Sunday, November 24, 2019

ද්විපාද චරණයේ ආරම්භය තවදුරටත් අතීතයට යයි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.11.20, පි. 05 (Vidisara)



(ඡායාරූපය - වැඩුණු පිරිමි සතාට අයත් හමු වූ පොසිල අස්ථි)


දෙපයින් ගමන් කිරීම හෙවත් ද්වීපාද චරණය යනු මානවයන් බිහි වීම සඳහා වැදගත් වූ දියුණු පරිණාමීය ලක්ෂණයක් ලෙස සැලකෙයි. එමෙන්ම දෙපා මත ඍජුව ඇවිදීමට හැකි වීම සෙසු ප‍්‍රයිමේටාවන් අතරින් ආදිමානවයින් වෙන් කළ හැකි මූලික ලක්ෂණයක්ද වෙයි. එබැවින් ද්විපාද චරණය හෙවත් දෙපාවත්බව (bipedalism) ඇති වූ කාල වකවානුව පරිණාමය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූවකි. ඒ පිළිබඳව දිගු කලක සිට වාද විවාද ඇති විය. නිදසුනක් ලෙස ගතහොත්, මෙම ලක්ෂණ මානවයින්ට ලැබී තිබෙන්නේ රුක්වාසීව ජීවත් වූ ඔරන්උටන් වැනි වානරයන්ගෙන්ද, නැතහොත් ඇඟිලි මත ඇවිද යන පොළාව මත වැඩි කාලයක් ගත කරන ගොරිල්ලා වැනි වානරයෙකුගෙන්ද යන්න මෙහි දී සාකච්ඡුාවට ලක් වූ වැදගත් කරුණකි.

ද්වීපාද චරණය පිළිබඳව මේ වන විට ඇති පැරණිම නිශ්චිත සාධක වන්නේ Ardipithecus ramidus නම් ආදි මානව (hominin) විශේෂයයි. පැහැදිලිව දෙපයින් ගමන් කළ සත්ත්ව විශේෂයක් වන ඔවුන් වාසය කළේ අදින් වසර මිලියන 4.4කට පමණ කාලයකට ඉහත දීය. එමෙන්ම අදින් වසර මිලියන 6ත් 7ත් අතර කාලයකට පෙර මේ දෙපා මත සංචරණයේ ආරම්භය සිදුවන්නට ඇති බව විශ්වාස කරන්නට සාධක ඇත. චිම්පන්සින් හා බොනබෝ වැනි වානර විශේෂ අයත් වන පරිණාමීය ශාඛාව, ආදි මානව ශාඛාවෙන් වෙන්ව ගොස් ඇත්තේ අදින් වසර මිලියන 7කට පෙරය.

මේ පිළිබඳව වැදගත් වන සොයාගැනීමක් පිළිබඳ විස්තර පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයක සඳහන් වෙයි. එමගින් පැහැදිලි කරනු ලබන්නේ ද්වීපාද චරණය පිළිබඳ ලක්ෂණ පෙන්වන වානර විශේෂයක පොසිලයක් ගැනය. ඒ පොසිල අදින් වසර මිලියන එකොළහකටක් වඩා පැරණි ඒවාය. පොසිලවලින් හෙළි වන සාධක අනුව එම වානරයන්ගේ පුර්ව ගාත‍්‍රා හෙවත් අත් ගස්වල එල්ලී සිටීම සඳහා ගැලපෙන ඒවා වුව ද, අපර ගාත‍්‍රා හෙවත් දෙපාවල ලක්ෂණ හා කොඳු ඇට පෙළෙහි ලක්ෂණ අනුව එම වානරයන් දෙපාවලින් ගමන් කළ හැකි වූ බවයි. ඒ අනුව එම පර්යේෂකයින් විසින් ද්විපාද චරණය ආරම්භ වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර බව යෝජනා කර ඇත. එය පිළිගනු ලැබුවහොත්, ද්විපාද චරණයේ ආරම්භය සඳහා මෙතෙක් ලබා දී තිබූ කාලය වඩා ඈතට ගෙනයයි.


ජර්මනියෙන් ලැබුණු පොසිල සාධක


දකුණු ජර්මනියේ පිහිටා ඇති බැවේරියාවේ මැටි පතලකින් 2015 හා 2018 අතර කාලයේදී ලැබුණු වානර විශේෂයට අයත් සතුන් සිව්දෙනෙකුගේ පොසිල මේ අධ්‍යයනයට ලක් වූ ඒවාය. ඒ අතර පිරිමි සතෙකුගේ, ගැහැණු සතුන් දෙදෙනෙකුගේ හා පැටියෙකුට අයත් අස්ථි සාධක තිබිණි. මේ පොසිල අතර, ඌර්වස්ථි කොටස්, ජංඝාස්ථි කොටස්, අත්වල පහළ කොටස්වල අස්ථි, කොඳු ඇට කොටස් හා අත්වල හා පාදවල අස්ථා ආදිය ඇතුළත් විය.

බැලූ බැල්මට මෙම වානරයා තරමක් හෝ සමාන වන්නේ අද වෙසෙන බොනොබෝ නම් වානරයකු යා සමානය. මීටරයක් පමණ උස බව සැලකෙන මේ සත්ත්වයාගේ බර සෙසු මහා වානරයන්ගේ උසට වඩා අඩුය. පිරිමි සතෙකු කිලෝග‍්‍රෑම් 31ක් පමණද, ගැහැණු සතෙකු කිලෝග‍්‍රෑම් 18ක් පමණවන්නට ඇති බව ගණන් බලා ඇත. මෙම වානර විශේෂය Danuvius guggenmosi යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් නම් කර ඇත. ඔවුන් අදින් වසර මිලියන 11.62 ක් පමණ කාලයකට පෙර ජීවත් වූ බවට කාලනිර්ණය කර ඇත.

මෙම වානර පොසිලවල හමු වූ මනාව ආරක්ෂා වූ තත්ත්වයක පැවතිණි. එබැවින් මෙම වානරයින් ගමන් කරන ආකාරය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීමට පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් වැලමිට, දණහිස, උකුල හා වලලූකර වැනි ක‍්‍රියාකාරිත්වය අතින් වැදගත් ශරීර සන්ධි පිළිබඳව විශේෂයෙන් විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබී ඇත. මෙතරම් පැරණි කාලයකට අයත් එකම ඇටසැකිල්ලකින් එවැනි අවස්ථාවක් ලැබී ඇත්තේ පළමුවන අවස්ථාවට බව දක්වා ඇත.


