේතු වී තිබේ. මෑත කාලයේ දී වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යන බව ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියානු අධ්‍යයන මඟින් ද පෙන්වා දී තිබෙයි.

ජගත් දේශගුණ ආකෘති මඟින් පැහැදිලි කර ඇති ආකාරයට දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැම සිදු විය හැකි ය. ඒ අනුව මෙය මානව බලපෑමෙන් සිදු වන්නක්‌ ලෙස සැලකිය හැකි ය. අතීතයේ වසර 10 -15කට වරක්‌ දැකිය හැකි වූ මහා ගංවතුර තත්ත්ව දැන් දැන් නිතර ඇති වීමට හේතුව එවැන්නක්‌ විය හැකි ය. කෙසේ වෙතත් මානව සාධක දේශගුණ වෙනස්‌ වීම සඳහා හේතු වී ඇති අතර, ඇති වන ගංවතුර ආපදාව උග්‍ර කිරීම සඳහා ද මානව ක්‍රියාකාරකම් හේතු වන බව පැහැදිලි ය.

පසුගිය දින කිහිපයේ දී ලැබුණු වර්ෂාපතනය පිළිබඳ ව විමසීමක්‌ සිදු කළ හොත් කෙටි කාලයක්‌ ඇතුළත අධික වර්ෂාපතනයක්‌ ලැබීම මේ වර්ෂයේ දී ද සිදු ව ඇති බව පැහැදිලි වනු ඇත. එනම් සාමාන්‍යයෙන් මේ කාලයට ලැබෙන වර්ෂාපතනයට වඩා අධික වර්ෂාපතනයක්‌ ලැබී ඇති බවයි. මේ සමඟ ඇති වගුවෙන් දැක්‌වෙන්නේ මැයි 15 සිට 26 දින දක්‌වා වූ කාලය ඇතුළත වැඩි ම වර්ෂාපතනයක්‌ ලැබී ඇති ප්‍රදේශ මොනවා ද යන්න ය.

අදාළ දින පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24ක කාලය ඇතුළත ඉහළ ම වර්ෂාපතනය වාර්තා වූ ප්‍රදේශ



මෙමඟින් බැලූ බැල්මට පෙනෙන ආකාරයට වැඩි ම වර්ෂාපතනයක්‌ ලැබී ඇත්තේ වයඹ පළාතේ ස්‌ථානවලට ය. ගංවතුරේ වැඩි බලපෑමක්‌ කළ බවක්‌ මාධ්‍යවලින් පෙනෙන්නේ ද වයඹ පළාතෙනි. එසේ ම වාර්තා වන පරිදි පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් ජලාශ වාන් දමන තත්ත්වයකට පත් ව ඇත්තේ දශක කිහිපයකට පසුව ය. කෙසේ වෙතත් වයඹ පළාතට අධික වැසි ලැබුණු ඒ දිනවල කළු හා කැලණි නිම්නයේ ඉහළ ප්‍රදේශවලට ද සැලකිය යුතු තරම් ඉහළ වර්ෂාපතනයක්‌ ලැබී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මැයි 21 පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය ආණමඩුව ප්‍රදේශයෙන් (මි.මී. 353.8) වාර්තා වූ අතර, ආඬිගම හා කමාල්සේරම් ප්‍රදේශවලින් පිළිවෙළින් මිලිමීටර් 339ක්‌ හා 302ක්‌ වූ වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. එසේ ම එම පැය විසි හතරක කාලය ඇතුළත දී රත්නපුරයේ කුඩව ප්‍රදේශයෙන් මිලිමීටර් 232ක, කුකුළේගඟ ප්‍රදේශයෙන් මිලිමීටර් 227ක හා ඇහැලියගොඩින් මිලිමීටර් 201.5ක වර්ෂාපතනයක්‌ වාර්තා වී තිබිණි. එසේ ම 25 වැනි දා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය ලැබුණේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථානයකට වුව ද ගම්පහ (මි.මී. 138.5), නිට්‌ටඹුව (මි.මී. 133.6) වැඩි වර්ෂාපතන වාර්තා විය. මේ අනුව කළු, කැලණි ගංගාවල මෙන් ම අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක්‌ ලැබී ඇති බව පැහැදිලි ය. ඒ නිසා එම ගංගා නිම්නවල ද ගංවතුර තත්ත්ව ඇති විය.

