Wednesday, November 20, 2013

ලෝකයේ වැදගත් ම ආරක්‌ෂිත ප්‍රදේශ අතරට මධ්‍යම කඳුකරය හා කන්නෙලිය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2013.11.20 (Vidusara)

http://www.vidusara.com/2013/11/20/feature5.html




ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි ජෛව විවිධත්වයකින් යුක්‌ත, ලෝකයේ වැදගත් ම ආරක්‌ෂිත ප්‍රදේශ සේ හඳුනාගෙන ඇති ප්‍රදේශ 137ක්‌ අතරින් දෙකක්‌ ශ්‍රී ලංකාවේ පිහිටා තිබේ. ඒවා නම් මධ්‍ය කඳුකර ආරක්‌ෂිත ප්‍රදේශ හා කන්නෙලිය වන රක්‌ෂිතයයි.

පසුගිය සතියේ Science සඟරාවේ පළ වූ වාර්තාවකින් ලෝකයේ ජෛව විවිධත්ව සංරක්‌ෂණයේ දී වඩාත් වැදගත් වන 'ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි ආරක්‌ෂිත ප්‍රදේශ' (irreplaceable protected areas) හඳුනාගෙන තිබේ. ක්‌ෂීරපායින්, උභයජීවීන් හා පක්‌ෂීන් වඳ වී යැමෙන් වළක්‌වා ලීම සඳහා වඩාත් වැදගත් ආරක්‌ෂිත ප්‍රදේශ යනුවෙන් මේවා පැහැදිලි කළ හැකි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මේ ආරක්‌ෂිත ප්‍රදේශ අහිමි වුව හොත් සංරක්‌ෂණ අරමුණුවලට දැඩි හානියක්‌ සිදු විය හැකි ය.

මේ ප්‍රදේශ හඳුනාගැනීමට පර්යේෂකයන් යොදාගත් ක්‍රමවේදයෙන් මේ ප්‍රදේශවල ඇති වැදගත්කම පැහැදිලි වේ. එහි දී ඔවුන් සිදු කර ඇත්තේ ක්‌ෂීරපායින්, පක්‌ෂීන් හා උභයජීවීන් වඳ වී යැම වැළැක්‌වීම සඳහා වඩාත් වැදගත් වන ආරක්‌ෂිත ප්‍රදේශ හඳුනාගැනීමයි. මේ සඳහා භෞමිකව පිහිටා ඇති 173,461ක්‌ පමණ වන ආරක්‌ෂිත ප්‍රදේශ හා යෝජිත ස්‌ථාන 2,059ක්‌ පිළිබඳ දත්ත හා IUCN ආයතනයේ, තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ පිළිබඳ රක්‌ත ලේඛනයේ ඇතුළත් ජීවී විශේෂ 21,419ක්‌ පිළිබඳ දත්ත භාවිත කර තිබේ.

ජීවීන් වඳ වී යැමට දායක විය හැකි ආකාරය ආරක්‌ෂිත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වන බැවින් මේ දත්ත මත පදනම් ව ඒ ඒ ප්‍රදේශයේ ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි බව ගණනය කර ඇත. එක්‌ එක්‌ ආරක්‌ෂිත ප්‍රදේශවල වෙසෙන එක්‌ එක්‌ ජීවී විශේෂවල ගෝලීය ව්‍යාප්තියෙන්, අදාළ ප්‍රදේශයේ දැකිය හැකි ප්‍රමාණය මත මෙය ගණනය කර ඇත. මේ අනුව ඒවායේ සමස්‌ත ජීවී විශේෂ ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි වැදගත් ම ස්‌ථාන 100 හා තර්ජනයට පත් ජීවීන් අනුව ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි වැදගත් ම ස්‌ථාන 100 එක්‌ කිරීමෙන් මේ ස්‌ථාන 137 හඳුනාගෙන තිබේ. මේවා 'සුවිශේෂී ප්‍රතිස්‌ථාපනය කළ නොහැකි' (exceptionally irreplaceable) ආරක්‌ෂිත ප්‍රදේශ සේ හඳුන්වා දී ඇත.