(ඡායාරූපය - නව වානරයා මෙබඳු වන්නට ඇත)


පොසිලවල දැකිය හැකි වූ ලක්ෂණ


මෙම වානර පොසිලවල කොඳු ඇට හා පාදයේ අස්ථිවලින් පෙනී ගොස් ඇත්තේ එම සතුන් පාද දෙකකින් ගමන් කළ හෙවත් ද්විපාද චරණයේ යෙදුණු බවයි. ඇතැම් කොඳු ඇටවල හැඩය මගින් පෙනී ගොස් තිබුණේ අදාළ වානරයාගේ දේහයේ යටිකයේ පසු පෙදෙස (lower back) දිගු හා නම්‍යශීලී එකක් වූ බවයි. ඒ උඩු කයෙහි බර උකුල මත දරාගනිමිනි. එම ස්වභාවය නූතන මානවයාට පවා සිය සමබරතාවය රැුකගෙන දෙපාවලින් ඍජුව ඇවිද යෑමට උපකාර වන ලක්ෂණයකි. එමෙන්ම මෙම වානරයන්ගේ දණහිස් හා වලලූකරවලද බර දරාගැනීමට හැකි අනුවර්තන දැකිය හැකි බවද පෙන්වා දී තිබේ. මේ ලක්ෂණ අනුව එම වානරයා සිරිතක් වශයෙන් තම දෙපා මත සිය ශරීරයේ බර දරාගනිමින් ඍජුව ගමන් කළ බව හෙවත් ද්විපාද චරණයක යෙදුණු බව මෙම පර්යේෂකයන් විසින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මෙම වානරයාගේ අත් හෙවත් පූර්ව ගාත‍්‍රාවල මෙන්ම පාදවලද දැකිය හැකි වී තිබෙන්නේ වඩා වෙනස් තත්ත්වයකි. ඒවායේ දැකිය හැකි වී තිබෙන්නේ ගස්වල අතු තදින් අල්ලා ගැනීමට ගැලපෙන අනුහුරු වීම්ය. ඒ අනුව මෙම වානරයින් අපූරු හා ඔවුන්ටම ආවේණික වූ ගමන් විලාශයක් දක්වන්නට ඇති බව මේ විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ අනුව මෙම වානරයන් රුක්වාසී ජීවිතයක් ගත කළා විය හැකි අතර, දෙපාවලින් පමණක් ගමන් කරමින් සිය ශක්තිමත් අත්වලින් අතුවල එල්ලීමට හැකියාව තිබූ බව ඔවුන්ගේ අදහස වෙයි.


ද්විපාද චරණයේ ආරම්භය


ද්විපාද චරණයේ ආරම්භ වීම පරිණාමයේ වැදගත් අවස්ථාවක් වන්නේ එමගින් තවත් කටයුතු ගණනාවක් සඳහා අවස්ථාව සැලසුණු බැවිනි. යමක් ඇල්ලීමට, විමසා බැලීමට, විවිධ මෙවලම් භාවිතයට මෙන්ම යමක් රුගෙන යාම සඳහාද අවස්ථාව ලැබෙන්නේ මෙම පරිණාමීය ඉදිරි පියවරත් සමඟය.

මේ නව අධ්‍යයන වාර්තාවෙන් යෝජනා කරනු ලබන්නේ ද්විපාද චරණයේ හැකියාව ලැබෙන්නේ මානවයින් හා මහා වානරයින්ගේ පොදු පූර්වජයෙකු ගෙන් බවයි. ඒ අනුව ද්විපාද චරණය හෙවත් දෙපා මත ඇවිදීම මුලින්ම පරිණාමය වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර ගස් මත විසූ වානරයෙකුගෙනි. එම දිනය මෙතෙක් විශ්වාස කළ කාලයට වඩා වසර මිලියන 5ත් 6ත් අතර කාලයක් පැරණිය. එමෙන්ම ඒ හැකියාව ලැබී තිබෙන පොදු පූර්වජයා වාසය කර තිබෙන්නේ මෙතෙක් විශ්වාස කළ ආකාරයට අප‍්‍රිකාවේ නොව, යුරෝපයේය. එය ද මෙතෙක් තිබූ පුළුල් විශ්වාසය අභියෝගයට ලක්කරන්නකි.

මේ අනුව මහා වානරයන් හා ආදිමානවයින්ගේ පරිණාමය පිළිබඳව මෙන්ම, දිවි පාද චරණය ආදිමානව ලක්ෂණයක්ය යන අදහස මෙම අධ්‍යයනයෙන් අභියෝගයකට ලක් කර ඇත. මෙහිදී යෝජනා වී ඇති පරිදි ද්විපාද චරණය ආදිමානව විශේෂ බිහිවීමට පළමුව සිදුවී තිබේ නම් එය වැදගත්ය. ද්විපාද චරණය ආදිමානවයන්ට සුවිශේෂී වූ හා ආදිමානව ස්වභාවය තීරණය කරන ලක්ෂණයක් ලෙස මේ වන විට සැලකේ. ඉහත දක්වා ඇති පරිදි එම මතය හා දිනවකවානු මෙම නව අධ්‍යයනය මගින් ප‍්‍රශ්න කර ඇත. ඒ සඳහා කෙබඳු පිළිගැනීමක් ලැබෙනු ඇතිද?


නව අදහස් පිළිගැනීමට ලක්වේද?


කෙසේ වෙතත් මේ මතය සමඟ සියලූ විද්‍යාඥයින් එකඟ නොවන බවක් පෙනෙයි. නිදසුනක් ලෙස ගතහොත් දිගු හා නම්‍යශීලී යටිකය ප‍්‍රදේශයක් තිබූ බව පැවසීමට තරම් ප‍්‍රමාණවත් කොඳු ඇට කොටස් හමු වී නැති බව සමහර විද්‍යාඥයින් පෙන්වා දී ඇත. එමෙන්ම අස්ථිවල හැඩය පමණක් පදනම් කරගෙන වානරයින් ගමන් කරන ආකාරය ගැන අදහස් දැක්වීම අපහසු බව ද තවත් විද්‍යාඥයින් පිරිසක් විසින් පෙන්වා දී ඇත. අනෙක් අතට මේ වානර විශේෂය වඩා පැරණි වූ පමණින් ආදිමානවයින්ගේ ඍජු පරිණාමීය රේඛාවට එම විශේෂය අයත් වී යැයිතීරණය කිරීම නැණවත් තීරණයක් විය හැකිද යන්න තවත් විද්‍යාඥයින් විසින් ප‍්‍රශ්න කර තිබෙයි. එක් අයෙක් පවසා ඇත්තේ ඇතැම් විට වානරයින් අතර ද්විපාද චරණය එක් වරක් නොව කීපවරකදී පරිණාමය වන්නට ඇති බවයි. එසේ ද්විපාද චරණයක් දැක්වීමට මේ වානරයින්ට යම් අවශ්‍යතාවයක් ඇති වන්නට ඇත.