මානව සාධකවල බලපෑම


කෙසේ වෙතත් ගංවතුර ඇති වීමට බලපෑ මූලික සාධකය කෙටි කාලයක්‌ තුළ ලැබුණු අධික වර්ෂාපතනය විය හැකි වුව ද ගංවතුරේ බලපෑම උග්‍ර වීම සඳහා මිනිස්‌ කටයුතු හේතු වී ඇති බව පැහැදිලි ය. ගංවතුරින් බලපෑමට ලක්‌ විය හැකි ප්‍රදේශවල ජනාවාස තනා තිබීම මින් එකකි. ගංවතුරින් බලපෑමට ලක්‌ ව ඇති ප්‍රදේශ අතරින් ඇතැම් ප්‍රදේශ කලකට පෙර පහත්බිම් ය. එනම් වැසි ජලය ස්‌වාභාවික ව බැස ගිය බිම් ය. මේ බිම්වල අද වන විට නිවාස හා වෙනත් ගොඩනැඟිලි ඉදි කර ඇත. ඒවා ජලයෙන් යට වීම පුදුමයට කරුණක්‌ නො වේ.

එසේ ම ගංවතුර බැස යන මාර්ග අවහිර වීම නිසා ගංවතුර බැස යැම සෙමින් සිදු වීම තවත් කරුණකි. ගංවතුර බැස යැමට අවහිර වන ආකාරයේ ඉදිකිරීම් කර තිබීම තවත් එකකි. ඇතැමුන් ගංවතුර ඇති වීම සඳහා එක ම හේතුව ලෙස දැක්‌වීමට උත්සාහ කරන අධිවේගී මාර්ගය වැදගත් වන්නේ මෙහි දී ය. එහෙත් අධිවේගී මාර්ගය ඉදි කිරීමට පෙර කාලයේ දී ද මහා ගංවතුර ඇති වී තිබේ. මේ සඳහා ආසන්න ම නිදසුන වන්නේ 2003 වර්ෂයේ ඇති වූ මහා ගංවතුර ය. එසේ ම අධිවේගී මාර්ගය විවෘත කරන ලද 2011 වර්ෂයෙන් පසු ව (එය ඉදි කරන ලද්දේ ඊට කලකට පෙර සිට ය) මැයි මාසයක දී අධික ගංවතුරක්‌ ඇති වූයේ 2016, 2017 හා 2018 වර්ෂවල දී ය. එම වර්ෂවල මැයි මාසවල දී වෙනත් වර්ෂවලට සාපේක්‌ෂ ව අධික වර්ෂාපතනයක්‌ ලැබී තිබේ. අනෙක්‌ අතට 2018 වර්ෂයේ දී ගිං හා නිල්වලා නිම්නවල 2017 තරම් අධික වර්ෂාවක්‌ ඇති නො වූ අතර, මහා ගංවතුරක්‌ ද දැකිය නොහැකි විය. අධිවේගී මාර්ගයේ ඇතැම් ස්‌ථානවලින් ගංවතුර බැස යැමට අවහිරතා ඇති වී තිබිය හැකි වුව ද, එය ගංවතුර ඇති වීමට එක ම හේතුව නො වේ. අධිවේගී මාර්ගය ඉදිකිරීමට පෙර 2003 වැනි වර්ෂවල විනාශකාරී මහා ගංවතුර තත්ත්ව ඇති වූ අතර, අධිවේගී මාර්ග නොමැති ප්‍රදේශවල ද ගංවතුර ඇති වේ.

අනෙක්‌ අතට මේ වර්ෂයේ දී මෙවැනි සංවර්ධන කටයුත්තකින් අවහිරයක්‌ සිදු ව නොමැති ප්‍රදේශ ද ගංවතුරේ බලපෑමට ලක්‌ ව තිබීම ද වැදගත් ය. නිදසුනක්‌ ලෙස කුලියාපිටිය, පුත්තලම වැනි ප්‍රදේශ දැක්‌විය හැකි ය. මේ ප්‍රදේශවලට වැටුණු වර්ෂාපතනය ඒ ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතන අගය ඉක්‌මවා ගොස්‌ ඇත්තේ ද යන්න සොයා බැලිය යුතු කරුණකි. ඒ අනුව ගංවතුර සඳහා වර්ෂාපතන තීව්‍රතාව බලපා ඇති ආකාරය අධ්‍යයනය කළ හැකි ය.