ගෝලීය ව්‍යාප්තිය හා වැදගත්කම


ලෝකයේ රටවල් 34ක පමණ පිහිටා ඇති මේ ප්‍රදේශ 137 අතරින් වැඩි ප්‍රමාණයක්‌ පිහිටා ඇත්තේ නිවර්තන කලාපයේ ය. එසේ ම මේවා ඉහළ ආවේණිකතාවක්‌ ඇති ජෛවභූගෝලීය කලාපවල පිහිටා තිබේ. එසේ ම මේවා සියල්ල ම පාහේ මූලික ජෛව විවිධත්ව කලාප (key biodiversity areas) ලෙස ද හඳුනාගෙන ඇත. සමස්‌තයක්‌ ලෙස ගත හොත්, මේ පරිසර පද්ධතිවල පක්‌ෂීන්, උභයජීවීන් හා ක්‌ෂීරපායින් විශේෂ 627ක්‌ වෙසෙන අතර ඉන් විශේෂ 304ක්‌ ජගත් මට්‌ටමින් තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ වේ. මේ තර්ජනයට පත් ජීවී විශේෂවල ව්‍යාප්තියෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්‌ මේ ස්‌ථානවලට ම සීමා වේ.

මේ ආරක්‌ෂිත ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව මේ අධ්‍යයනයට සම්බන්ධ වූ පර්යේෂකයන් ගේ අදහසයි. මේ අධ්‍යයනයේ දැකිය හැකි වැදගත්කමක්‌ වන්නේ සංරක්‌ෂණය වඩාත් කාර්යක්‌ෂ්ම ආකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පෙලඹවීමක්‌ ලබා දීම නිසා ය. මේ අධ්‍යයනය සම්බන්ධව අප සමඟ විද්යුත් තැපැල් මගින් අදහස්‌ දැක්‌වූ එහි කර්තෘවරියක වන ප්‍රංශයේ ක්‍රියාකාරී හා පරිණාමික පරිසර විද්‍යාව පිළිබඳ මධ්‍යස්‌ථානයේ (Centre for Functional and Evolutionary Ecology) ඇනා රොඩ්රිගුවස්‌ පැවසුවේ මේ අධ්‍යයනයෙන් ලබා දෙන එක්‌ පණිවිඩයක්‌ වන්නේ අදාළ ස්‌ථාන සංරක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කම හා අවශ්‍යතාව අවධාරණය කිරීම බව ය. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1239268)

ශ්‍රී ලංකාවේ ආරක්‌ෂිත ප්‍රදේශ


මේ සුවිශේෂී ආරක්‌ෂිත ප්‍රදේශ ලේඛනයේ ශ්‍රි ලංකාවේ ආරක්‌ෂිත ප්‍රදේශ දෙකක්‌ නම් කර ඇතත්, මේ ස්‌ථාන දෙකට ආරක්‌ෂිත ප්‍රදේශ වැඩි ගණනක්‌ අයත් වේ. ඒ මධ්‍ය කඳුකරය යනුවෙන් ලෝක උරුමයක්‌ සේ නම් කර ඇති ප්‍රදේශයට ආරක්‌ෂිත ප්‍රදේශ කිහිපයක එකතුවක්‌ අයත් වීම නිසා ය. මේ අතර සමනළ අඩවිය ආරක්‌ෂිත ප්‍රදේශය, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය හා නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය වේ. මේ ආරක්‌ෂිත ප්‍රදේශ තුනේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 537කින් යුක්‌ත වේ. මේ ලේඛනයේ ඇති අනෙක්‌ ආරක්‌ෂිත ප්‍රදේශය වන කන්නෙලිය වනාන්තරය වර්ග කිලෝමීටර් 62ක භූමි ප්‍රමාණයකින් සමන්විත ය. මේ ආරක්‌ෂිත ප්‍රදේශ සියල්ල ඉහළ ජෛව විවිධත්වය නිසා වැඩි අවධානයට ලක්‌ වූ ඒවා ද වේ.

ඡායාරූපය - භූෂණ කල්හාර

http://www.vidusara.com/2013/11/20/feature5.html


No comments:

Post a Comment