මේ අනුව පෙනී යන්නේ ඉදිරි පර්යේෂණ මත මේ වානර විශේෂය අයත්වන ස්ථානය වඩා නිවැරදිව තීරණය වනු ඇති බවයි. එය පිළිගනු ලැබුණහොත් එය පුරාමානව විද්‍යාව හා පරිණාමය සම්බන්ධව වැදගත් මඟ සලකුණක් වනු ඇත. මේ අනුව මානවයින් හා මහා වානරයින් අතර ඇති අඩු පුරුක (missing link) මෙම වානරයා ද යන්න තීරණය සඳහා තවත් කල් ගත විය හැකිය.


මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1731-0

Thursday, October 31, 2019

ඉදිරියේදී භාවිතයෙන් ඉවත්වන ප්ලාස්ටික් නිෂ්පාදන

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.10.30, පි. ? (Vidusara)
Not Available Online

ලෝකය තවදුරටත් හරිතවත් නොවේ!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2019.09.18, පි. 11 (Vidusara)

Vidusara - Not available online


ලෝකය පුරා සැලකිය යුතු ප‍්‍රදේශයක ශාක වර්ධනය අඩුවෙමින් පවතී. එනම්, ලෝකයේ හරිතවත් බව තවදුරටත් ඉහළ යන්නේ නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකය තවදුරටත් හරිතවත් වීම අදින් වසර විස්සකට පමණ පෙර කාලයකදී නැවතී තිබෙයි. ඉහතින් සරලව සඳහන් කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේදී Science Advances සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් හෙළි දරව් වී තිබෙන කරුණුය.

වනාන්තර සහ වෙනත් පරිසර පද්ධති ඇතුළු හරිතවත් බවට හේතුවන ශාක වැස්මෙන් යුක්ත බොහෝ පරිසර පද්ධති සේවා සපයයි. ජෛව විවිධත්වය සඳහා වාසස්ථාන සැලසීම, ඔක්සිජන් සැපයීම, ආහාර නිෂ්පාදනය කරන ප‍්‍රාථමික නිෂ්පාදකයා ලෙස, සෞන්දර්යාත්මක බව යනාදි විවිධ ප‍්‍රයෝජනවලට අමතරව, දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද මෙම පරිසර පද්ධති වැදගත් වෙයි. එම පරිසර පද්ධති සේවා අඛණ්ඩව පවත්වාගැනීම සඳහා මෙම හරිතවත් පරිසර පද්ධතිවල පැවැත්ම හා වර්ධනය අත්‍යවශ්‍යය.

එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේදී චන්ද්‍රිකා ඡුායාරූප යොදාගනිමින් ලෝකයේ හරිතවත් බව වෙනස් වූ ආකරය පිළිබඳව කරුණු විමසා තිබෙයි. 1982 සිට 1998 වර්ෂය දක්වා වූ කාලයේදී ලෝකය පුරා වෘක්ෂලතා ආවරණයේ වර්ධනය වීමේ ප‍්‍රවණතාවයක් ලෝකය පුරාම පාහේ දැකිය හැකි වී ඇත. එහෙත් අදින් වසර විස්සකට පමණ පෙර එම තත්ත්වය හදිසියේම වාගේ නැවතී ඇත. එතැන් සිට ලෝකයේ වෘක්ෂලතා දැකිය හැකි භූ දර්ශනවලින් 59%ක් පමණ ප‍්‍රමාණයක දැකිය හැකි වූයේ දුඹුරු පැහැවීමේ ප‍්‍රවණතාවයකි හෙවත් එය ශාක වර්ධනයේ අඩුවීමකි.

මෙම තත්ත්වය අධ්‍ය්‍යනය සඳහා ඔවුන් ශාකවල රුක්වලලූ යොදාගනිමින්ද ශාක වර්ධනය පිළිබඳ මිණුම් කටයුතු සිදුකර ඇත. එහිදී පෙනීගොස් තිබෙන ආකාරයට, 1998 වර්ෂයෙන් පසුව ගෙවුණු කාලයේදී ලෝකයේ අධ්‍යයනය කළ ස්ථාන 171ක් අතරින් 100ක පමණ ශාකවල රුක්වලලූවල පළලෙහි සාමාන්‍යය අඩු වී තිබෙයි. ඒ 1998ට පෙර එවැනි අඩුවීමක් දැකිය හැකි වී නැත. මෙයින්ද ශාක වර්ධනයර අඩුවීමක් සිදු වී තිබෙන බව තහවුරු වී ඇත.

මෙමගින් පැවසෙන්නේ ලෝකයේ සෑම ප‍්‍රදේශයකම පාහේ දැකිය හැකි හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව නොවෙයි. නිදසුනක් ලෙස අධික ශීතල ස්වභාවය අඩු වී යාමත් සමඟ ආක්ටික් ප‍්‍රදේශය හරිතවත් වෙමින් පවතී. එවැනි තවත් හරිතවත් බව වර්ධනය වෙමින් පවත්නා වෙනත් කලාපද ලෝකයේ පවතී. එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ලෝකයේ දැකිය හැකි හරිතවත් ප‍්‍රදේශවලින් අඩකට අධික ගණනක හරිතවත් බව අඩුවෙමින් පවත්නා බව හෙවත් ශාක වර්ධනය අඩු වෙමින් ඇති බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලෝකයේ වෘක්ෂලතා ආවරණයෙහි ගෝලීය අඩුවීම සිදු වී ඇති බව වාර්තාගත කරන පළමු අධ්‍යයනය මෙය නොවෙයි. 2010 වර්ෂයේදී Science සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව ලෝකයේ භෞමික පරිසරයෙහි ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය (net primary production) 1982 සිට 1999 දක්වා කාලයේදී වර්ධනය වී ඇත. එහෙත් 2000-2009 අතර කාලයේදී මෙම අගය අඩු වී තිබෙයි. ඒ සඳහා බලපා ඇත්තේ ලෝකයේ දකුණු අර්ධගෝලයේ පැවති වියළි කාලගුණ තත්ත්වයයි. මෙම ශුද්ධ ප‍්‍රාථමික නිෂ්පාදනය මගින් ශාකවල ජෛව ස්කන්ධය ලෙස තැන්පත් වන වායුගෝලීය කාබන් ප‍්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගත හැකිය. (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.1192666)

බලපාන හේතුව


ශාක වර්ධනය මෙසේ අඩු වී යෑම සඳහා හේතු වී තිබෙන බවට මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙන කරුණු මෙහිදී වැදගත් වෙයි. ඒ අනුව, වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය හෙවත් තෙතමනය අඩු වීම මෙම තත්ත්වය සඳහා හේතු වී තිබෙයි. එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ දේශගුණ වෙනස් වීම නිසාය.