කෙසේ වෙතත් මෙහි දී සඳහන් කළ යුතු කරුණක්‌ වන්නේ අපේ සියලු කටයුතු - සංවර්ධන සැලසුම් ආදිය - සකස්‌ කිරීමේ දී මේ වන විට මෙන් ම අනාගතයේ දී ද ඉහළ යා හැකි වර්ෂාපතන තීව්‍රතාව පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් වන බව ය. එසේ ම ඊට බලපාන හරිතාගාර වායු විමෝචන පාලනය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් ය. රටක්‌ ලෙස ගත් විට ශ්‍රී ලංකාවෙන් නිකුත් කරනු ලබන හරිතාගාර වායු විමෝචන, සුළු ප්‍රමාණයක්‌ වුව ද, ඒ සුළු ප්‍රමාණයේ යම් හෝ අඩු කිරීමක්‌ සිදු කළ හැකි නම් එය හරිතාගාර ආචරණය අඩු කිරීමට සිදු කරන දායකත්වයකි. එමඟින් වර්ෂාපතන තීව්‍රතාව ඉහළ යැම වැනි ආන්තික කාලගුණ තත්ත්ව අඩු කිරීමට සුළුවෙන් හෝ දායකත්වයක්‌ ලබා දීමට හැකි ය.

Wednesday, May 30, 2018

සෙංගමාලය හෙවත් හෙපටයිටිස්‌ බී රෝගය වසර 7,000කට පෙර යුරෝපයේ තිබූ බවට සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 23.05.2018, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2018/05/23/feature3.html




සෙංගමාලය හෙවත් හෙපටයිටිස්‌ බී රෝගය වර්තමාන ලෝකයේ සැලකිය යුතු හානියක්‌ සිදු කරන හා පැතිරුණු ව්‍යාප්තියක්‌ සහිත වයිරස මඟින් ඇති වන රෝග අතර වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2015 වර්ෂයේ දී ලෝකය පුරා මිලියන 257ක පමණ ජනතාවක්‌ මේ රෝගයට ගොදුරු වී ඇති අතර, රෝගය නිසා මූලික වශයෙන් අක්‌මාවේ ඇති වන ගැටලුවලින් මිය ගිය ප්‍රමාණය 887,000ක්‌ පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. හෙපටයිටිස්‌ බී රෝගය සඳහා යොදාගන්නා එන්නතක්‌ ද භාවිතයේ තිබිය දී මෙතරම් බරපතළ තත්ත්වයක්‌ ඇති කර තිබීමෙන් රෝගයේ බරපතළ බව පෙනෙයි.

මේ රෝගයේ ඉතිහාසය විද්‍යාඥයන්ට දිගු කලක්‌ තිස්‌සේ ගැටලු සහගත ව තිබූ දෙයකි. හෙපටයිටිස්‌ බී වයිරසය (Hepatitis B virus - HBV) ලෝකයේ කිනම් ප්‍රදේශයක කවර කාලයක දී ආරම්භ වූයේ ද යන්න හා එහි පරිණාමීය ඉතිහාසය පිළිබඳ ව අපැහැදිලි තැන් ගණනාවක්‌ තිබිණි. මේ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනවල දී ඇති වූ ගැටලු සහගත තත්ත්වයක්‌ වූයේ වයිරස හා සම්බන්ධ ව පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව අධ්‍යයන කටයුතු සිදු කිරීම අපහසු වීම ය. ඒ පැරැණි ප්‍රාග් ඓතිහාසික මානව ශේෂ ආදියෙන් වයිරස ප්‍රවේණි ද්‍රව්‍ය වන DNA මේ දක්‌වා ලැබී නො තිබීම හේතුවෙනි. මේ තත්ත්වය ඇතැම් විට සමාන කරනු ලබන්නේ ෆොසිල නොමැති ව අද වෙසෙන සතුන් මඟින් පමණක්‌ යොදාගෙන සතුන් පිළිබඳ ව හැදැරීමට ය. ඒ හා සමාන ව අතීතයේ ජීවත් වූ වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය නොමැති ව ඒවායේ පරිණාමය ගැන ලබාගත හැක්‌කේ අඩු අදහසකි. මේ අනුව පෞරාණික DNA සොයාගැනීමට හැකි නම් එමඟින් ලැබෙන්නේ මනා සහායකි.

