ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-08-15, පි. 11 (Vidusara, 2012-08-15 p.11)
http://www.vidusara.com/2012/08/15/feature3.html
විමසුම - දේශගුණ වෙනස් වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?
ප්‍රමුඛ පුවත - පරිසරයෙන් ඒජන්ට් ඔරේන්ඡ් 'ඉවත් කිරීම'
පුවත් සැකෙවින් - පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්/ කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි/ වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන
විමසුම
දේශගුණ වෙනස් වීම වැළැක්‌වීමේ සටන තවත් දියාරු වන හැඩ?
දේශගුණ වෙනස් වීම වැළැක්‌වීම පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ තීරුව ඔස්‌සේ විමසා බැලීමට අප සිතුවේ මෑත කාලයේ දී ඒ සම්බන්ධව වාර්තා වූ ඇතැම් පුවත්වල ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් ලෝකයේ බරපතළ ම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව ඇතැම් රටවල ජනතාව ගේ හා දේශපාලන නායකත්වයේ අවධානය අඩු වී ඇති තත්ත්වයක් පැවතිය ද එහි වැඩි බලපෑමකට ලක් විය හැකි දියුණු වන රටක් ලෙස අප මේ පිළිබඳ ප්‍රවණතා ගැන අවධානය යොමු කළ යුතු වේ. ඒ ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව වටහා ගැනීම සඳහා ය.
කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන ඉහළ මට්‌ටමක
2011 වර්ෂයේ දී ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය පෙර වර්ෂයට සාපේක්‌ෂව 3%කින් පමණ වර්ධනය වී ඇත. මේ වර්ධනය පසුගිය දශකයේ පැවැති සාමාන්‍ය වර්ධනය වන 2.7% ප්‍රමාණය ඉක්‌මවා තිබීම වැදගත් කරුණකි. එහෙත් මෑත කාලයේ වැඩි ම ප්‍රතිශත වර්ධනයක් පැවතියේ 2010 දී ය. ඒ ලෝක ආර්ථික අර්බුදයෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වන අතර දී ය.
ප්‍රමාණාත්මකව ටොන් බිලියන 34ක් වන මේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා දායකත්වය සපයා ඇති රටවල් හා ඒවායේ දායකත්වය මෙසේ ය. චීනය (29%), ඇමෙරිකාව (16%), යුරෝපා සංගමය (11%), ඉන්දියාව (6%), රුසියාව (5%) හා ජපානය (4%) මේ අතර ඉදිරියෙන් සිටින රටවල් වේ.
මේ අතර චීනයේ ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය (වාර්ෂික) යුරෝපයේ මට්‌ටමට ආසන්න වී තිබේ. එය 2011 වර්ෂයේ දී 9%කින් වර්ධනය වූ අතර මේ වන විට ටොන් 7.2 මට්‌ටමේ පවතී. කාර්මික රටවල සාමාන්‍යය ටොන් 6ත් 19ත් අතර පවතී. යුරෝපා සංගමයේ එය ටොන් 7.5ක් පමණ වේ. එහි විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයේ මේ අගය ගිය වර්ෂයේ දී 3%කින් අඩු වී තිබීම ය. ඇමෙරිකාවේ මේ අගය ටොන් 17.3ක් පමණ වේ. මේ කරුණු හෙළි කර ඇත්තේ යුරෝපා කොමිසමට අයත් ආයතනයක් හා තවත් ආයතනයක් එක් ව පළ කර ඇති zජගත් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රවණතාZ නම් වාර්ෂික වාර්තාවෙනි. (මූලාශ්‍රයTrends in global CO2 emissions,
http://edgar.jrc.ec.europa.eu/CO2REPORT2012.pdf&)
සෙල්සියස් අංශක දෙකේ සීමාව කේවල් කිරීම
මේ අතර පසුගිය සතියේ ඇමෙරිකාවේ ප්‍රධාන දේශගුණ සාකච්ඡාකරු වන ටොඩ් ස්‌ටර්න් පැවසූ කරුණක් සම්බන්ධව යුරෝපා සංගමය හා කුඩා දූපත් රාජ්‍ය එකමුතුව වෙතින් විරෝධය පළ වී තිබේ. ඔහු පවසන ආකාරයට මිහිතලය උණුසුම් වීම සෙල්සියස් අංශක දෙකකට අඩුවෙන් පවත්වාගත යුතු ය යන පිළිගත් ඉලක්‌කය නිසා දේශගුණ සාකච්ඡා අතරමඟ නැවතීමට හේතු විය හැකි ය. මේ නිසා දේශගුණ සාකච්ඡාවල දී දැඩි මතධාරී නො වී නම්‍යශීලී විය යුතු ය යන්න ඔහු පෙන්වා දී තිබේ. එහෙත් මේ අදහස දේශගුණ වෙනස් වීමට එරෙහි සටන ආරම්භ වීමට පළමුව ම අත්හැර දැමීමක් සේ දක්‌වා තිබේ.
