Wednesday, October 25, 2017

'අපේ පොදු අනාගතය' වසර 30කට පසු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.10.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/10/18/feature2.html



1987 ඔක්‌තෝබර් මාසය, නූතන පරිසර ව්‍යාපාරයේ වැදගත් සිදුවීමක්‌ සනිටුහන් කළ මාසයකි. ඒ තිරසර සංවර්ධනයට ජගත් මට්‌ටමින් පුළුල් පිළිගැනීමක්‌ ලබා දීමට හේතු වූ 'අපේ පොදු අනාගතය' (Our Common Future) නම් වාර්තාව එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ පූර්ව සැසියක්‌ වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ අදින් වසර 30කට පෙර එම මාසයේ දී වීම නිසා ය. එය බෘන්ඩ්ට්‌ලන්ඩ් කොමිසම ලෙස ද ප්‍රකට වූ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ වාර්තාව විය.

1960 දශකයේ පටන් පරිසරයේ ඇති වී තිබූ විවිධ ගැටලු හේතුවෙන් ලෝකයේ විවිධ රටවල - විශේෂයෙන් දියුණු රටවල - මේ පිළිබඳව සැලකිය යුතු අවධානයක්‌ යොමු වී තිබිණි. 1970 වර්ෂයේ ඇමෙරිකාවේ පළමු වරට සමරන ලද මිහිතල දිනය හා ඉන් එරට තුළ හා ජගත් මට්‌ටමෙන් පරිසරය පිළිබඳව ඇති වූ අවධානය මීට නිදසුනකි. අනතුරුව 1972 වන විට ජගත් මට්‌ටමින් ලෝකයේ ම අවධානය පාරිසරික ගැටලු වෙත යොමු වී තිsබිණි. එම වර්ෂයේ දී ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම් නගරයේ දී පැවැති මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ සම්මන්ත්‍රණය (UNCHE) මේ පිළිබඳව ජගත් සැලකිල්ල යොමු වීමේ ප්‍රතිඵලයකි. එය නූතන පරිසර ව්‍යාපාරයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සේ සැලකේ.

පරිසරය පිළිබඳව එසේ අවධානයක්‌ යොමු වුව ද, දිගුකාලීන වශයෙන් ගත් විට සංවර්ධනය හමුවේ පරිසරය මුහුණ දී තිබූ අභියෝග ජයගැනීම සඳහා එතරම් සාධනීය වූ පියවරක්‌ ලෝකයේ දැකිය නොහැකි විය. සියලු රටවල් තමන්ට සුපුරුදු ආර්ථික සංවර්ධන ආකෘතිය ම අනුගමනය කිරීම 1980 දශකයේ දී ද දැකිය හැකි විය.

පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම


මේ පසුබිමේ දී මානව පරිසරයේ හා ස්‌වාභාවික සම්පත්වල ඇති වී තිබු දැඩි හායනය පිළිබඳව සොයා බලා කටයුතු කිරීම සඳහා කොමිසමක්‌ පත් කිරීමේ යෝජනාවක්‌ 1983 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩල රැස්‌වීමේ දී සම්මත කරන ලදි. එම අංක 38/161 දරන යෝජනාව වූයේ ''වසර 2000ට හා ඉන් ඔබ්බට පරිසර දැක්‌ම සකස්‌ කිරීමේ ක්‍රියාවලිය'' සඳහා වූ විශේෂ කොමිසමක්‌ පත් කිරීම ය. මේ අද අප දන්නා පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම (World Commission on Environment and Development) නම් කොමිසමේ ආරම්භයයි.

