Sunday, November 13, 2022

දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අභියෝගය හෙළි වන දේශගුණ සමුළුව

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2022.11.16, පි. 7

(මෙම ලිපිය එහි සඳහන් සමුළුව අවසන් වීමට පෙර ලියැවුනක් බව කරුණාවෙන් සලකන්න. සමුළුවේ ප්‍රතිදාන පිළිබඳව පසුව ලිපියක සඳහන් වේ.)

මේ දිනවල ඊජජිප්තුවේ ශාම් එල් ෂෙයික් නගරයේ දී දේශගුණ වෙනස් වීම පිළිබඳ වාර්ෂික සමුළුව පැවැත්වේ. නොවැම්බර් මස 6 දින ආරම්භ වූ එය 18 වන දින දක්වා පැවැත්වෙනු ඇත. මෙය දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුව බැවින් COP 27 නමින් හැඳින්වේ.

ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව අද ලෝකය පසුවන්නේ කොතැන ද, එය වැළැක්වීමට ගෙන ඇති පියවරවල සාර්ථකත්වය මෙන්ම ඉදිරියේ දී ගනු ලබන පියවර මොනවාද යන්න මෙහි දී සාකච්ඡා කෙරේ. මේ පිළිබඳව මෑත දී පළ වූ වාර්තා අනුව පවත්නා තත්ත්වය බරපතළ බවත්, කඩිනමින් පියවර ගත යුතු බවත් පැහැදිලිය.

උෂ්ණත්වය ඉලක්ක අත්පත් කරගත හැකි ද?


පැරිස් ගිවිසුමේ දී ලෝකයේ රටවල් එකඟ වූයේ 2100 වර්ෂය වන විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට හෝ හැකිනම් 1.5කට සීමා කිරීම වැදගත් බවයිය. ඒ කාර්මිකකරණයට පෙර පැවති උෂ්ණත්වයට සාපේක්ෂවය. පසුගිය වර්ෂයේ පැවැති සමුළුවේ දී මේ සෙල්සියස් අංශක 1.5 සීමාව යළිත් අවධාරණය කරන ලද්දේ දේශගුණ වෙනස් වීමේ බරපතළ අහිතකර බලපෑම් වැළැක්වීමට එහි ඇති වැදගත්කම නිසාය. මේ ඉලක්ක දෙක අතර ඇති වෙනස දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය මගින් පැහැදිලි කරන්නේ මෙසේය.

උෂ්ණත්වය ඉහළ යෑම අංශක දෙකක් නොව 1.5කට සීමා කළහොත්,
  • ඉහළ යන මුහුදු මට්ටම නිසා නිවාස අහිමිවන පිරිස මිලියන 10කින් අඩු වනු ඇත..
  • ජල සුරක්ෂිතතාවය අහිමිවන පිරිස 50%කින් අඩු වනු ඇත.
  • කොරල් පර අහිමි වීම 99%ක සිට 70%ක් දක්වා අඩු වනු ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් ලෝකයේ උෂ්ණත්වය අංශක 1.1කින් පමණ ඉහළ ගොස්ය. ඒ ඉහළ යෑම අංශක 1.5කට සීමා කිරීම ඉතා බරපතළ අභියෝගයක් බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් නිකුත් කරන ලද ‘දේශගුණ හිදැස වාර්තාව 2022’ (Emissions Gap Report 2022 -  මෙතැනින් බාගන්න) නම් වාර්තාවට අනුව ලෝකයේ ඉහළ යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ඉක්මවා යා නොදී සීමා කළ හැකි ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් මේ දක්වා නොමැත. පසුගිය වර්ෂයේ දේශගුණ සමුළුවෙන් පසුව, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රාජ්‍ය විසින් ලබා දී ඇති සැලසුම් ද මේ උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම සඳහා “ප්‍රමාණවත් නොවේ”. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 මට්ටමට සීමා කිරීම ඇත්තේ දැඩි අර්බුදයකය. මේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන විමෝචන ඉලක්ක හා සත්‍ය වශයෙන් ඇති විය හැකි තත්ත්වය අතර වෙනසයි. ඊට අනුව කාබන් විමෝචන අඩු කිරීම සඳහා ඇති නව උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචන අඩු වන්නේ 1%ක් තරම් අඩු ප්‍රමාණයකිනි. මෙය අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නොසලකා හැරිය හැකි අගයයකි.