මේ ඉලක්‌කය ඇමෙරිකාවේ විරෝධයට ලක් වූ පළමු අවස්‌ථාව මෙය නො වේ. මේ වන විට ලෝකය එකඟ වී ඇති උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස් අංශක දෙකේ සීමාවේ තබා ගැනීම, දේශගුණ වෙනස් වීමට විසඳුමක් සොයා ගැනීම පමා කිරීමේ උපක්‍රමයක් සේ දැක්‌විය හැකි ය. එසේ නො වුව හොත් දේශගුණ වෙනස් වීමේ බලපෑම් බරපතළ ඒවා විය හැකි බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාධක දැක්‌විය හැකි ය. 2010 දී පැවැති දේශගුණ සාකච්ඡාවල දී ලෝකය ම මේ ඉලක්‌කය පිළිබඳව තම එකඟතාව පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ ඉලක්‌කය පවා බරපතළ එකක් විය හැකි බව තවත් බොහෝ අධ්‍යයනවලින් යෝජනා කර තිබේ. ඒ අනුව සරලව පවසන්නේ නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හැකි තරම් අඩු මට්‌ටමක තබා ගත යුතු බව පැහැදිලි ය.
කෙසේ වෙතත් ඇමෙරිකාවේ මේ පිළිවෙත හමුවේ ඇතැම් පාර්ශ්ව ඇමෙරිකාවේ සහායට පැමිණිය හැකි බව අප අමතක නො කළ යුතු ය. මේ අතර වේගයෙන් කාර්මිකකරණය වන දියුණු වන රටවල් ද විය හැකි ය. එසේ වුව හොත් එය දේශගුණ සාකච්ඡාවල හරය හෙවත් වැදගත් ම ඉලක්‌කය නො සලකා හැරීමක් වනු ඇත.
ලෝකයේ අභියෝගය
මේ අනුව ලෝකය ඉදිරියේ ඇති අභියෝගය කවරේ දැයි ඉතා පැහැදිලි ය. ලෝකයේ ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යමින් තිබේ. ලෝකයේ උෂ්ණත්වය ද ඉහළ යමින් තිබේ. එහි බලපෑම් අපට මේ වන විටත් දැකිය හැකි ය. එහෙත් මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇතැම් රටවලට උනන්දුවක් නොමැති තරම් ය. ඒ සඳහා හේතු වී ඇත්තේ ආර්ථික වර්ධනය හා සම්බන්ධ දේශපාලනික කරුණු ය. මේ නිසා මේ අර්බුදයට විසඳුම් සෙවීම දිනෙන් දින පමා වෙමින් තිබේ. ලෝකයේ ඉදිරියේ අද දවසේ ඇති අභියෝගය වන්නේ ලෝකයේ ම සහාය ලබාගත් විසඳුමක් සෙවීම ය.
