Wednesday, April 1, 2026

කඩිගමුව මාර්ග උමඟ රැකගත නොහැකි ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2026-04-01, පි. 07


(මෙම ලිපියට සම්බන්ධ කරුණු ඇතුළත්, රඹුක්කන-මාවනැල්ල මාර්ගය පිළිබඳ ලිපියක් බ්ලොග් අඩවියේ පළවීමට නියමිතය).

පසුගිය දිනවල දුම්රිය සම්බන්ධ සමාජමාධ්‍ය පිටුවල සාකච්ඡා වූ කරුණක් වූයේ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා කඩිගමුවේ ඇති මහාමාර්ග උමඟ පුළුල් කිරීමට කටයුතු කරන බවයි. උඩරට දුම්රිය මාර්ගය ඉදිකරන ලද සමයේම ඉදි කරන ලද්දේ යැයි සිතිය හැකි කඩිගමුව උමඟ පිහිටා ඇත්තේ රඹුක්කන සිට මාවනැල්ල දක්වා දිවෙන B 385 මහා මාර්ගයේ ය. මෙය බස්මාර්ගයේ පිහිටා ඇති උමඟක් (Tunnel) වන අතර, එය දුම්රිය මාර්ගයට බෝක්කුවක් (Culvert) වේ.

මේ උමඟ පුළුල් කිරීම අවශ්‍යව ඇත්තේ කරුණු කීපයක් නිසා ය. එකක් නම් මහාමාර්ගය ද්විත්ව මංතීරු සහිතව පුළුල් කිරීමට තීරණය කර ඇති නිසා ය. දැනට පවත්නා උමඟ කළු ගල් කුට්ටිවලින් කළ උමඟකි. එය ප්‍රමාණයෙන් පටු ය. බස්රථයක් ගමන් කළ හැක්කේ යාන්තමිනි (1 වන ඡායාරූපය බලන්න). උස මෙන්ම පළල ද ප්‍රමාණවත් නොමැති බව පෙනේ. එසේම ඒ ස්ථානයේ උමඟ දෙපසින් මාර්ගයේ ඇති අංශක අනූවේ වංගු දෙක නිසා මෙය තවත් අසීරු වේ. දෙවන හේතුව වන්නේ දුම්රිය මාර්ගය ද ද්විත්ව මාර්ගයක් කිරීමට නියමිත වීම හා මේ උමඟ දුර්වල වීම ය.


 
දිට්වා කුණාටුවෙන් සිදු වූ හානිය නිසා මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය නොවේ. ඒ අනුව මහාමාර්ගයේ පිහිටි උමඟ විශාල කිරීම සඳහා මෙය සුදුසුම කාලය බව පැහැදිලි ය. එහෙත් මේ උමඟ පැරණි එකකි. දුම්රිය මාර්ගය ඉදිකරන සමයේ දීම මෙය ඉදිකරන ලද බව සිතිය හැකිය. රඹුක්කන-මාවනැල්ල මාර්ගය ඉදිකරනු ලබන්නේ 1867-69 කාලයේ දී ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ උප ඒජන්ත තැනගේ පාලනවාර්තා අනුව, ඉන් වැඩිම ප්‍රතිලාභයක් හිමි වූවන් අතර දොලොස්බාගේ ප්‍රදේශයේ වැවිලිකරුවන් වෙයි.

මෙම උමඟ වරින්වර ප්‍රතිස්සංකරණ සිදු කර ඇති අතර, මුල් උමඟ වසර 150කට වඩා පැරණි ය. එසේ නම්, මෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් මේ උමඟ රැකගැනීමේ වැදගත්කමක් තිබේ.


හොඳම විසඳුම


පවත්නා උමඟ රැකගනිමින් ආසන්නයෙන් වෙනත් ස්ථානයක උමඟක් ඉදි කළ හැකි ද යන්න විමසා බැලිය යුතු ය. මේ උමඟ පිහිටි ස්ථානයට ඉහළින් හෝ පහළින් පුළුල් හා අලුත් උමඟක් තැනිය හැකි ය. කොළඹ-මහනුවර A1 මහාමාර්ගයේ කඩුගන්නාව උමඟ ආරක්ෂා කරගනිමින් පසුකලක නව මාර්ගයක් ඉදිකිරීම මේ සඳහා නිදසුනකි.

මේ සඳහා පළමු විකල්පය වන්නේ වර්තමාන කඩිගමුව උමඟ පිහිටන ස්ථානයට මදක් පහළින් (දුම්රිය මාර්ගයේ රඹුක්කන දෙසට) මහාමාර්ග උමඟක් තැනීම ය. එහි දී මාර්ගයේ දැනට ඇති අවදානම් සහිත වංගු දෙක වෙනුවට අඩු කෝණයක් සහිතව ද්විත්ව මංතීරු මාර්ගයක් ඉදි කළ හැකි ය. මෙය විකල්පයක් ලෙස සලකා බලා ඇති බව අපට අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීයෙකු සඳහන් කළේ ය. දැනට ඇති උමඟේ උස අඩු නිසා ඒ ස්ථානයේ දී මාර්ගය පහත් කිරීමට සිදු වේ. ඒ, ප්‍රධාන දුම්රිය මාර්ගයේ ආනතිය ඉහළම ප්‍රදේශය මෙය වන නිසා දුම්රිය මාර්ගය උස වැඩි කිරීම ප්‍රායෝගික නොවීහ හේතුවෙනි.