ඉහත කී සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට නම්, වර්තමාන ප්‍රතිපත්ති අනුව 2030 වන විට විමෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 45%කින් පමණ අඩු කළ යුතු බව උක්ත වාර්තාවේ පැවසේ. එසේම උෂ්ණත්වය ඉහළ යෑම අංශක 2කට සීමා කිරීමට නම්, 2030 දී නිකුත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 30%කින් පමණ අඩු කළ යුතුය. මෙය පහසු කරුණක් නොවන බව පැහැදිලිය.

මේ අතර බලශක්ති පරිවර්තන කොමිසම (Energy Transitions Commission) මගින් සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කයට අත්පත් කරගැනීමට නම්, 2030 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු ප්‍රමාණය දක්වා තිබේ. ඒ අනුව 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගිගාටොන් 26.6ක් දක්වා අඩු කළ යුතුය. එහෙත් පසුගිය වර්ෂයේ සමුළුව වන විට ලබා දී තිබූ ප්‍රතිඥා ඉටු කරනු ලැබුවහොත් එය ගිගාටොන් 41.9ක් පමණ තරම් විය හැකිය. මේ අනුව විමෝචන තවත් කෙතරම් අඩු කළ යුතුද යන්න පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ සමුළුවට පෙර පැවසුවේ කය දේශගුණ වෙනස්වීම කෙරේ ලෝකය නැවත අවධානය යොමු කළ යුතු බව හා එසේ නැතහොත්, මහා ව්‍යසනයකට මුහුණ දීමට ලෝකය සූදානම් විය යුතු බවයි.


උෂ්ණත්වය ඉහළ යා හැකි ප්‍රමාණය


ජගත් කාබන් ව්‍යාපෘතිය (Global Carbon Project) මගින් සමුළුව අතරතුර ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, කාබන් විමෝචන ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශ 1.5ට අගය ඉක්මවීම ඉදිරි වර්ෂ නවය ඇතුළත සිදුවීමට 50‍% ක පමණ අවස්ථාවක් තිබේ. මාසික බලශක්ති දත්ත යොදාගනිමින් ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගණන් බලා ඇති මේ වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී ලෝකයේ මුළු විමෝචන ප්‍රමාණය 1%කින් පමණ ඉහළ යා හැකිය. ඒ අගය වාර්තාගත මට්ටමක පවතිනු ඇති බව පැහැදිලිය.

පෙර සඳහන් කළ දේශගුණ හිදැස වාර්තාව 2022ට අනුව විමෝචන පාලනය කඩිනමින් කළ නොහැකි වුවහොත් හා තත්ත්වය වෙනස් නොවුවහොත් මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් පමණ ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් පොරොන්දු වී ඇති, ජාතිකව නිර්ණය කළ දායකත්ව අතර ඇති සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි වුව ද ලෝකයේ උෂ්ණත්වය අංශක 2.4ත් 2.6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් ප්‍රකාශ කර ඇති, බාහිර මූල්‍ය ආධාර ලැබිය යුතු කොන්දේසි සහිත ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළ හැකිවුවහොත් උෂ්ණත්වය අංශක 2.4ක් ද, කොන්දේසි රහිත ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කළහොත් 2.6ක් ද වශයෙනි.

එසේම දේශගුණ ක්‍රියාකාරිත්ව විමසුම (Climate Action Tracker - මෙතැනින් පිවිසෙන්න) නම් විශේෂඥ කණ්ඩායම ද ප්‍රකාශ කර තිබුනේ අලුතින් ලබා දී ඇති ප්‍රතිඥා සමඟ වුවත්, ලෝකයේ උෂ්ණත්වය අංශක 2.7කින් ඉහළ යෑම සිදුවිය හැකි බවයි. එනම් තවත් ප්‍රබල පියවර ගැනීම වැදගත්ය.


ඉදිරි පියවර කෙසේ වේද?