මෙම තත්ත්වය වාෂ්ප පීඩන ඌනතාවය (vapor pressure deficit) ලෙසින් හඳුන්වනු ලබන අගය හා සම්බන්ධ විය හැකි බව දේශගුණ වාර්තා අනුව පැහැදිලි කර තිබෙයි. මෙමගින් අදහස් වන්නේ වායුගෝලයේ උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවත්නා විට ඇති කරනු ලබන පීඩනය හා ඇත්ත වශයෙන්ම වායුගෝලයේ පවත්නා පීඩනය වෙනසයි. වායුගෝලයේ සත්‍ය වශයෙන්ම පවත්නා ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වන විට මෙම ඌනතාවය ඉහළ යයි. මෙම ඌනතාවය ඉහළ නම් එය වායුගෝලීය නියඟයක් (atmospheric drought) ලෙස හඳුන්වනු ලැබෙයි. එවැනි අවස්ථාවකදී ශාක පත‍්‍රවල වායු හුවමාරුව සිදුකරන පූටිකා විවර වැසී යන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රභාසංස්ලේෂණ වේගය අඩු වෙයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ශාකවල වර්ධනය අඩු වීමය.

මෙම අධ්‍යයනය සඳහා ජගත් මට්ටමේ දේශගුණ දත්ත කට්ටල හතරක් පමණ සම්බන්ධ කරගෙන තිබෙයි. එහිදී හෙළි ව තිබෙන්නේ ලෝකයේ වෘක්ෂලතා ආවරණය දැකිය හැකි ප‍්‍රදේශ අතරින් 53%ක පමණ වාෂ්ප පීඩන ඌනතාවයේ කැපී පෙනෙන වර්ධනයක් 1990 දශකයෙන් පසුව දැකිය හැකි බවයි. එනම් වියළි වීමේ ස්වභාවයකි. පෙර සඳහන් කරන ලද 2010 අධ්‍යයනෙය්දී ද මෙම හරිතවත් බව නැවතීම හෝ අඩු වීම සඳහා හේතුව ලෙස වියළි ස්වභාවයක් පැවතීම හෙවත් ජලය හා සම්බන්ධ කරුණක් විය හැකි බව යෝජනා කර තිබිණි.

මෙසේ වායුගෝලයේ දැකිය හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වීමට බලපාන සාධක කිහිපයක් දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ ඒවාය. නිදසුනක් ලෙස සාගරය හරහා හමා එන සුළගේ වේගය අඩු වී තිබෙන අතර එහි ප‍්‍රතිඵලය වන්නේ ජලවාෂ්ප ගොඩබිම් ප‍්‍රදේශය හරහා ගමන් කිරීම අඩු වීමයි. මේ අනුව ශාක ආවරණය සහිත ප‍්‍රදේශවලට ලැබෙන ජලවාෂ්ප ප‍්‍රමාණය අඩු වෙයි. එමෙන්ම මෙම පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි, ඉහළ යන උෂ්ණත්වය නිසාද යම් බලපෑමක් සිදුවෙයි. කිසියම් උෂ්ණත්වයකදී වායුගෝලයට රදවා ගැත හැකි උපරිම ජලවාෂ්ප ප‍්‍රමාණයක් පවතී. එහෙත් භූමියේ උෂ්ණත්වය ඉහළ යන විට වායුගෝලයට රදවා ගත හැකි ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යයි. එවිට මෙහි සඳහන් වන වාෂ්ප පීඩන උෳනතාවය ද ඉහළ යයි.

මෙම තත්ත්වය අද වන විට බෙහෙවින් අඩු වී තිබෙන දේශගුණ සංශයවාදීන්ගේ තර්ක තවදුරටත් අසරණ කරන්නකි. දේශගුණ වෙනස් වීම, මිහිතලය උණුසුම් වීම නිදා ඇති වන බලපෑම් සැහැල්ලූ කිරීමට ඔවුන් දක්වන එක් තර්කයක් වන්නේ කාබන් ඩයොක්සයිඞ් වායුව ඉහළ ප‍්‍රමාණවලින් ඇති විට ශාක වර්ධනය වේගවත් වනු ඇති බවයි. මේ තත්ත්වය ලෝකයේ ආහාර සැපයුම සඳහා සුභවාදීව බලපාන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් මෙම පර්යෛෂණයෙන් පෙනෙන්නේ එවැන්නක් සිදුනොවන බවයි.

මෙයට හේතුව විද්‍යාඥයන් විසින් පැහැදිලි කර තිබෙන්නකි. ඉහළ යන කාබන් ඩයොකසයිඞ් වායු සාන්ද්‍රණය, ශාකවලට ඵලදායී ලෙස බලපාන බව සත්‍යයකි. ඒ ශාකවල ආහාර නිෂ්පාදනය හෙවත් අස්වැන්න ඉහළ නැංවීම සඳහාය. එහෙත් එම සාධනීය බලපෑම දැකිය හැක්කේ කාබන් ඩයොක්සයිඞ් වායුව යම් සාන්ද්‍රණයක් දක්වා ඉහළ යනතෙක් පමණි. ශාකවල ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා බලපාන සාධක අතර කාබන් ඩයොක්සයිඞ් යනු එක් සාධකයක් පමණකි. ඉහළ යන උෂ්ණත්වය, වෙනස්වන කාලගුණ තත්ත්ව, ජල සුලභතාවයේ ඇති වන වෙනස්කම් මෙහිදී බලපාන සෙසු සාධක අතර වෙයි.

එබැවින් බොහෝ පර්යේෂකයන් පෙන්වා දී තිබෙන පරිදි සමස්තයක් ලෙස ගත් විට ලෝකයේ වෘක්ෂලතා අතරින් වැඩි ප‍්‍රමාණයකට දේශගුණ වෙනස් වීම නිෂේධනීය ලෙස බලපානු ඇති බව මෙම අධ්‍යයනයෙන්ද යළිත් පැහැදිලි කර ඇත. මීට කෘෂි භෝගද ඇතුළත් වෙයි. මෙම අධ්‍යයනය මගින් පෙනෙන්නේ මෙම තත්ත්වය අද වන විටද සිදුවෙමින් පවත්නා බවයි.


අනාගතයට අභියෝගයක්?


දේශගුණ ආකෘතිවලින් පෙන්වා දී තිබෙන පරිදි ලෝකය උණුසුම් වන විට ඉහත සඳහන් වාෂ්ප පීඩන ඌනතාවය දිගින් දිගටම වර්ධනය විය හැකිය. විශේෂයෙන් එළැඹෙන දශකවලදීද මෙම වායුගෝලීය නියඟය තවදුරටත් වර්ධනය වනු ඇත. පෙන්වා දී තිබෙන පරිදි එම තත්ත්වය මෙම ශතවර්ෂය අවසන් වන තුරුම පාහේ පැවතිය හැකිය. ඒ අනුව, එය ශාකවල වර්ධනය සඳහා සැලකිය යුතු නිශේධනීය බලපෑමක් ඇති කළ හැකිය.