ඉහත කී මහා මණ්‌ඩල යෝජනාවෙන් කොමිසමට පැවරුණු කාර්යයන් අතරින් එකක්‌ වූයේ වසර 2000 හා ඉන් අනතුරුව එළැඹෙන කාලය සඳහා තිරසර සංවර්ධනය අත්පත් කරගැනීම උදෙසා දිගුකාලීන පාරිසරික උපායමාර්ග යෝජනා කිරීම ය. කොමිසමේ සභාපතිනිය වූයේ නෝර්වේ රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරියක වූ ග්‍රෝ හාලේම් බෘන්ඩ්ට්‌ලන්ඩ් ය. කොමිසම ඇතැම් විට බෘන්ඩ්ට්‌ලන්ඩ් කොමිසම (Brundtland Commission) ලෙසින් හැඳින්වෙන්නේ සභාපතිනිය ගේ නමිනි. ඇය ගේ විද්‍යාත්මක පසුබිම නිසා එහි සභාපති ලෙස පත් කරන ලද බව සැලකේ. එහි උප සභාපති වූයේ සුඩාන ජාතිකයකු හා එහි විදේශ අමාත්‍යවරයා වූ මන්සූර් කාලිඩ් ය. දියුණු රටවල් මෙන්ම දියුණු වන රටවල් ද වශයෙන් විවිධ රටවල් 21ක සාමාජිකයන් ගෙන් සමන්විත වූ මේ කොමිසම වසර තුනක්‌ පමණ කාලයක්‌ කටයුතු කළේ ය.



කොමිසමේ වාර්තාව 1987 අප්‍රේල් මාසයේ දී මුද්‍රණය කරන ලද අතර, එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ සැසියක්‌ වෙත නිල වශයෙන් භාර දෙන ලද්දේ අදින් වසර තිහකට පමණ පෙර 1987 ඔක්‌තෝබර් මාසයේ දී ය. මහා මණ්‌ඩලය විසින් දෙසැම්බර් මාසයේ දී පිළිගන්නා ලද එම වාර්තාව 'අපේ පොදු අනාගතය' (Our Common Future) නම් වූ අතර එය ඇතැම් අවස්‌ථාවල දී බෘන්ඩ්ට්‌ලන්ඩ් වාර්තාව (Brundtland Report) යනුවෙන් ද හැඳින්වේ. මේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව 1987 දෙසැම්බර් මාසයේ දී කොමිසමේ කටයුතු නිමාවට පත් විය.

අපේ පොදු අනාගතය වාර්තාව


'අපේ පොදු අනාගතය' වාර්තාව වැදගත් වන්නේ එම`ගින් හෙළිදරවු කරන ලද ඉදිරි ම`ග හේතුවෙනි. අද වන විට ඉතා පුළුල් ලෙස භාවිත වන තිරසර සංවර්ධනය යන සංකල්පය පුළුල් ලෙස පිළිගැනීමට ලක්‌ වන්නේ හා ප්‍රචලිත වන්නේ මේ වාර්තාව ම`ගිනි.

තිරසර සංවර්ධන සංකල්පය ඒ වන විට ද භාවිතයේ තිබුණු සංකල්පයකි. ඒ පිළිබඳ අදහස 1960 දශකයේ පමණ සිට යොදාගෙන තිබුණු බව අයිරිස්‌ බරෝවි මේ කොමිසමේ ඉතිහාසය පිළිබඳව 2014 දී ලියූ කෘතියකින් පෙන්වා දී ඇත. 1972 වර්ෂයේ දී බාබරා වෝඩ් හා රේනේ ඩුබොස්‌ විසින් රචනා කරන ලද 'එක්‌ මිහිතලයක්‌ පමණයි' (Only One Earth) නම් කෘතියේ මේ පිළිබඳව සඳහන් වන බව පැවසේ. පෙර සඳහන් කළ පරිදි 1983 වර්ෂයේ දී පරිසරය හා සංවර්ධනය පිළිබඳ කොමිසමේ කාර්ය භාරය නම් කිරීමේ දී ද තිරසර සංවර්ධන අත්පත් කරගැනීම ගැන සඳහන් වේ. මේ අනුව අපේ පොදු අනාගතය කෘතිය විසින් සිදු කරන ලද්දේ මේ තිරසර සංවර්ධනය සංකල්පය ජගත් මට්‌ටමින් පිළිගැනීමට ලක්‌ කිරීම හා ප්‍රචලිත කිරීම බව පැහැදිලි ය.

