Tuesday, April 12, 2016

ඔස්ට්‍රේලියාවේ විශාල සතුන්ගේ වඳ වීමට මිනිසුන්ද වගකිව යුතුයි


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 23.03.2016

(Vidusara, 23.03.2016) - "Humans responsible for the extinction of large animals in Australia"

Not available in Vidusara website


ඔස්ට්‍රේලියා මහාද්වීපයේ අතීතයේ වාසය කළ, අද දැකිය නොහැකි බරින් හා ප්‍රමාණයෙන් විශාල සත්ත්වයින් පිළිබඳ සාධක ලැබෙන්නේ අදින් වසර 170කට පෙර කාලයක පමණ සිටය. එම මහාද්වීපයේ වාසය කළ එවැනි කිලෝග්‍රෑම් 45ට වඩා බර සත්ත්ව විශේෂ ගණනාවක් පිළිබඳ ශේෂ ලෙන් තුලින් හා විල් පතුල්වලින් ලැබී තිබේ. මේ සත්ත්ව විශේෂ අතර බරින් විශාල කැන්ගරු විශේෂයක්, විශාල වොම්බැට් සත්ත්වයෙක් හා මාංශභක්ෂකයකු වන සිංහයා ලෙස හඳුන්වන සත්ත්වයා මෙන්ම විශාල කබරයකු වැනි සතෙක්ද සිටියි.

කෙසේ වෙතත් මේ සත්ත්ව විශේෂ අතරින් 85%ක් තරම් ප්‍රමාණයක් අතීතයේ කිසියම් කාලයකදී වඳවී ගොස් තිබේ. ඒ සඳහා බලපා ඇති හේතු පිළිබඳව මතභේද තිබේ. මේ වන විට වැඩි පිළිගැනීමක් ඇති හේතු දෙකක් දැක්වෙන අතර, ඒ දේශගුණයේ ඇති වූ වෙනස්වීම් හා මිනිසුන්ගේ බලපෑමයි. අදින් වසර 60,000ත් 40,000ත් අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ කාලගුණය දැඩි වියළි තත්ත්වයකට පත් වී ඇත. එහෙත් ඉන් පෙර ඇති වූ වඩා බරපතළ දේශගුණික වෙනස්වීම්වලදී පවා මේ සත්ත්ව විශේෂ ආරක්ෂා වී තිබීම නිසා මේ කාලයේ ඇති වූ දේශගුණික වෙනස් වීම් උක්ත සත්ත්ව විශේෂවල වඳවීයාමට බලපෑ එකම හේතුව විය නොහැකි බව වැඩි පිලිගැනීමක් ඇති මතය වේ.

මිනිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනය නිශ්චිතව නොදන්නා නමුත්, අදින් වසර 47,000ක් පමණ පෙර කාලයක් වන විට එහි බොහෝ ප්‍රදේශ දක්වා ව්‍යාප්තව සිටි බවට මේ වන විට සාධක ලැබී ඇත. එමෙන්ම අදින් වසර 40,000ත් 50,000ත් අතර කාලයකදී පෙර කී විශාල සතුන්ගේ අවසන් පොසිල සාධක හමු වේ. මේ දිනවල ඇති සමගාමී බව නිසා මිනිසුන්ගේ ව්‍යාප්ත වීම හා ඉහත කී විශාල සතුන්ගේ වඳවී යාම අතර කිසියම් සම්බන්ධයක් ඇති බවට අනුමාන කළ හැකිය.

මිනිසුන් විසින් දඩයම් කිරීම වැනි කරුණු නිසා මේ විශාල ප්‍රමාණයේ සතුන් වඳව යන්නට ඇති බව මේ වන විට විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති අදහසකි. එහෙත්, මිනිසුන් ඒ සඳහා සාධකයක් වී ඇති බවට සැකයක් නොමැතිව පිළිගත හැකි සාධක මෙතෙක් හමු වී නොතිබීම මේ මතය සඳහාද ගැටලූවක් විය.

අතීතයේ විසූ මේ සතුන්ගේ ශේෂ හමුවීම හා අධ්‍යයනය කිරීම එතරම් පහසු කරුණක් නොවන්නේ එරට දැකිය හැකි පසේ ස්වභාවය නිසා මේ අස්ථි හා වෙනත් ශේෂ පහසුවෙන් ජීර්ණය වීම නිසාය. එසේම ඒවා වඩාත් පැරණි වීමද නිසා එවැනි සාධක හමු නොවන ස්වභාවයක් දැකිය හැකි විය. එහෙත් මේ වර්ෂයේදී ප්‍රකාශයට පත් වූ, නවතම පර්යේෂණයකින් මිනිසුන් හා ඔස්ට්‍රේලියාවේ අතීතයේ විසූ සතුන් අතර තිබූ සම්බන්ධය හා එම සතුන්ගේ වඳවී යාමට මිනිසුන්ද වගකිව යුතු බවට ඍජු සාධක හෙළිදරව් කර ඇත. මේ අනුව ඔස්ට්‍රේලියාවේ විසූ විශාල පක්ෂියකුගේ වඳවී යාම සඳහා මිනිසුන්ගේ කටයුතු තීරණාත්මකව බලපා ඇති බව පැහැදිලිය. මෙවැනි සාධකයක් නිසැකව ලැබුණු අවස්ථාවක් ලෙසද මෙය දැක්විය හැකිය.