මෙහි තිබෙන තවත් වැදගත්කමක් වන්නේ දේශගුණ වෙනස් වීම ශාකවල වර්ධනයට බලපාන අතර අඩුවෙමින් යන ශාක වර්ධන වේගය දේශගුණ වෙනස් වීමේ වේගයට බලපෑ හැකි වීමයි. වනාත්තර හා වෙනත් භූදර්ශනවල පවත්නා ශාක යනු වායුගෝලයෙන් කාබන් ඉවත් කර සංචිත කළ හැකි පද්ධතිය. එබැවින් ඒවා දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා වැදගත් වන්නකි. එහෙත් ශාක වර්ධනය අඩු වීම යනු, කාබන් සංචිත කිරීම අඩුවීමකි. මෙය දේශගුණ වෙනස් වීම හා සම්බන්ධව පැහැදිලි අභියෝගයක් වනු ඇත.

මෑතකදී ප‍්‍රකාශයට පත් එක් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබුණේ හෙක්ටයාර බිලියන 0.9ක ප‍්‍රමාණයක වනාන්තර වගා කළ හැකි නම්, මිනිසුන් විසින් නිපදවූ මුළු හරිතාගාර වායු ප‍්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ ඉවත් කිරීමට හැකි බවයි (මූලාශ‍්‍රය - Science, DOI: 10.1126/science.aax0848). එහෙත් ලෝකයේ ශාක වර්ධනයේ ගැටලූවක් සිදුවන්නේ නම් දේශගුණ වෙනස් වීම වැළැක්වීමේ අරමුණින් සිදුකරන වන වගාවල ඵලදායී බව අඩු වනු ඇති බව පැහැදිලිය.

එබැවින් වායුගෝලයේ තෙතමනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු සාධකයක් බව පැහැදිලිය.

මූලාශ‍්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aax1396

පැරණිතම ආදිමානවයාගේ හිස්කබලක් සොයාගැනීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.09.11, පි. 11 සහ 20 (Vidusara)

Vidusara - Not available online


නූතන මානවයාගේ මෙතෙක් දන්නා පැරණිතම පූර්වජයා ලෙස සැලකිය හැකි ආදිමානවයකුට අයත් හිස්කබලක් අප‍්‍රිකාවෙන් සොයාගැනීම පිළිබඳව පසුගිය මාසයේ වාර්තා විය. මෙය මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් හා දුර්ලභ සොයාගැනීමක් වනවා පමණක් නොව, එහි පැරණිකම පිළිබඳව සලකන විට ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන පොසිලයක් බවද පෙනෙයි.

අප‍්‍රිකා මහාද්වීපයේ ඉතියෝපියාවේ පිහිටා තිබෙන වොර්සානෝ-මිල් (Woranso-Mille) නම් ප‍්‍රදේශයේ වයඹ දිගින් පිහිටි ස්ථානයක කැනීම් අතරතුර 2016 වර්ෂයේදී එක් පර්යේෂකයෙකුට ප‍්‍රදේශවාසියෙකු විසින් ගෙනැවිත් දුන් ආදිමානවයකුට අයත් උඩු හනු අස්ථියකින් මෙම සොයාගැනීම පිළිබඳ කතාව ආරම්භ වෙයි. එම ලැබුණු ස්ථානය වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසුව උඩු හනුව ලැබුණු තැන සිට මීටර් 3ක් පමණ ඔබ්බෙන් තිබී හිස්කබලක කොටස් ලැබී ඇත. මේ පිළිබඳව සිදුකරන ලද වැඩිදුර විශ්ලේෂණවලින් එහි වැදගත්කම හෙළි වී තිබෙයි.


පැරණිම ආදිමානව පොසිලය?

මෙම හිස්කබල Australopithecus anamensis විශේෂයට අයත් ආදිමානවයකුගේ බවට විද්‍යාඥයින් විසින් නිගමනය කර ඇත්තේ මූලික වශයෙන් එහි රදනක දත, උඩුහනුව හා ශංඛක අස්ථිය (temporal bone) අස්ථියෙහි ව්‍යුහය හා වෙනත් ලක්ෂණ පදනම් කරගනිමිනි. එම හිස්කබලේ දින වකවානු අනුව එම ආදිමානවයා අදින් වසර මිලියන 3.8ක් පමණ කාලයකට පෙර ජීවත් වූ අයෙකි. රසායනික වශයෙන් එකිනෙකට සම්බන්ධිත ගිනි කඳු ස්තර (chemically correlated volcanic layers) හා පුරාචුම්බක ස්තරායනය (palaeomagnetic stratigraphy) හා දින නියම කර තිබෙන ගිනි කඳු අළුවලින් සැදුණු පාෂාණ (tuff) පිළිබඳ දත්ත අනුව මෙම කාලනිර්ණය සිදුකර ඇත.

අදින් වසර මිලියන 4ත් 2ත් අතර කාලයේදී අප‍්‍රිකාවේ වාසය කළ මූලික ආදි මානව විශේෂය ලෙස සැලකෙන්නේ මෙම Australopithecus ගනයට අයත් ආදිමානවයන්ය. ඔවුන් අප මෙන්ම ඍජුව ගමන් කළ අතර එහෙත් මොළයේ ප‍්‍රමාණය නූතන මානවයාට වඩා කුඩා විය. Australopithecus ගනයට අයත් විශේෂ ගණනාවක් පිළිබඳ පොසිල සාධක කෙන්යාව හා ඉතියෝපියාව වැනි රටවලින් ලැබී තිබෙයි. ලෝක ප‍්‍රකට ආදිමානව පොසිලයක් වන ලූසී අයත් වන්නේ මෙම ගනයටම අයත් වන Australopithecus afarensis විශේෂයටය.

1995 වර්ෂයේදී මුලින්ම විස්තර කරන ලද, අප මාතෘකා කරගත් පොසිලය අයත් Australopithecus anamensis විශේෂය මෙතෙක් හෙළිදරව් වී තිබෙන වඩාත් පැරණිම ආදිමානව විශේෂයට අයත් පොසිලය වෙයි. ඔවුන් වාසය කර තිබෙන්නේ අදින් වසර මිලියන 4.2ත් 3.9ත් අතර කාලයේදී බව මෙතෙක් පිළිගැනිණි. මෙම ආදිමානව විශේෂය රුක්වාසී ජීවීතයෙන් ඉවත්ව දෙපා මත සංචරණය ආරම්භ කළ සමයේ විසූවන් බවටද විශ්වාස කරනු ලැබෙයි. එහෙත් ඔවුන්ගේ මුහුණ වානරයින්ගේ මෙන් නෙරා තිබීම, ශක්තිමත් හනු තිබීම, ප‍්‍රමාණයෙන් කුඩා මොළයක් තිබීම (එය නූතන මානවයකුගේ මොළය මෙන් හතරෙන් එකක් තරම්ය) වැනි ලක්ෂණ විශේෂයක් ගනියි.