ප්‍රමුඛ පුවත
පරිසරයෙන් ඒජන්ට් ඔරේන්ඡ් 'ඉවත් කිරීම'
දශක කිහිපයකට පෙර පැවැති වියට්‌නාම් යුද්ධයේ දී ඇමෙරිකානු හමුදා විසින් ඒජන්ට් ඔරේන්ඡ් නම් කෘෂි රසායන ද්‍රව්‍යය භාවිත කිරීම ඇමෙරිකානුවන් විසින් සිදු කරන ලද මානුෂික නො වන ක්‍රියාවක් ලෙස ප්‍රකට කරුණකි. ඒජන්ට් ඔරේන්ඡ් යනු 2,4,5 ට්‍රයික්‌ලොරොෆීනොක්‌සිඇසිටික් අම්ල හා 2,4 ඩයික්‌ලෝරොෆීනොක්‌සිඇසිටික් අම්ල යන රසායනිකවල සම මිශ්‍රණයකි. ශාකවල පත්‍ර පතනය සඳහා හේතු වන මේ රසායන ද්‍රව්‍යය වියට්‌නාමයේ වනාන්තරවලට ගුවන් මගින් ඉසින ලද්දේ උතුරු වියට්‌නාමයේ සහාය ලද වියට්‌කොං ගරිල්ලා සේනා සැඟව සිටි වනාන්තර විනාශ කිරීම හා ආහාර සපයාගැනීම වැළැක්‌වීම සඳහා ය. එහෙත් අතිශයින් විෂ සහිත මේ රසායන ද්‍රව්‍යය ඉසීමෙන් විශාල පිරිසක් මිය ගිය අතර ගත වූ කාලය තුළ එහි හානිකර බලපෑම්වලට විශාල පිරිසක් ලක් ව තිබේ. මේ අතර යුද්ධය හා කිසිදු සම්බන්ධයක් නොමැති ළමයින් 150,000ක් පමණ පිරිසක් බරපතළ විකෘති තත්ත්ව සහිතව උපත ලබා තිබීම ඉතා කණගාටුදායක වේ.
මේ රසායන ද්‍රව්‍යයෙන් දූෂණයට ලක් ව ඇති ප්‍රදේශයක් පවිත්‍ර කිරීමට ඇමෙරිකානු අනුග්‍රහය ඇති ව ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ඒජන්ට් ඔරේන්ඡ් ගබඩා කර තැබූ දනෑංග් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළක මේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රසායන ද්‍රව්‍යවලින් දූෂිතව ඇති පස් යාන්ත්‍රිකව ඉවත් කර අධික උෂ්ණත්වයකට ලක් කිරීමෙන් එහි ඇති ඩයොක්‌සින් විනාශ කිරීම මෙහි දී සිදු කිරීමට නියමිත ය. ඒජන්ට් ඔරේන්ඡ් ගබඩා කර තැබූ හා ඒ නිසා අධික ලෙස දූෂණයට ලක් වූ ස්‌ථාන ගණනාවක් වියට්‌නාමයේ පවතී. 1975 වර්ෂයේ දී යුද්ධය නිමා වීමෙන් පසුව මෙවැනි පවිත්‍රකරණයක් සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට ය.
මෙවැනි කාර්යයක් සඳහා ඇමෙරිකාව ඉදිරිපත් වීම පසුපස දේශපාලනය ද ඇති බව සත්‍යයකි. අසල්වැසි චීනය සමඟ ඇති ගැටලු හා ඇමෙරිකාව හා වියට්‌නාමය අතර මෑත කාලයේ වර්ධනය වූ සම්බන්ධතා මීට හේතු වී ඇති බවක් පෙනේ. මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීමෙන් බලපෑමට පත් ඇමෙරිකානු සෙබළුන්ට වන්දි ලබා දී ඇති ඇමෙරිකාව, විපතට පත් වියට්‌නාම වැසියන්ට වන්දි ලබා දීමට තවමත් ඉදිරිපත් නො වීම මීට සාධකයකි. වන්දි ඉල්ලා වියට්‌නාම වැසියන් ගොනු කළ නඩුවක් වසර කිහිපයකට පෙර නිශ්ප්‍රභ කරන ලදි. එහෙත් වන්දි ඉල්ලා සිදු කරනු ලබන ව්‍යාපාරය අඩාළ නො වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.
පුවත් සැකෙවින්
පාරජම්බුල කිරණ නිසා සාගර ජීවීන්ට බලපෑම්
සාගරයේ වෙසෙන ජීවීන් ගේ මරණ ප්‍රමාණය ඉහළ යැම සඳහා පාරජම්බුල කිරණ වර්ගයක් (UVB) හේතු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මුහුදේ වෙසෙන ඇතැම් සත්ත්ව විශේෂ මෙන්ම ශාක විශේෂවල මරණ කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ යා හැකි ය. ඉන් වැඩි ම බලපෑමකට ලක් වන්නේ ප්‍රොටිස්‌ටාවන්, ඇල්ගී, කොරල් හා ක්‍රස්‌ටේසියානුවන් ය. එසේ ම මසුන් ගේ බිත්තර හා මුල් අවස්‌ථාව ද මේ කිරණවල බලපෑමට ලක් වීමට ඉඩ තිබේ.