එසේ ම මේ වාර්තාව ඉන් පසුව පැමිණි අන්තර් ජාතික සාකච්ඡාවලට වැදගත් පදනමක්‌ සැපයී ය. 1992 වර්ෂයේ දී බ්‍රසිලයේ රියෝ ද ජැනේරෝ නගරයේ දී පැවැත්වූ මිහිතල සමුළුවට හා එහි දී එක`ගතාවට පැමිණි 21 වැනි සියවස සඳහා වූ න්‍යායපත්‍රය (Agenda 21) සඳහා 'අපේ පොදු අනාගතය' හා තිරසර සංවර්ධනය ම`ගපෙන්වන සංකල්පය විය.

උක්‌ත වාර්තාව මඟින් තිරසර සංවර්ධනය සඳහා හඳුන්වා දෙන ලද අර්ථදැක්‌වීම වන්නේ අනාගත පරම්පරාවල අවශ්‍යතා සඳහා යොදාගැනීමට බාධා නො වන ආකාරයෙන් වර්තමාන අවශ්‍යතා සඳහා යොදාගැනීම යන්න ය. 1987 පටන් තිරසර සංවර්ධනය ලෝක සංවර්ධනයේ මාර්ගෝපදේශක සංකල්පය ලෙස පිළිගැනීමට ලක්‌ වී ඇතත්, ක්‍රියාත්මක කිරීමේ දී එය කෙතරම් සාර්ථක වී තිබේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

තිරසර සංවර්ධනය යථාර්ථයක්‌ ද?


තිරසර සංවර්ධනය මේ ආකාරයෙන් ජගත් මට්‌ටමෙන් පුළුල් ලෙස පිළිගැනීමට ලක්‌ වී වසර 30කට හෙවත් දශක තුනකට පසුව ඒ දෙස හැරී බැලීමට මේ කාලය බව සුදුසු ය. 'අපේ පොදු අනාගතය' ම`ගින් එදා ලෝකය මුහුණ පා සිටි පාරිසරික ෙ€දවාචකය ගැන අවධානය යොමු කර තිබිණි. කාන්තාරකරණය, දේශගුණ වෙනස්‌ වීම, ඕසෝන් ස්‌තරය තුනී වීම, කාර්මික දූෂණය, පාංශු ඛාදනය, ජීවීන් වඳ වී යැම ආදි විවිධ පාරිසරික ගැටලු ගැන එහි දී අවධානය යොමු කර තිබිණි. එසේ ම ඒ ඒ අංශවල 2000 වසර වන විට ඇති විය හැකි තත්ත්වය ද, ඇතැම් අවස්‌ථාවල දී ඒ තත්ත්වය ඇති වීම වළක්‌වාගැනීම සඳහා වූ ඉලක්‌ක ද එදා පැවැති දැනුම අනුව මේ වාර්තාවේ දක්‌වා තිබිණි. මේ ඇතැම් අංශ පිළිබඳ ඉලක්‌ක අප අත්පත් කරගෙන අවසන් ය. සමහර ඉලක්‌ක ප්‍රමාණවත් නො වන බැවින් නව ඉලක්‌ක වෙත ලෝකය ගමන් කර තිබේ.

නිදසුන් ලෙස වායු දූෂණය පාලනය, ඕසෝන් ස්‌ථරය යථා තත්ත්වයට පත් කිරීම, වන විනාශය පාලනය වැනි කරුණු දැක්‌විය හැකි ය. මේ වන විට වායු දූෂණය පිළිබඳ තත්ත්වය එදා පැවැති තත්ත්වයට වඩා යහපත් මට්‌ටමක පවතී. රථවාහන මෙන්ම කර්මාන්ත පිළිබඳ වායු දූෂක සම්බන්ධයෙන් ද නව ප්‍රමිති හා නීති ක්‍රියාත්මක වී ඇති අතර, තාක්‌ෂණය දියුණු වී ඇති බැවින් වායු දූෂක පාලනය කළ හැකි වී තිබේ. 1980 දශකයේ පැවැති අම්ල වැසි ගැන දැන් එතරම් අසන්නට නො ලැබේ. දියුණු රටවල තත්ත්වය වඩා යහපත් වන අතර දියුණු වන රටවල් තවමත් ම`දක්‌ පසුපසින් සිටියි. නිවර්තන කලාපීය වනාන්තර විනාශය ද මෑත දශකවල දී අඩු වී ඇති බව වාර්තා අනුව පෙනෙයි. සංරක්‌ෂණ ප්‍රයත්නය මේ සඳහා බලපා ඇති මූලික කරුණ වූ අතර, නීතිමය කටයුතු හා සහතිකකරණය වැනි ක්‍රියාවලි ද ඒ සඳහා හේතු විය. වියානා සම්මුතිය හා මොන්ටි්‍රයල් සන්ධානය ම`ගින් ක්‍රියාත්මක කරන ලද, සමස්‌තයක්‌ ලෙස ලෝකයේ ම සහයෝගය ලද වැඩපිළිවෙළක්‌ ම`ගින් ඕසෝන් ස්‌තරයට හානි වීම මේ වන විට නැවතී ඇති අතර අනාගතයේ දී එය යථා තත්ත්වයට පත් වනු ඇත.