එමෙන්ම මෙම විශේෂයට අයත් ආදිමානවයෙකුගේ මුහුණ කෙසේ වූයේද යන්න ගැන අදහසක් ලබාගැනීමට හැකි වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි. මෙම හිස්කබල යොදාගනිමින් මුහුණ ප‍්‍රතිනිර්මාණය කිරීමටද හැකියාව ලැබී තිබෙයි. පිරිමියෙකුට අයත් බව සිතිය හැකි වූ මෙම හිස්කකබල හිමි තැනැත්තා වියපත්ව මියගිය අයෙකි. එලෙස නිගමනය කිරීමට හේතුව වන්නේ දත් සැලකිය යුතු තරම් අධික ලෙස ගෙවී ගොස් තිබීමය.


පරිණාමය සඳහා වැදගත්කම


මෙම අනාවරණයත් සමඟ පරිණාමය පිළිබඳ මෙතෙක් පිළිගත් මතයකට යම් අභියෝගයක්ද එල්ල වී තිබෙයි.
සාමාන්‍යයෙන් පිළිගැනෙන පරිදි නූතන මානවයා අයත් වන අදින් වසර මිලියන 2.8කට පමණ පෙර කාලයකදී බිහි වූ බව සැලකෙන Homo ගනයේ මානවයින්ට පූර්වජයා වූයේ සුප‍්‍රකට ලූසී අයත් වන Australopithecus afarensis විශේෂයයි. එම විශේෂයේ පොසිල අතර වඩාත් මෑත ඒවා අදින් වසර මිලියන 3ක් පමණ කාලයකට අයත්ය. එය Homo ගනයේ මානවයින්ගේ සම්භවය හා ගැලපෙයි.

එහෙත් එම Australopithecus afarensis විශේෂයේ ආදිමානවයින්ගේ පූර්වජයා කවරෙක් වීද යන්න ගැන පොදු එකඟතාවයක් තිබුනේ නැත. එහෙත් මෙම ලිපියට මාතෘකා වූ පොසිලය අයත් Australopithecus anamensis විශේෂය Australopithecus afarensis විශේෂයේ පූර්වජයා බවට බොහෝ මානව විද්‍යාඥයින්ගේ මතය විය. එයට හේතුව වූයේ Australopithecus anamensis වඩා පැරණි වීමත් වඩා වානර ස්වරූපයත් ගැනීමත්ය. එසේ වූයේ නම් එම විශේෂ දෙක එකම කාලයක විසීමක් සිදුවිය නොහැකිය.

කෙසේ වෙතත් ඉතියෝපියාවෙන් මෙහි සඳහන් වන හිස්කබල සෙයාගැනීමත් සමඟ මේ පිළිබඳව යළිත් සිතා බැලීමට සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. මෙම නව සොයාගැනීමට අනුව Australopithecus anamensis ආදිමානවයාගේ වානර ලක්ෂණ අඩුවීමට පටන් ගෙන තිබීම සැලකිය යුතු කරුණකි. එම විශේෂයේ රදනක දත් කුඩා වීමට පටන් ගෙන තිබෙයි. රදනක දත් විශාල වීම වඩා පැරණි ආදිමානව පොසිලවල දැකිය හැකි විය. එමෙන්ම හා කම්මුල් අස්ථි කැපී පෙනෙන්නට ගෙන තිබිණි.

එබැවින් දැන් මෙම හිස්කබල සෙයාගැනීමත් සමඟ මෙම විශේෂ දෙක අතර කලින් සිතුවාට වඩා වෙනස්කම් තිබෙන බව දැන් හෙළි වී ඇත. එම වෙනස්කම් මෙන්ම මෙම හිස්කබලෙහි දින නිර්ණය වන වසර මිලියන 3.8ක් යන්නට අනුව පෙනෙන්නේ එම විශේෂ දෙක අවම වශයෙන් වසර 100,000ක පමණ කාලයක් එකට ජීවත් වී ඇති බවයි. ඒ අනුව Australopithecus afarensis විශේෂයේ පූර්වජයා ලෙස Australopithecus anamensis සැලකිය හැකිද යන්න ගැටලූවක් වෙයි. 

කෙසේ වෙතත් මේ පිළිබඳව වඩා තාර්කික පැහැදිලි කිරීමක් මෙම විද්‍යාඥයින් විසින්ම ඉදිරිපත් කර තිබෙයි. ඒ අනුව, Australopithecus anamensis විශේෂයේ ජීවීන් අතරින් වෙන්ව ගිය ගහනයක් Australopithecus afarensis බිහි වීමට හේතු වන්නට ඇත. අනෙක් කොටස තවදුරටත් Australopithecus anamensis ලෙස පැවත එන්නට ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමට හැකියාව තිබෙන භූ විෂමතාවයක් එකල තිබූ බවට ඕනෑ තරම් සාධක පවතී. දැඩි බෑවුම් සහිත කඳු, ගිනි කඳු හා ලාවා ගලායෑම් නිසා එකම විශේෂයක ගහන කිහිපයක් එකිනෙකාගෙන් හුදකලා වීමට හා පරිණාමය වීමට ඕනෑ තරම් අවස්ථා තිබී ඇත. එම විශේෂ දෙක එකම කාලයක විසීම සිදුවිය හැක්කේ එවැනි තත්ත්වයක් තුළය.

මේ අයුරින් Homo ගහනයේ පූර්වජයා හැකි ආදිමානව විශේෂ දෙකක් එක් කලක විසූ බවට සාධක හමුවීම නිසා එයින් කුමන විශේෂයක් Homo ගනයේ පූර්වජයා වීද යන්න නිගමනය කිරීම තරමක දුෂ්කර එකක් කරයි. මෙය පරිණාමය වඩා සංකීර්ණ එකක් කරන බවද පෙනෙයි. එමෙන්ම මේ පිළිබඳව දැනට ඇති සාධක මගින් අවසන් නිගමනයකට පැමිණීමට අපහසුය. 

කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය. මෙම හිස්කබල නිසා Australopithecus anamensis යනු මේ වන විට අප දන්නා පැරණිතම ආදිමානව විශේෂය බවට දැන් සැකයක් නැති තරම්ය. එබැවින් මෙම සොයාගැනීම මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් සොයාගැනීමකි.