දෙවන විකල්පය වන්නේ දුම්රිය මාර්ගයේ උමඟ දැන් පවත්නා ස්ථානයට ඉහළින් (මදක් කඩිගමුව දුම්රියපොළ දෙසට වන්නට) දුම්රිය මාර්ගය හරහා නව උමඟක් තැනීම ය. එහි දී ද මහාමාර්ගයේ දැනට ඇති වංගුවේ කෝණය අඩු වේ. මෙම විකල්ප දෙක සිතියමේ දැක්වේ (සිතියම මෙහි පළ නොවේ).

මෙම විකල්ප සඳහා ඇති ප්‍රධාන බාධකය වන්නේ වියදම ය. එහෙත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මේ උමඟ රැකගැනීම ද වැදගත් ය. මෙහි දී අපට සිහිවන වඩාත් ආසන්නතම නිදසුන වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය තනන අවස්ථාවේ දී හමු වූ රඹුක්කන, මිනියම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ස්තූප දෙකයි. ඒ ස්තූප දෙක පිහිටා තිබූ ස්ථානය අනුව අධිවේගී මාර්ගය පැවති ආකාරයටම ඉදිකිරීමෙන් ඒ ස්තූප විනාශ වන්නට ඉඩ තිබිණි. ඒ නිසා ස්තූප දෙක ආරක්ෂා කරගනිමින් අධිවේගීමාර්ගය තනා ඇති අතර, ඒ සඳහා අධිවේගී මාර්ගයේ පාලමක් ස්ථාපිත කර තිබේ (2 වන ඡායාරූපය බලන්න).


 
මේ උමඟ රැකගැනීමට ඇති තවත් ගැටලුවක් වන්නේ උමඟ දුර්වල වීම ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ එබැවින් නව උමඟක් තැනිය යුතු බව ය. එසේම, අපට දැනගැනීමට ඇති ආකාරයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ උමඟ ඉවත් කිරීම සඳහා අවසරය ලැබී තිබේ. ඒ වෙනත් විකල්පයක් නොමැති තත්ත්වය නිසා ය.

ඒ අනුව මේ උමඟ බේරා ගැනීමට නොහැකි බවක් පෙනේ. මේ උමඟ මේ ආකාරයෙන්ම මෙතැනම හෝ ආසන්න වෙනත් ස්ථානයක සංරක්ෂණය කළ හැකි ද? නැතිනම් ඉදිරියේ තනනු ලබන උමඟ තුළ හෝ පසෙක මෙය නැවත ඉදි කළ හැකි ද? කුමන ආකාරයකින් සිදු කළ ද, මෙය ස්මාරකයක් ලෙස සංචාරක ආර්ෂණයට ලක් වනු ඇත.


උරුමය පිළිබඳ ආකල්ප


මෙම සිදුවීම මෙන්ම තවත් මෙවැනි සිදුවීම්වලින් පෙනෙන වැදගත් කරුණක් ද මෙහි දී සදහන් කළ යුතු ය. එනම්, අපේ රටේ උරුමය සම්බන්ධව ඇතැම් රජයේ නිලධාරීන් දක්වන ආකල්පයි. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව වැදගත් වන ගොඩනැගිලි, පාලම්, උමං වැනි පැරණි ඉදිකිරීම් රාජ්‍ය ආයතනවලට අයත්ව හෝ රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ තිබේ. ඒ ඇතැම් ගොඩනැගිලි ඇත්තේ අත්හැර දමා බැවින් නිසි නඩත්තුවක් නොමැති ව තවදුරටත් දුර්වල වෙමින් තිබේ. ඒවා පුරාවස්තු ආඥාපනත යටතේ නීත්‍යානුකූලව ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කළ හැකි ඒවා ය. එහෙත් ඒවා අයත් ආයතනවල සමහර බලධාරීන් ඒවායේ පුරාවිද්‍යාත්මක අගය හඳුනාගන්නේ නැතිවා මෙන්ම අගය කරන්නේ ද නැත. ඔවුන්ට ඒවා ඇතැම් විට කරදරයකි. ඒවා කඩා දමා නව ඉදිකිරීම් තැනීම ඇතැම් අයගේ අරමුණ වේ.

එහෙත් ඇතැම්විට ඒ ගොඩනැගිල්ල ඒ ආයතනයේ පළමු ගොඩනැගිල්ල විය හැකි ය. නැතහොත් වෙනත් ඓතිහාසික වැදගත් කමක් ඇති ගොඩනැගිල්ලක් විය හැකි ය. ඓතිහාසික පුද්ගලයෙකු අතින් විවෘත කරන ලද ඉදිකිරීමක් විය හැකි ය. එසේ වටිනාකම නොදන්නා නිසා අහිමි වූ ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම් මෙරට ඇත. පෙර සඳහන් කළ පරිදි ම ඒවා නඩත්තු කළ නොහැකි වීම ද ඊට හේතුවකි.

මේවායේ වටිනාකම දැනෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත්, පුරාවිද්‍යාවට හිතැති අයටත් පමණක් විය හැකි ය. එබැවින් කාර්මික පුරාවිද්‍යාව (Industrial Archaeology) වැනි සංකල්ප ගැන රජයේ නිලධාරීන් ද දැනුම්වත් වීම වැදගත් බව පෙනේ. ඇත්තෙන්ම, රජයේ නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම් අතරට මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක උරුමය, ඒවා රැකගැනීම හා ඒ සම්බන්ධ නීතිය පිළිබඳ කොටසක් ඇතුළත් කළ හැකි නම් සුදුසු ය.


පුවත්පතේ පළ වූ ලිපිය රූපයක් ලෙස - 



No comments:

Post a Comment