'අපේ පොදු අනාගතයේ' සඳහන් එක්‌ ඉලක්‌කයක්‌ වූයේ ආරක්‌ෂිත ප්‍රදේශ ප්‍රමාණය එදා තිබූ ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌ හෙවත් භූමියෙන් 12%ක්‌ පමණ විය යුතු බවයි. ඒ ලෝකයේ සමස්‌ත පරිසර පද්ධතිවල නියෝජනයක්‌ ලබා දීම සඳහා ය. එහෙත් මේ ගැන ඇති වූ උනන්දුව හා දැනුම අනුව වඩා ඉහළ ඉලක්‌ක පිළිගැනීමට ලක්‌ ව ඇත. 2010 දී සම්මත වූ අයිචි ජෛව විවිධත්ව ඉලක්‌ක අනුව ලෝකයේ ආරක්‌ෂිත ප්‍රදේශ ප්‍රමාණය 2020 වර්ෂය වන විට 17%ක්‌ පමණ විය යුතු වෙයි.

මෙවැනි සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැකි වූයේ 'අපේ පොදු අනාගතය' මඟින් පෙන්වූ අනතුරු හැ`ගවීම වටහාගැනීම නිසා ය. එහි එදා පෙන්වූ අනතුර වටහාගෙන ඉන් ගැලවීමට හැකි වූයේ ලෝකය ඒ සම්බන්ධව ගත් පියවර නිසා ය. ඒ අනුව 'අපේ පොදු අනාගතය' අපේ අනාගතය හැඩගැස්‌වීමට මහත් මෙහෙයයක්‌ සිදු කර ඇත.

'අපේ පොදු අනාගතය' වාර්තාවේ ද පෙන්වා දී ඇති ආකාරයට ආර්ථික සංවර්ධනය, සමාජ සමානතාව හා පාරිසරික ආරක්‌ෂාව තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය වුව ද මේ ත්‍රිත්වයට ඇතැම් අවස්‌ථාවල දී එකට ගමන් කළ නොහැකි බව පැහැදිලි ය. තිරසර සංවර්ධනය පිළිබඳ ගමනේ දී ලෝකයේ ඇතැම් කලාපවල තත්ත්වය සතුටු විය හැකි නමුත් තවත් කලාපවල තත්ත්වය ගැන එසේ සතුටු විය හැකි නො වන්නේ මේ නිසා ය. දියුණු රටවල් පරිසරය පිළිබඳව කටයුතු කිරීමේ දී ඉදිරියට ගොස්‌ ඇති නමුත් දියුණු වන රටවල තත්ත්වය එතරම් සතුටුදායක නොමැත. එසේ ම ලෝකය හමුවේ තවත් බරපතළ වූ අභියෝග තිබේ. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ අභියෝගය එවැන්නකි.

කෙසේ වෙතත් 1980 දශකය වන විට ලෝකය ගමන් කරමින් තිබූ හානිකර ප්‍රවණතාව වෙනස්‌ කර වඩා යහපත් තත්ත්වයක්‌ වෙත ගමන් කරන ප්‍රවණතාවකින් අද ලෝකය ගමන් කරමින් ඇති බව පැහැදිලි ය. ඒ සඳහා 'අපේ පොදු අනාගතය' වාර්තාව හා පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසම විසින් සිදු කරන ලද කාර්යභාරය සිහිපත් කළ යුතු ව තිබේ.

http://www.vidusara.com/2017/10/18/feature2.html

No comments:

Post a Comment