මූලාශ‍්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1513-8 හා 10.1038/s41586-019-1514-7

Thursday, October 10, 2019

දුම්රියේ අගය... (බස් කතා 11)

දිනය ඔක්තෝබර් 9 බදාදා හෙවත් ඊයේය. වෙලාව සවස 4.30ට පමණ ඇත. 138 හෝමාගම පුද්ගලික බසයක පැමිණි මම දෙල්කඳ හන්දියෙන් බසින්නට සූදානම් වීමි. ඉදිරි දොරට ළඟා වන මට රියැදුරු හා කොන්දොස්තරගේ කතාබහක් ඇසිණි.

රියැදුරු - "මොකද්ද බං මේ වෙලා තියෙන්නෙ... මේ වෙලාවෙත් සීට් ගානටවත් නැතිව දුවන්න වෙලානෙ"

කොන්දොස්තර - "ආපහු කෝච්චි දුවන්න පටන් අරන්නෙ."

රියැදුරු - "ඒ වගෙයි. පහුගිය දවස් ටිකේ බස් එකේ ගිය මිනිස්සු ආපහු කෝච්චියට ගිහින්"

ටවුන්හෝල් සිට දෙල්කඳ දක්වාම එම බසයේ අසුන් ගණනට වත් මගීන් සිටියේ නැත. ඔවුන්ට අනුව එයට හේතුව දුම්රිය වර්ජනය නිමාවීමත් සමඟ මගීන් ආපසු දුම්රිය වෙත යොමු වීමය.


ධනේෂ් විසුම්පෙරුම

Saturday, August 31, 2019

ඇමසන් වනය ගිනි තැබුවේ එරට වැසියන්මද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.08.28, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2019/08/28/feature4.html




දකුණු ඇමෙරිකාවේ පිහිටා තිබෙන ඇමසන් වනාන්තරයේ පසුගිය සති කිහිපයක කාලය තුළ ඇති වී තිබෙන මහා වන ගිනි අද වන විට ලෝකයේ ම අවධානය දිනාගැනීමට සමත් ව තිබෙයි. ප්‍රධාන වශයෙන් මේ ගිනි ඇති වී තිබෙන්නේ බ්‍රසීලයේ ය. එහෙත් බොලීවියාව හා තවත් රටවලට අයත් ඇමසන් වනාන්තර ප්‍රදේශ ද මේ ගින්නට ගොදුරු වී ඇත. මේ නිසා ඇති වූ දුමාරයෙන් බ්‍රසීලයේ ප්‍රධාන නගරයක්‌ වන සාඕ පවුලෝ නගරය දිවා කාලයේ දී අඳුරු වීම සිදු වූයේ පසුගිය සතියේ දී ය.

ලෝකයේ විශාලතම වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ කැළෑ ගිනි තබනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇති ව ය. එමෙන් ම කැණීම් කරන්නෝ ද වනාන්තර එළි පෙහෙළි කරන අතර ගිනි තැබීම්වලට දායක වෙති. විශේෂයෙන් වර්ෂයේ මැද භාගයේ දී එහි පවතින වියළි කාලගුණ තත්ත්වය මේ ගිනි උග්‍ර වීමට බලපායි. කෙසේ වෙතත් 2019 වර්ෂයේ සිදු වූ තරම් වන ගිනි තැබීම් වෙනත් වර්ෂවල නො පැවතීම විශේෂ තත්ත්වයකි.

මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව මේ වර්ෂයේ වාර්තා වී තිබෙන වන ගිනි ප්‍රමාණය 75,000ක්‌ පමණ වෙයි. 2018 වර්ෂයේ දී වාර්තා වූ වන ගිනි ගණන වූ 40,000ක ප්‍රමාණයට වඩා මේ අගය 85%කට වඩා අධික බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පෙනී ගොස්‌ ඇත. ඒ අනුව ඇමසන් වනයේ වන ගිනිවල කැපී පෙනෙන වර්ධනයක්‌ මේ වර්ෂයේ දැකිය හැකි ය.

මේ තත්ත්වය ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමු කරගැනීමට සමත් ව තිබූ බව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්‌සේ පළ වූ පුවත්වලින් අපි දුටුවෙමු. පෙනෙන ලෙස එයට මූලික හේතුව වන්නේ සමාජ මාධ්‍ය ඔස්‌සේ ඊට ලැබුණු ප්‍රචාරයයි. එපමණක්‌ නො ව මෙරට ක්‍රියාකාරීන් පිරිසක්‌ ඇමසන් වනාන්තරය රැකගැනීමට බ්‍රසීල රජයට බල කරමින් මෙරට පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය අසල විරෝධතාවක්‌ සංවිධානය කරන්නට සූදානම් වූ බවක්‌ ද සමාජ මාධ්‍යවල දැකිය හැකි විය. එමෙන් ම එහි ප්‍රතිඵලයක්‌ ලෙසට මෙරට බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි මෑත සිට සංචාරකයන් අතර ආකර්ෂණයට ලක්‌ ව තිබෙන ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ගින්නක්‌ ගැන ද සමාජ මාධ්‍යවල කතාවට ලක්‌ වී තිබිණි. අපේ රටේ පතන් බිම්වල වාර්ෂික ව ඇති වන වන ගිනි ගැන මින් පෙර එවැනි අවධානයක්‌ යොමු වූයේ කලාතුරකිනි.


ඇමසන් වනය හා ගින්නේ බලපෑම


ඇමසන් වනාන්තරය යනු වර්ග කිලෝ මීටර් මිලියන 6.7ක්‌ පමණ ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත වූ වනාන්තරයකි. එමෙන් ම අද වන විට ලෝකයේ වැඩි ම වන විනාශයක්‌ සිදු වන වනාන්තරය වන්නේ ද ඇමසන් වනාන්තරයයි. එයින් 20%ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට හෙළි පෙහෙළි කර තිබෙයි. එසේ ම ලෝකයේ ජෛව විවිධත්වයෙන් 10%කට පමණ වාසස්‌ථානය වන්නේ ද මේ ඇමසන් වනාන්තරයයි. එහි දැකිය හැකි ශාක අතරින් 75%ක්‌ පමණ ඇමසන් ප්‍රදේශයට පමණක්‌ සීමා වූ ඒවා ය. ඇමසන් ප්‍රදේශයේ ගලා යන ජල ප්‍රමාණය ලෝකයේ සමස්‌ත ජල ප්‍රමාණයෙන් 17%ත් 20%ත් අතර ප්‍රමාණයකි. ලෝකයේ ඔක්‌සිජන් ප්‍රමාණයෙන් 20%ක්‌ පමණ නිකුත් වන්නේ මේ වනාත්තරයේ තිබෙන ශාකවලින් බැවින් එය ලෝකයේ පෙනහළු ලෙස ඇතැම් විට හඳුන්වා දී තිබෙයි (මේ ජල ප්‍රමාණය හා ඔක්‌සිජන් පිළිබඳ සංඛ්‍යා ගැන මතභේද පවතී). අනෙක්‌ අතට මිලියන 34ක්‌ පමණ ජනතාවකට මේ භූමිය වාසස්‌ථාන වෙයි. ඒ මූලික වශයෙන් ගෝත්‍රික ජන කණ්‌ඩායම් ය. මේ වනාන්තරයේ සංචිත ව පවත්නා කාබන් ප්‍රමාණය ටොන් බිලියන 90ත් 140ත් අතර ප්‍රමාණයක්‌ පමණ බව ගණන් බලා ඇති අතර එය මිනිසුන් විසින් වසර 100ක්‌ වැනි කාලයක දී නිකුත් කරනු ලබන කාබන් ප්‍රමාණයට සමාන වෙයි. ඉහත කරුණු අනුව ඇමසන් වනාන්තරයේ වැදගත්කම පැහැදිලි ය. එමෙන් ම එම වනයේ සිදු වන ගිනිගැනීම්වලින් එහි ජෛව විවිධත්වයට හා පාරිසරික සේවාවලට බරපතළ බලපෑමක්‌ විය හැකි බව නොරහසකි.