වඳව ගිය පක්ෂියා


මේ අධ්‍යයනය සඳහා පදනම් වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කළ විශාල ප්‍රමාණයේ පක්ෂියකුගේ බිත්තරවල පොසිලමය සාධක පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකි. Genyornis newtoni ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ පක්ෂියා මීටර් දෙකකට අධික උසකින් යුතු අතර බරින්, කිලෝග්‍රෑම් 200ක් පමණ වේ. එසේම මේ පක්ෂියාට පියෑඹීමට නොහැකිය.

මේ පක්ෂීන් ඔස්ට්‍රේලියාවට මිනිසුන් පැමැණීමට පෙර සිටම එහි වාසය කළ සතෙක් වන අතර, කිසියම් කලකදී වඳවී ගොස් ඇත. මේ පක්ෂියාගේ බිත්තර දමන වැලි වැටි වැනි ස්ථාන ආශ්‍රිතව පුරාස්ථානවලින් මේ පක්ෂින්ගේ බිත්තර කටු ලැබෙන අතර ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන දෙදහසකින් පමණ ලැබී ඇති Genyornis පක්ෂීන්ගේ බිත්තර කටුවල කාලනිර්ණය අනුව ඒවා අතරින් වඩාත්ම මෑත කාලීන ඒවා වසර වසර 44,000ත් 54,000ත් අතර කාලයට අයත් බව පැහැදිලි විය. ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා කාලනිර්ණ (OSL - Optically stimulated luminescence dating) කාලනිර්ණ ක්‍රමය මගින් අදාළ බිත්තරකටුවල අඩංගු ක්වාට්ස් කණිකා අවසන් වරට සූර්යාලෝකයට නිරාවරණය වූ දිනය ගණන් බලා ඇත.

Genyornis පක්ෂින්ගේ බිත්තර කටු අතර, ගින්නෙන් පුළුස්සා ඇති බවට සාධක සහිත බිත්තරකටු මහාද්වීපයේ ස්ථාන 200ක් පමණ ප්‍රමාණයකින් ලැබී ඇත. ඒ ඔස්ට්‍රේලියා දකුණු දිග හා බටහිර ප්‍රදේශයේ ස්ථානවලිනි. මේවා විවිධ ආකාරයෙන් කළු පැහැගැන්වී අති අතර, අක්‍රමවත් දහනයක් පිළිබඳව සාධක සපයයි. මේ බිත්තර කටු සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ (Radiocarbon dating) ක්‍රමය යටතේ දින නියම කර ඇති අතර ඉන් පෙනී ගොස් ඇත්තේ ඒවා වසර 47,000ක වඩා පැරණි ඒවා බවයි.

මිනිසුන් විසින් මේ පක්ෂීන්ගේ බිත්තර එකතු කර, පුළුස්සා ආහාරයට ගත් බවට සාක්ෂියක් ලෙස මේ බව සැලකිය හැකිය. එසේ නම් Genyornis පක්ෂින්ගේ බිත්තර එකතු කරගත් මිනිසුන් එම ස්ථානයේදී හෝ ආසන්න ප්‍රදේශයකදී ගිනිගොඩක් ගසා පිළිස්සීමෙන් පසුව මේ පක්ෂි බිත්තර ආහාරයට ගෙන ඇත. මේ කටු ඉන් පසු අවට ප්‍රදේශයට විසිකර දමා තිබේ. මේ පක්ෂී බිත්තරයක් බරින් කිලෝග්‍රෑම් 1.5ක් පමණ වන බැවින් එය සැලකිය යුතු ආහාරයක් වූ බව සිතිය හැකිය. එහෙත් මේ පිළිස්සුම් සලකුණු ඇති වූයේ මිනිසුන් විසින් පිළිස්සීමෙන්ද යන්නද තහවුරු කරගැනීම පෙර කී පර්යේෂකයන් පිරිසට වැදගත් විය.

බිත්තර පිළිස්සුවේ මිනිසුන්ද?


