Monday, September 24, 2012

ජගත් පරිසර විමසුම 141 (Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-09-19, පි. 11
http://www.vidusara.com/2012/09/19/feature3.html

විමසුම - සුළං බල විදුලිය - ශක්‍යතාව ඉහළයි, ඒත් පරිසරය තැකිය යුතුයි
ප්‍රමුඛ පුවත - වසර 30ක දී ජපානයත් න්‍යෂ්ටික බලයට සමු දෙයි
පුවත් සැකෙවින් - ජල හිඟයේ තරම/ ඕසෝන් දින සැමරුම/ නව වඳුරු විශේෂයක්‌ කොංගෝවෙන්



විමසුම
සුළං බල විදුලිය - ශක්‍යතාව ඉහළයි, ඒත් පරිසරය තැකිය යුතුයි

විදුලිය නිපදවීම සඳහා සුළං බලයට ඇති හැකියාව මේ දිනවල ලෝකයේ බලශක්‌ති ක්‌ෂේත්‍රයේ වැඩි අවධානයකට ලක්‌ ව ඇති කරුණකි. දේශගුණ වෙනස්‌ වීමට හේතු වන ෆොසිල ඉන්ධන වෙනුවට සුළඟ හා සූර්ය බලය වැනි පුනර්ජනනය කළ හැකි එසේම පිරිසිදු බලශක්‌ති ප්‍රභව පිළිබඳව බොහෝ රටවල් උනන්දු වී ඇත. මේ නිසා ඒ අංශයේ ආයෝජන ද ඉහළ ගොස්‌ තිබේ. මේ අතර වැඩි වශයෙන් ඇත්තේ දියුණු රටවල් වුවත් දියුණු වන රටවල් ද ඒ පිළිබඳව සැලකිල්ලක්‌ දක්‌වා තිබේ.

වර්තමානයේ සුළඟ මගින් නිපදවනු ලබන්නේ ලෝකයේ භාවිත වන සමස්‌ත විදුලිබලයෙන් සියයට හතරක්‌ තරම් ප්‍රමාණයකි. විදුලිබල ජනනයේ දී සුළං බලයට ඇති ශක්‍යතාව පිළිබඳව පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයන දෙකක අවධානය යොමු වී තිබේ. ඉන් පෙනෙන්නේ සුළං බලයේ වර්ධනයට බලපාන යම් යම් සීමාකාරී සාධක තිබුණ ද, එමගින් ඉතා විශාල විදුලිබලයක්‌ ජනනය කරගත හැකි බව ය.

සුළං බලයේ ශක්‍යතාව


ඉන් එක්‌ අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දෙන්නේ ගොඩබිම හා මුහුදේ පිහිටුවා ඇති සුළං ටර්බයින මගින් දැනට ලෝකයේ භාවිත වන සමස්‌ත විදුලි බලය මෙන් අති විශාල විදුලියක්‌ ජනනය කළ හැකි බව ය. මීටර් 395ට වඩා අඩු උස මට්‌ටමේ සුළං භාවිතයට ගන්නා පොළොව මතුපිටට ආසන්න ව පිහිටා ඇති ටර්බයින මගින් නිපදවිය හැකි විදුලි බලය ටෙරාවොට්‌ 428කට අධික ය. එහෙත් වඩා ඉහළ අහසේ හමා යන සුළඟේa ඇති ශක්‌තිය අධික නිසා විශේෂ ටර්බයින යොදාගනිමින් ඉහළ උන්නතාංශ සුළං බලයෙන් (high-altitude wind power) ලබාගත හැකි විදුලිය මීට වඩා වැඩි ය. එය ටෙරාවොට්‌ 1873කට අධික ප්‍රමාණයක්‌ ජනනය කළ හැකි ය.

එහෙත් දැනට ලෝකයේ භාවිත වන විදුලිබලය ප්‍රමාණය ටෙරාවොට්‌ 18ක්‌ පමණක්‌ වන නිසා භූභෞතික සාධකවල සීමාකාරී බවක්‌ නොමැති ව භූමිය මත පොළොවට ආසන්නව පිහිටුවන ටර්බයින මගින් පමණක්‌ වුවත් ලෝකයට අවශ්‍ය ප්‍රමාණය මෙන් විසි ගුණයක විදුලියක්‌ නිපදවිය හැකි ය. (ඉහළ උන්නතාංශ සුළං බලයෙන් අද භාවිත වන විදුලි බලය මෙන් සිය ගුණයක්‌ තරම් විදුලියක්‌ නිපදවිය හැකි ය.) දේශගුණ ආකෘතියක්‌ මගින් සිදු කර ඇති මේ අධ්‍යයනය අනුව සුළං බලය සඳහා බලපෑ හැක්‌කේ පාරිසරික හා ආර්ථික සාධක පමණි. ලෝකය පුරා සමානව ව්‍යාප්ත වී ඇති සුළං ටර්බයින මගින් පොළොවේ දේශගුණයට මෙමගින් බලපෑමක්‌ ඇති නො කරයි. (මූලාශ්‍රයNatureClimate Change,DOI: 10.1038/nclimate1683)