මෑතක දී හෙපටයිටිස්‌ බී රෝගයට හේතු වන වයිරසවල මෙතෙක්‌ සොයාගත් පැරැණි ම ගෙනෝම සොයාගැනීමත් සමඟ මේ රෝගයේ අතීතය පිළිබඳ නව තොරතුරු රැසක්‌ අනාවරණය කරගැනීමට අවස්‌ථාව මේ වන විට උදා වී තිබෙයි. මෑතක දී ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකින් අදින් වසර 4,500ක්‌ පමණ පැරැණි වයිරස ද, තවත් අධ්‍යයනයකින් අදින් වසර 7,000ක්‌ පමණ පැරැණි වයිරස ද හමු වී ඇත. ඒවා මඟින් හෙළි වන කරුණු පිළිබඳ ව පහත විස්‌තර වෙයි.

වසර 4,500ක්‌ පැරැණි වයිරස හමු වීම


මුලින් ම ප්‍රකාශයට පත් අධ්‍යයනය Nature සඟරාවේ පළ වූවකි. එහි දී පෙන්වා දී ඇති ආකාරයට මෙතෙක්‌ දන්නා හෙපටයිටිස්‌ බී වයිරසය පිළිබඳ පැරැණි ම සාධක අනාවරණය කරගැනීමට එම පර්යේෂණ කණ්‌ඩායමට හැකියාව ලැබී තිබිණි.

යුරෝපයේ හා ආසියාවේ ප්‍රදේශ ගණනාවකින් හමු වී ඇති, ලෝකඩ යුගයේ සිට මධ්‍යතන යුගය දක්‌වා වූ විවිධ කාල වකවානුවලට අයත් ලෙස කාල නිර්ණය කරන ලද මානව ඇටසැකිලි නිදර්ශක 304කින් ලබාගත් ප්‍රවේණික ද්‍රව්‍ය මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වී ඇත. එහි දී එම ඇටසැකිලි අතර තිබී හෙපටයිටිස්‌ බී වයිරසය ආසාදිත ඇටසැකිලි 25ක්‌ පමණ ඔවුන්ට හඳුනාගත හැකි වී තිබෙයි. ඒ අතරින් වයිරසයේ ගෙනෝමය පිළිබඳ ව සවිස්‌තර අධ්‍යයනයක්‌ සිදු කිරීමට තරම් ප්‍රමාණවත් DNA හමු වී ඇත්තේ ඇටසැකිලි 12ක්‌ පමණ ප්‍රමාණයකිනි. එසේ හඳුනාගත් වයිරස ගෙනෝම එකිනෙකට වෙනස්‌ මාදිලි (strains) 12කට අයත් වූ අතර, ඒ අතරින් එකක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති මාදිලියකි.

මේ පර්යේෂණයේ දී හමු වී ඇති පැරැණි ම හෙපටයිටිස්‌ බී වයිරසය සහිත ඇටසැකිල්ල අදින් වසර 4,500ක්‌ පමණ පැරැණි වූවකි. එම නිදර්ශක අතරින් වඩාත් මෑතකාලීන නිදර්ශකය වසර 800ක්‌ පමණ පැරැණි ය. මේ අනුව ලෝකඩ යුගය පමණ වන විට ද හෙපටයිටිස්‌ බී වයිරසය මිනිසුන්ට වැළඳී තිබූ බව පැහැදිලි විය. මෙය හෙපටයිටිස්‌ බී වයිරසය සම්බන්ධ ව මෙන් ම වයිරස සම්බන්ධව ද පැරණිතම ගෙනෝමය අනාවරණය වූ අවස්‌ථාව විය. මෙතෙක්‌ පැවැති අවබෝධය අනුව පැරැණි ම මානව හෙපටයිටිස්‌ බී වයිරස අයත් වූයේ අදින් වසර 450ක්‌ පමණ පෙර කාලයකට ය. මේ අනුව මේ පර්යේෂණයෙන් මේ රෝගයේ ඉතිහාසය බොහෝ ඈතට ගෙන යැමට සමත් විය.