මින් ඉහත දී සිදු කරන ලද අධ්‍යයන විමර්ශනය කිරීමෙන් හෙළි ව ඇති පරිදි මේ කාණ්‌ඩවල ජීවීන් ගේ ප්‍රමාණයේ අඩු වීම හා මේ කිරණ ඉහළ යැම සමගාමී වීම වේ. ඒ අනුව මෑත කාලයේ දී වාර්තා වී ඇති සාගර ජීවීන් ගේ අඩු වීමට බලපාන හේතුවක් ලෙස මෙය ද නම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ම මේ තත්ත්වය සාගර සමස්‌ත ආහාර ජාලයට ම බලපෑම් ඇති කරයි. නිදසුනක් ලෙස ඉහත කී කාණ්‌ඩවල ජීවීන් ගේ අඩු වීම ඒ මත යෑපෙන සත්ත්ව විශේෂවල ගහනය අඩුවීමට ද හේතු විය හැකි ය. නිදසුනක් ලෙස ඇල්ගා ජීවීන් සාගරයේ ප්‍රධාන ම ප්‍රාථමික නිෂ්පාදකයන් ය. පාරජම්බුල කිරණවලින් සාගර ජීවීන්ට සිදු විය හැකි බලපෑම් පිළිබඳව මෙවැනි අධ්‍යයන මෙතෙක් කලක් සිදු කර නො තිබිණි. (මූලාශ්‍රයGlobal Ecology andBiogeography, DOI: 10.1111/j.1466-8238.2012.00784.x&)
කුඩා සුළං ටර්බයින වවුලන්ට බලපායි
කුඩා සුළං ටර්බයින නිසා වවුලන් ගේ ගහනවල ප්‍රමාණය අඩකින් පමණ අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එවැනි ස්‌ථාන විස්‌සක් පමණ ප්‍රමාණයක සිදු කර ඇති මේ අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇති පරිදි වවුල් ගහනය 54% දක්‌වා වූ ප්‍රමාණවලින් අඩු වීමට එය බලපෑ හැකි ය. එහෙත් පක්‌ෂි ගහනවලට ඉන් බලපෑමක් වී නොමැත.
පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවයක් ලෙස සුළං බලයෙන් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ලබා දෙන සහන ව්‍යාපෘති නිසා ගොවිපොළ හා ගෘහාශ්‍රිතව මෙවැනි ටර්බයින බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. එහෙත් වනජීවීන්ට හානියක් නො වී පිරිසිදු බලශක්‌තිය ද ලබා ගැනීමට නම්, වවුල් වාසස්‌ථානවල සිට මීටර් 20ක දුරක් ඇතුළත කුඩා සුළං ටර්බයින ස්‌ථාපිත නො කළ යුතු බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ අනුව මේවා ස්‌ථාපනය කිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රයPLoS ONE, DOI:10.1371/journal.pone.0041177)
වැඩි ම පරිසර දූෂණයකින් යුත් ස්‌ථාන
නිව්යෝර්ක් නගරය පාදක කරගත් රාජ්‍ය නො වන සංවිධානයක් මඟින් ලෝකයේ වඩාත් දූෂණයට ලක් ව ඇති ස්‌ථාන දහයක් නම් කර තිබේ. මේ ලේඛනයකට අනුව ඉන් මුල් දහය අතරට වැටෙන ස්‌ථාන තුනක් ඉන්දියාවේ ද, දෙකක් චීනයේ ද පිහිටා ඇත.
මේ ස්‌ථාන අතරින් සමහරක් ලෝකයේ බරපතළ දූෂණයක් පැවැති ස්‌ථාන වේ. නිදසුනක් ලෙස බෝපාල් හා චර්නොබිල් දැක්‌විය හැකි ය.
උක්‌ත ආයතනය මෙවැනි ස්‌ථාන පිළිබඳව කරුණු සොයා බලන අතර, ලෝකයේ ඇති මෙවැනි ස්‌ථානවල පවත්නා පරිසර දූෂණය නිසා බලපෑමට ලක් ව ඇති පිරිස ඉතා විශාල ය.
http://www.vidusara.com/2012/08/15/feature3.html
No comments:
Post a Comment