මේ අතර සුළං බලය පිළිබඳව සිදු කරන ලද තවත් අධ්‍යයනයක්‌ අනුව මීටර් 100ක පමණ උස මට්‌ටමේ සවි කරන ලද ටර්බයින යොදා ගනිමින් වර්තමාන බලශක්‌ති පරිභෝජනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්‌ නිපදවීමට බලපාන කිසිදු බාධාවක්‌ නොමැත. ඒ හුදෙක්‌ ටර්බයින මිලියන හතරක්‌ පමණ ප්‍රමාණයක්‌ මගිනි. (මූලාශ්‍රයProceedings ofthe National Academy of Sciences, DOI:10.1073/pnas.1208993109)

සීමාකාරී විය හැකි පාරිසරික බලපෑම්

සුළඟ පිරිසිදු බලශක්‌ති ප්‍රභවයක්‌ බව අප දන්නා කරුණකි. එහෙත් සුළං විදුලියේ අහිතකර පාරිසරික බලපෑම් නැතිවා නො වේ. නිදසුනක්‌ ලෙස අප මේ විමසුම ඔස්‌සේ මින් ඉහත දී ද සාකච්ඡා කර ඇති ආකාරයට එය වවුලන්ට යම් බලපෑමක්‌ විය හැකි ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල දී පක්‌ෂීන්ට බලපෑමක්‌ කළ හැකි බව තවත් අධ්‍යයනවලින් හෙළි වී තිබේ. (2012-08-15 දින හා 2012-04-18 දිනවල ජගත් පරිසර විමසුම බලන්න). එසේ ම පරිසරයේ ස්‌වභාව දර්ශනයට මේ ටර්බයින ඉදි කිරීමෙන් ඇති වන බලපෑම් ද සැලකිල්ලට ලක්‌ ව ඇති කරුණකි.

පරිසරයට හානිකර නො වන ආකාරයෙන් සුළං බලය යොදාගත හැකි ආකාරය අවධානයට ලක්‌ කළ යුතු කරුණකි. ඉහත සඳහන් බලපෑම් අවම වන ආකාරයෙන් - එනම් පක්‌ෂීන් හා වවුලන් වැනි සතුන්ට හානි නො වන ආකාරයෙන් - සුළං ටර්බයින ස්‌ථාපනය කළ හැකි ය. එසේ ම මේ ටර්බයින ස්‌ථාපනය කරන ස්‌ථාන හා ප්‍රදේශ ද මෙහි දී වැදගත් වේ. ස්‌වාභාවික භූ දර්ශනයට අවම හානියක්‌ සිදු වන ආකාරයෙන් සුළං ටර්බයින පිහිටුවීම ද කළ හැකි ය. ලෝකය මේ පිළිබඳව යම් අවධානයක්‌ යොමු කළ යුතු අතර නොඑසේ නම් සිදු විය හැක්‌කේ හුදෙක්‌ "පිරිසිදු බලශක්‌ති ප්‍රභවයකි" යන ලේබලය යටතේ පාලනයකින් තොර ව සුළං ටර්බයින පිහිටුවීමෙන් පාරිසරික වශයෙන් යම් බලපෑමක්‌ ඇති වීම ය.

ඒ අනුව අදාළ අංශවල අවධානය යොමු විය යුත්තේ ශක්‍යතාව පවත්නා පමණින් සුළං විදුලිය හැකිතාක්‌ නිපදවීමට නො ව, පරිසරයට අවම බලපෑමක්‌ වන පරිදි සුළං බලය යොදා ගැනීම පිළිබඳව ය. සුළඟ පමණක්‌ නො ව සූර්ය බලය හා ජල විදුලිය වැනි පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව ගණනාවක්‌ ඇති නිසා අනාගත බලශක්‌ති ක්‌ෂේත්‍රයේ ගැටලුවක්‌ ඇති නො වනු ඇත.