වසර 7,000ක්‌ පැරැණි වයිරස හමු වූ අධ්‍යයනය


කෙසේ වෙතත් පැරැණිතම වයිරස පිළිබඳ දින වකවානු සම්බන්ධ වාර්තාව ඉහත දැක්‌වූ පර්යේෂණයට පවත්වාගත හැකි වූයේ දින කිහිපයක කාලයකට පමණකි. එයට හේතුව වෙනත් පර්යේෂණයක්‌ මඟින් හෙපටයිටිස්‌ බී රෝග වයිරසය අදින් වර්ෂ 7,000කට පමණ පෙර කාලයක දී යුරෝපයේ ව්‍යාප්ත ව තිබූ බව හෙළි කිරීම නිසා ය.

මේ දෙවැනි පර්යේෂණය, ඉදිරියේ දී පළ කිරීම සඳහා eLife සඟරාව මඟින් පිළිගෙන ඇති පර්යේෂණ වාර්තාවකි. එම අධ්‍යයනයේ දී ජර්මනියේ නව ශිලා යුගයේ හා මධ්‍යතන යුගයට අයත් ස්‌ථානවල සිදු කරන ලද කැණීම්වලින් ලබාගත් මානව ඇටසැකිලිවල, දත්වලින් ලබාගත් නිදර්ශක විශ්ලේෂණය කිරීමට පියවර ගෙන තිබෙයි. මේවායේ කාල නිර්ණය පොදු වර්ෂ පූර්ව 5,000 සිට පොදු වර්ෂ 1,200 දක්‌වා වූ කාලවලට අයත් විය.

ඔවුන් මේ නිදර්ශක වයිරස විෂබීජවලට පරීක්‌ෂා කර ඇති අතර, එහි දී පුද්ගලයන් තිදෙනකුට අයත් ඇටසැකිලිවලින් හෙපටයිටිස්‌ බී වයිරස හමු වී තිබෙයි. වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සම්පූර්ණ ගෙනෝමය ගොඩනැඟීමට හැකි වී ඇති අතර, ඉන් ඇටසැකිලි දෙකක්‌ අදින් වසර 7,000ක්‌ හා 5,000ක්‌ පමණ පැරැණි වේ. අනෙක්‌ ඇටසැකිල්ල මධ්‍යතන යුගයට අයත් බවට කාලනිර්ණය කර ඇත.

මේ අනුව පෙර සඳහන් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූ කාලවකවානුවලට වඩා පැරැණි හෙපටයිටිස්‌ බී වයිරස පිළිබඳව අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබීම මේ අධ්‍යයනයේ ඇති වැදගත් කරුණ වෙයි.

එසේ ම මේ පෞරාණික වයිරස DNA මාදිලිවලට නෑකම් කියන මාදිලි මේ වන විට දැකිය නොහැකි වීම ද විශේෂයකි. මේ අනුව ඒවා විශේෂිත පරම්පරාවකට (lineage) අයත් බව සිතිය හැකි අතර පසුකාලීන ව වඳ වී ගිය වයිරස මාදිලි විය හැකි ය. අදින් වසර 7,000ක්‌ හා 5,000ක්‌ පමණ පැරැණි වයිරස දෙක බොහෝ දුරට සමීප ඥාතිත්වයක්‌ දක්‌වන අතර. එම වයිරස මාදිලි වර්තමානයේ චිම්පන්සි හා ගොරිල්ලා සතුන් අතර ඇති හෙපටයිටිස්‌ බී වයිරසයට වඩාත් සමීප වෙයි. අනෙක්‌ අතට මධ්‍යතන යුගයෙන් හමු වී ඇති වයිරස මාදිලිය නූතන හෙපටයිටිස්‌ බී වයිරස මාදිලියට වඩාත් සමීප වුව ද, එය ද ප්‍රවේණික වශයෙන් වෙනත් පරපුරකට අයත් බව හෙළි වී ඇත.