බිත්තර කටුවල තිබූ පිළිස්සුම් සලකුණුවල යම් විවිධත්වයක් පැවැති බව ඉහත සඳහන් කරන ලදි. ඇතැම් අවස්ථාවල දැකිය හැකි වූ අඩක් පිළිස්සුණු ස්වභාවය, විවිධ උෂ්ණත්ව යටතේ මේවා පිළිස්සූ බවට සාධක ලෙස සැලකිය හැකිය.

මේ පිළිස්සීම් මිනිසුන් විසින් ඇති කළ ගිනි නිසා ඇති වූ ඒවාද, නැතහොත් ඒවා ඔස්ට්‍රේලියාවේ සුලභව ඇති වන ලැව් ගිනි නිසා ඇති වූ පිළිස්සීම්ද යන්න නිසැකව තහවුරු කරගන්නා ලද්දේ තවත් ක්‍රමවේදයක් යොදාගනිමිනි. මේ සඳහා ඇමයිනෝ අම්ල වියෝජනය වන ක්‍රමය භාවිත කර ඇත. කාලයත් සමග බිත්තර කටුවල ඇති ඇමයිනෝ අම්ල ජීරණය වන රටාවක් තිබේ. එහෙත් බිත්තරයක එක් පැත්තක් පමණක් පිළිස්සීමේදී පිළිසේසන ප්‍රදේශයේ ඇමැයිනෝ අම්ල සම්පූර්ණයෙන්ම වියෝජනය වී විනාශ වේ. එහෙත් එහි අනෙක් අන්තයේ කටුවේ ඇමයිනෝ අම්ල විනාශ නොවී ඉතිරි විය හැකිය. මේ පිළිස්සූ බිත්තර කටු කැබැලි රැුසක දැකිය හැකි එක් ලක්ෂණයක් වූයේ එක් අන්තයක ඇමයිනෝ අම්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබීම හා අනෙක් අන්තයේ අවම වශයෙන් විනාශ වී තිබීමය. එවැන්නක් ඇති විය හැක්කේ එක් ප්‍රදේශයක් පමණක් ගින්නට ලක් කිරීම නිසා බව පර්යේෂකයන්ගේ මතය වේ. එනම්, මිනිසුන් විසින් ගින්නේ ලා පිළිස්සීමෙනි.

මේවා ලැව් ගිනි නිසා ඇති වූ පිළිස්සීම් නොවන බවට තවත් සාධක තිබේ. ඇතැම් බිත්තරවල ඇති පිළිස්සුම් සෙල්සියස් අංශක 500ක පමණ උෂ්ණත්වයකට රත් වූ බවක් දැකිය හැකිය හැකිය. මෙවැනි වෙනස්කමක් ස්වාභාවිකව ඇති වන ලැව් ගිනිවලදී ඇති නොවේ.

ඔස්ට්‍රේලියාවේ දැනටද දැකිය හැකි එමු (Dromaius) නම් පක්ෂියාගේ බිත්තර කටු මේ ආකාරයෙන් විවිධ තැන්පතුවලින් හමු වන්නේ අදින් වසර 100,000 කපමණ පෙර කාලයක සිටය. එහෙත් එමු පක්ෂීන්ගේ පිළිස්සුම් සලකුණු සහිත බිත්තර කටු හමුවන්නේද Genyornis පක්ෂියාගේ පිළිස්සුම් ලකුණු සහිත බිත්තර කටු හමුවන කාලය හා සමගාමී කාලයක පටන්ය. එනම්, අදින් වසර 50,000කට පමණ පෙර කාලයක සිටය. එයද මිනිසුන් මුලින්ම ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වූ කාලවකවානුව හා මැනවින් ගැලපේ. එමු පක්ෂින්ගේ බිත්තර, ඔස්ට්‍රේලියාවේ විසූ ආදිවාසින් විසින් දිගින් දිගටම ගින්නේ පුළුස්සා ආහාරයට ගත් බවට සාධක නූතන යුගය දක්වාම ව්‍යාප්ත වූ පුරාවිද්‍යාත්මක සාධක අතරින් හමු වේ.

මිනිසුන් විසින් Genyornis පක්ෂින්ගේ බිත්තර පුළුස්සා ආහාරයට ගැනීම සඳහා දිගින් දිගටම යොදාගැනීමෙන් එම පක්ෂීන්ගේ අභිජනනය සඳහා යම් බලපෑමක් ඇති වූ බව පැහැදිලිය. එය අදාළ පක්ෂි ගහනයේ ස්ථාවරත්වයට බලපෑ අතර, අවසානයේදී පක්ෂීන්ගේ වඳවී යාම සඳහා තීරණාත්මක ලෙස හේතු වූ බව පැහැදිලිය. (මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms10496)

No comments:

Post a Comment