ප්‍රමුඛ පුවත
වසර 30ක දී ජපානයත් න්‍යෂ්ටික බලයට සමු දෙයි

න්‍යෂ්ටික බලයෙන් ඈත් වීමට ජපානය සූදානම් වන බවක්‌ පසුගිය සතියේ වාර්තා විය. ඒ අනුව ඉදිරි වර්ෂ 30ක කාලය ඇතුළත ක්‍රමයෙන් න්‍යෂ්ටික බලය අත්හැරීමට සැලසුම් කර ඇති බව එරට රජය නිවේදනය කළේය. මේ අනුව 2040 වර්ෂය වන විට එරට සියලු න්‍යෂ්ටික බලාගාර වසා දැමීමට ජපානය තීරණය කර ඇත. න්‍යෂ්ටික බලාගාරවලින් තම බලශක්‌ති අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ලබාගත් ජපානය ගත් මේ තීරණය එරට රාජ්‍ය ප්‍රතිපත්තිවල පැහැදිලි වෙනසක්‌ පෙන්නුම් කරයි. පසුගිය වර්ෂයේ ජපානයේ ඇති වූ භූමිකම්පාව හා සුනාමිය නිසා ෆුකුෂිමා ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයේ අනතුර සිදු වන විට ජපානය න්‍යෂ්ටික බලය භාවිත කරන රටවල් අතර තුන්වැනි තැන පසු විය. මේ අනුව එරට බලශක්‌ති අවශ්‍යතාව සඳහා ඉදිරියේ දී පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය සමස්‌ත බලශක්‌ති අවශ්‍යතාවෙන් 30%ක්‌ දක්‌වා ප්‍රවර්ධනය කිරීම ද නව බලශක්‌ති සැලසුම්වල ඇතුළත් වේ.

ෆුකුෂිමා අනතුරේ ප්‍රතිඵලය වූයේ ලෝකයේ බරපතළ ම න්‍යෂ්ටික ආපදාවකට ජපානය පත් වීම ය. විකිරණවලට නිරාවරණය වූ විශාල ප්‍රදේශයක්‌ ජනශුන්‍ය කරන ලද අතර තවමත් මේ සමහර ප්‍රදේශවල ජනතාව පදිංචි වීමට ඉඩ ලබා නො දේ. මේ අර්බුදයෙන් පසුව න්‍යෂ්ටික බලයට එරෙහි ව ජපාන වැසියන් අතර විරෝධයක්‌ ඇති වූ අතර එරට ක්‍රියාත්මක සියලු බලාගාර තාවකාලිකව වසා දමන ලදි. එහෙත් මේ අවස්‌ථාවේ ජගත් මට්‌ටමෙන් ඇති වූ න්‍යෂ්ටික විරෝධය නිසා ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල් තම න්‍යෂ්ටික බලාගාර මුළුමනින් ම වසා දැමීමට පෙලඹිණි. එහෙත් මේ දක්‌වා ජපාන බලධාරීන් සිටියේ න්‍යෂ්ටික බලාගාර තවදුරටත් පවත්වා ගත යුතුය යන අදහසේ ය. පෙර සඳහන් ප්‍රතිපත්තිමය වෙනස වැදගත් වන්නේ එවැනි තත්ත්වයක්‌ හමුවේ ය. එය වර්තමාන රජයේ ජනප්‍රියතාව වර්ධනය වීමට ද බලපෑ හැකි බව සඳහන් වේ.

අපේ රටට ආසන්නව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කූදාන්කුලම් ප්‍රදේශයේ මේ වන විට න්‍යෂ්ටික බලාගාරයක්‌ ඉදි කෙරෙමින් පවතී. මේ වන විට ඉන්දීය වැසියන් අතරින් ඊට එරෙහි ව දැඩි විරෝධයක්‌ මතු වී තිබේ.

පුවත් සැකෙවින්

ජල හිඟයේ තරම

වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සැපයීමට හා රටවල් අතර ගැටුම් ඇති වීම වැළැක්‌වීම සඳහා ලෝකයේ අනාගත ජල අවශ්‍යතාවේ තරම පෙන්වා දෙන වාර්තාවක්‌ පසුගිය දා නිකුත් විය. ඒ අනුව 2025 වර්ෂය වන විට ලෝකයට නයිල් ගඟ වැනි තවත් ගංගා 20ක්‌ පමණ අවශ්‍ය වේ. සංඛ්‍යාත්මකව දක්‌වන්නේ නම්, ඒ වන විට තවත් ඝන කිලෝමීටර 1000ක පමණ ජල ප්‍රමාණයක්‌ කෘෂිකර්මය සඳහා පමණක්‌ අවශ්‍ය වේ.

ජල හිඟය බරපතළ ලෙස බලපෑ හැකි රටවල් අතර චීනය හා ඉන්දියාව ද වේ. 2030 වර්ෂය වන විට මේ දෙරටේ ම ජල අවශ්‍යතාව සැපයුම ඉක්‌මවා යනු ඇත. කෙසේ වෙතත් මේ වාර්තාවේ දැක්‌වෙන පරිදි ජලය සංරක්‌ෂණය කරගැනීමෙන් හා නාස්‌තිය වැළැක්‌වීමෙන් සැලකිය යුතු වෙනසක්‌ සිදු කළ හැකි ය. නිදසුනක්‌ ලෙස, දියුණු වන රටවල සමස්‌ත නළ ජල ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ ජල සම්පාදනය අතර දී අහිමි වේ. එසේම ජල හිඟයක්‌ ඇති රටවල් ඊට විකල්ප සෙවීමේ ඇති වැදගත්කම ද මෙහි දක්‌වා ඇත.