පසුගිය වර්ෂයේ ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේ දී රටවල් පොරොන්දු වුයේ මේ සමුළුව ආරම්භ වන විට වඩාත් ඉදිරියට ගිය දියුණු කළ වැඩි අභිලාෂයක් ඇති ‘ජාතිකව නිර්ණය කළ දායකත්ව’ ලබා දීමට ය. එනම් ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගන්නා පියවර තවත් දැඩි කිරීමටය. එහෙත් ඊජිප්තු සමුළුව ආරම්භ වන විට එසේ අලුත් ප්‍රතිඥා ලබා දී ඇත්තේ රටවල් 29ක් පමණකි. මේ නිසා සමුළුවේ දී සිදුවන දේ වඩා වැදගත්ය.

වාර්තාවල සඳහන් පරිදි පොසිල ඉන්ධන සඳහා සම්බන්ධතා ඇති පිරිස් දේශගුණ සමුළුවට සහභාගි වීම ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරට වඩා 25%ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස්ය. මෙය වැදගත් වන්නේ පොසිල ඉන්ධන වෙනුවට පිරිසිදු බලශක්තිය ශක්තිමත් වීම හරිතාගාර වායු විමෝචන පාලනය සඳහා වැදගත් නිසාය. මේ පිළිබඳව දැකිය හැක්කේ තරමක් මිශ්‍ර තත්ත්වයකි. යුරෝපයේ ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන වෙත යොමු වීම ඉහළ ගොස් ඇතැයි සඳහන්ය. ජර්මනියේ ගල්අඟුරු භාවිතය මේ වර්ෂයේ දී පෙරවර්ෂයට වඩා ඉහළ ගොස්ය. එසේම කාලසීමාව ඉක්මවා ගිය ගල්අඟුරු බලාගාර වසා දැමීම පමා කරන මෙන් බ්‍රිතාන්‍යය ද බලශක්ති සමාගම්වලට දැනුම් දී තිබේ. මේ සඳහා බලපා ඇත්තේ යුක්රේනයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයේ ප්‍රතිඵලය වන තිබෙන බලශක්ති අර්බුදයයි. කෙසේ වෙතත් යුරෝපයේ මෙන්ම ලෝකයේ දියුණු කාර්මික රටවල් ගණනාවක්ම පිරිසිදු බලශක්තිය සම්බන්ධ ආයෝජන ඉහළ නැංවීමට යොමුව ඇති බව අන්තර්ජාතික බලශක්ති ආයතනයේ (IEA) ‘ජගත් බලශක්ති විමසුම 2022’ (World Energy Outlook 2022, මෙතැනින් බාගන්න) නම් වාර්තාව පෙන්වා දෙයි. එහි දක්වා ඇත්තේ ලෝකය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති තත්ත්වය වඩා තිරසර බලශක්ති පද්ධතියක් සඳහා යොමුවීමට අවස්ථාවක් බවයි. එහෙත් එය එසේම වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

මේ අතර ඊජිප්තු දේශගුණ සමුළුව අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුයේ ඇමරිකාව 2030 වන විට සිදුකරන බවට පොරොන්දු වී ඇති විමෝචන අඩුකිරීම සිදුකරන බවයි. එය 2005 මට්ටමට වඩා 50-52%ක් පමණ අඩුකිරීමක් වන අතර එරට දේශපාලන ත්තත්වය අනුව මෙය කෙතරම් ප්‍රායෝගික විය හැකි ද යන්න විචාරකයන් විමසා තිබේ. එසේම 2030 වන විට මීතේන් විමෝචන 30%කින් අඩු කිරීම උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට හැකි වැදගත්ම පියවරක් බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. මෙය ද තරමක් විවාදාපන්න මාතෘකාවකි.

මේ දේශගුණ සමුළුව හා එහි දී ගන්නා තීරණ දේශගුණ සටනේ දී ඉතා වැදගත්ය. මේ සටහන ලියන අවස්ථාව වන විට එහි දී එළැඹෙන අවසන් තීරණ සම්බන්ධව යමක් කීමට කල් වැඩිය. කෙසේ වෙතත් ගන්නා තීරණ, දෙනු ලබන ප්‍රතිඥා හා ඇති වන එකඟතා නොව වැදගත් වන්නේ ඉදිරියේ ක්‍රියාත්මක කරන දේය.

මූලාශ්‍රය
Climate Action Tracker, https://climateactiontracker.org/

No comments:

Post a Comment