පෞරාණික DNA පිළිබඳ අධ්‍යයනවල වැදගත්කම


මේ කරුණු විමසීමේ දී පෙනෙන්නේ හෙපටයිටිස්‌ බී වයිරසයේ අතීතය පිළිබඳ ව පැහැදිලි සාධක ලැබී ඇති බවයි. මීට පෙර 16 වැනි සියවසේ පමණ දින නියම කර ඇති මමීවලින් ලැබී ඇති හෙපටයිටිස්‌ බී වයිරස නූතන වයිරස මාදිලිවලට සමීප ඥාතිත්aවයක්‌ දැක්‌වූ ඒවා විය. මේ නිසා පසුගිය වසර 500ක කාලයේ දී මේ වයිරසවල වෙනසක්‌ වී නො තිබීම තරමක පුදුමයට කරුණක්‌ වී තිබිණි. දැන් එම ගැටලුව ද පැහැදිලි වී ඇත.

මේ සොයාගැනීම් යොදාගනිමින් හෙපටයිටිස්‌ බී රෝගයේ ඓතිහාසික ව්‍යාප්තිය හා විකසනය හැදෑරීමට හැකියාව ලැබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් පෙර තිබූ එක්‌ මතයක්‌ වූයේ හෙපටයිටිස්‌ බී රෝගය නව ලෝකයේ හෙවත් ඇමෙරිකානු මහාද්වීපවල බිහි වී, පසුව අදින් වසර 500කට පමණ ඉහත කාලයේ දී යුරෝපයට හා සෙසු ලෝකයට ව්‍යාප්ත වූ රෝගයක්‌ වන බවයි. එහෙත් මේ සොයාගැනීම් අනුව එම මතය බිඳ වැටෙයි.

මේ කරුණු මඟින් පෙනී ගොස්‌ ඇත්තේ මේ වයිරසයේ ඉතිහාසය වඩා සංකීර්ණ වූ එකක්‌ වන්නට තවත් අවස්‌ථාව ඇති බවයි. මේ පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කරගැනීමට නම් තව තවත් පෞරාණික DNA මෙන් ම නූතන DNA ද, ගොරිල්ලා හා චිම්පන්සි DNA ද අධ්‍යයනයට ලක්‌ කිරීම වැදගත් බව පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ මෙතෙක්‌ කලකට ලෝකයේ නැවත ගොඩනඟන ලද පැරැණිතම වයිරස ගෙනෝමය මෙය බවයි. දින කිහිපයක්‌ ඇතුළත ඒ පිළිබඳ වාර්තාව අලුත් කරනු ලැබූව ද පර්යේෂණ ක්‍රමවේද ඉදිරියට ගෙන යැම සම්බන්ධ ව මේ අධ්‍යයන දෙක ම එක සේ වැදගත් බව පැහැදිලි ය.

පෞරාණික වයිරස පිළිබඳ මේ අධ්‍යයන ක්‍රමවේදය අනෙක්‌ වයිරස පිළිබඳ පර්යේෂණ සඳහා යොදාගැනීමට හැකියාව තිබෙයි. ඒ රුධිරය හා සම්බන්ධ රෝග පිළිබඳව අනාගතයේ දී සිදු කරන පර්යේෂණ සඳහා

පැරැණි මානව අස්‌ථි ශේෂ ආදියෙන් ලබාගන්නා පෞරාණික මානව DNA යොදාගැනීමට ඇති හැකියාව මේ අධ්‍යයනවලින් පැහැදිලි වී ඇති නිසා ය. එමඟින් ලබාගන්නා වයිරසවල ප්‍රවේණික ව්‍යුහය හා විකසනය වීම පිළිබඳ ව අවබෝධය ඉදිරියේ දී එම රෝග සඳහා ප්‍රතිකාර ලෙස එන්නත් නිෂ්පාදනය සඳහා නව මංපෙත් විවර කර දෙනු ඇතැයි සිතිය හැකි ය.

මූලාශ්‍රය: eLife, DOI: 10.7554/eLife.36666 හා Nature, DOI: 10.1038/s41586-018-0097-z

ඡායාරූපය: ජර්මනියෙන් හමු වූ හෙපටයිටිස්‌ බී රෝගය වැළඳුණු අයකු ගේ හිස්‌කබලක්‌