මේ වාර්තාව නිකුත් කර ඇත්තේ ලෝකයේ හිටපු රාජ්‍ය නායකයන් හතළිහක පමණ පිරිසක ගෙන් සැදුම් ලත් InterAction Council නම් කණ්‌ඩායම හා තවත් ආයතන කිහිපයක්‌ විසිනි. ඔවුන් මෙහෙ දී පවසන වැදගත් ම කරුණ වන්නේ එක්‌සත් ජාතීන් ගේ ආරක්‌ෂක මණ්‌ඩලය, ජලය සඳහා අදට වඩා වැඩි ප්‍රමුඛතාවක්‌ ලබා දිය යුතු බව ය. (මූලාශ්‍රයThe Global Water Crisis: Addressing an Urgent Security Issue, www.inweh.unu.edu/WaterSecurity/documents/ WaterSecurity_FINAL_Aug2012.pdf)

ඕසෝන් දින සැමරුම


ඕසෝන් දිනයේ සැමරුම පසුගිය ඉරිදා දිනට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ කටයුතු සංවිධානය කර තිබෙනු දැකගත හැකි විය. ඕසෝන් ස්‌තරයේ ආරක්‌ෂාවට හේතු වූ මොන්ටි්‍රයල් සන්ධානයේ 25 වැනි සංවත්සරය මේ වර්ෂයට යෙදී ඇත. මේ කාලය ඇතුළත ඕසෝන් වියන රැකගැනීම අරභයා ලෝකය ම සැලකිය යුතු ජයක්‌ අත්පත් කරගෙන තිබේ.

අනෙක්‌ අතට අප මින් ඉහත දී ද සඳහන් කර ඇති පරිදි ඕසෝන් දිනය වැදගත් වන තවත් කරුණක්‌ වන්නේ මෙය ලෝකය සාමූහිකව අත්පත් කරගත් ජයග්‍රහණයක්‌ වන නිසා ය. ඕසෝන් ස්‌ථාරයේ විනාශයට හේතු වන බව පෙන්වා දී තිබූ ප්‍රධාන රසායනික සංයෝග වන ක්‌ලෝරෝෆ්ලෝරොකාබන් සංයෝග 98%කට අධික ප්‍රමාණයක්‌ භාවිතයෙන් ඉවත් කර තිබේ.

නව වඳුරු විශේෂයක්‌ කොංගෝවෙන්

අප්‍රිකානු මහාද්වීපයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මධ්‍යම ප්‍රදේශයෙන් නව වඳුරු විශේෂයක්‌ වාර්තා වේ. ජානමය අධ්‍යයනවලින් පසු මේ නව විශේෂය Cercopithecus lomamiensis ලෙස නම් කර ඇත. ඒ ආසන්නයේ පිහිටා ඇති ලොමාමි ගංගාවේ නමිනි. ඒ අනුව ගත වූ දශක තුනක කාලයක්‌ ඇතුළත අප්‍රිකාවෙන් වාර්තා වන දෙවැනි නව වඳුරු විශේෂය මෙයයි.

2007 වර්ෂයේ දී මේ වඳුරා පිළිබඳ තොරතුරු මුලින් ම අනාවරණය වූ අවස්‌ථාවේ දී ඒ නව විශේෂයක්‌ බවට අදහසක්‌ තිබී නැත. එහෙත් පසුව ඒ බව තහවුරු වී ඇත. මින් පෙනෙන්නේ ජෛවවිවිධත්වය පිළිබඳ නූතන විද්‍යාත්මක දැනුමේ ඇති අඩුපාඩු ය. එසේ ම නව වඳුරු විශේෂය සීමිත ප්‍රදේශයක පමණක්‌ ව්‍යාප්ත වී ඇති අතර ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ නො වන බැවින් ඒ පරිසරය මානව තර්ජනවලට ලක්‌ වී තිබේ. වාසනාවකට මෙන් අදාළ ප්‍රදේශය ආරක්‌ෂිත ප්‍රදේශයක්‌ ලෙස නම් කිරීමට කටයුතු කෙරෙමින් තිබේ. (මූලාශ්‍රයPLoS ONE, DOI: 10.1371/journal.pone.0044271)

http://www.vidusara.com/2012/09/19/feature3.html

No comments:

Post a Comment