මේ විනාශය වළක්‌වා ලීම පිළිබඳ ව වැඩි වගකීමක්‌ තිබෙන්නේ අදාළ රටවල බලධාරීන්ට ය. ඉන් වැඩි ප්‍රමාණයක්‌ සිදු වන්නේ බ්‍රසීලය තුළ නිසා එරට බලධාරීන් සතු වගකීම ඉහළ ය. බ්‍රසීල ජනාධිපතිවරයා මෑතක දී පවසා තිබූ කරුණක්‌ වූයේ මේ ගිනි තැබීම් පසුපස රාජ්‍ය නො වන සංවිධාන සිටිය හැකි බවට සැකයක්‌ ඇති බවයි. ඒ එවැනි සංවිධානවලට ලබා දෙනු ලබන අනුග්‍රහය සීමා කිරීමට එරට රජය තීරණය කර තිබෙන නිසා ය. කෙසේ වෙතත් ඒ සඳහා සාධක තමන්ට නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේ ය.

පසුගිය කාලයේ දී බ්‍රසීලයේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද පෙලඹවීම් මේ වන ගිනි ඉහළ යැම සඳහා දායක වූ බව බොහෝ පරිසර ක්‍රියාකාරීන්ගේ මතය විය. දැව හෙළන්නන් හා ගොවීන් විසින් වනාන්තරය හෙළි පෙහෙළි කිරීම දිරිමත් කිරීම සඳහා අන්ත දක්ෂsණාංශික අදහස්‌ දරන ඔහු කටයුතු කළ බව ඔවුන්ගේ අදහස වෙයි. මෙය ඇමසන් වනාන්තරයේ වන විනාශය වේගවත් කිරීම සඳහා දායක වූ බව ඔවුන්ගේ මතයයි. කෙසේ වෙතත් එරට රජය මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි. බ්‍රසීල ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කළ පරිදි ඔහු ඇමසන් වනාන්තරයට ගරු කරයි, එමෙන්ම හා ආදරය කරයිෘ


පරිභෝජනවාදයත් හේතුවක්‌


කෙසේ වෙතත් ඇමසන් වනාන්තරයේ ඇති වූ ගිනි තැබීම් එරට වැසියන් ම සිදු කළ හුදෙකලා සිදුවීම් පමණක්‌ ද? ඒවා පාලනය කිරීමේ වගකීම තිබෙන්නේ ඇමසන් ප්‍රදේශය පිහිටා තිබෙන රටවල බලධාරීන්ට පමණ ද? එය ඔවුන්ගේ ප්‍රශ්නයක්‌ පමණ ද? මෙය එරට නීතිය ක්‍රියාත්මක කිරීමේ තිබෙන ගැටලුවල ප්‍රතිඵලයක්‌ පමණක්‌ ද? නො එසේ නම්, එයට වඩා ගැඹුරට යන හේතු මේ සඳහා පවතින්නේ ද යන්න පිළිබඳ යම් සාකච්ඡාවක්‌ ද අද වන විට ඇති වී තිබෙයි.

මේ ගිනි තැබීම් සිදු වන්නේ මූලික වශයෙන් කෘෂිකාර්මික කටයුතු නිසා ය. ඉහත සඳහන් කළ පරිදි කෘෂිකර්මය හා ගව පට්‌ටි පාලනය ඇමසන් වනාන්තරයේ වන විනාශයට ප්‍රධාන හේතුවකි. ලෝකයේ ශීත කළ ගව මස්‌ අපනයනය කරන රටවල් අතර අංක එකේ පසු වන්නේ බ්‍රසීලයයි. එය මුළු අපනයනවලින් 18.6%කි. එමෙන් ම සෝයා බෝංචි අපනයනය කරන රටවල් අතරින් මුල් තැන ගන්නා බ්‍රසීලය ලෝකයේ මුළු සෝයා අපනයනවලින් 56%කට හිමිකම් කියයි.

පාරිසරික කණ්‌ඩායම් පෙන්වා දී තිබෙන පරිදි බ්‍රසීලයේ කෘෂි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම නිසා වනාන්තර, පාලනයකින් තොර ව එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම සිදු වෙයි. දැව හා ඛනිජ සඳහා ඇති ඉල්ලුම ද මීට දායක වී තිබෙයි. මේවා වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන්නේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව වැනි දියුණු රටවල් ය. ඒ රටවල පවත්නා පරිභෝජනවාදී පිළිවෙත් නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත.

එබැවින් උක්‌ත තත්ත්වය පාලනය කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් යම් හැකියාවක්‌ හා වගකීමක්‌ තිබෙන බව පවසන පරිසර සංවිධාන මේ සඳහා පුද්ගලයන් ලෙස ජනතාවට කළ හැකි කරුණු කිහිපයක්‌ දක්‌වයි. ඒ අනුව පාරිභෝගිකයන් ලෙස තමන් පරිභෝජනය කරන නිෂ්පාදන නිපදවන ආකාරය විමසීම මඟින් මේ තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත.


වෙනත් රටවලින් බලපෑමක්‌


මේ පිළිබඳ කළ හැකි දේ පරිසර කණ්‌ඩායම් හා පරිසර හිතවාදී මාධ්‍ය අවධානය යොමු කර තිබෙයි. නිදසුනක්‌ ලෙස ඒ ඒ පුද්ගලයන්ට කළ හැකි දේ ද යෝජනා කර තිබිණි. බ්‍රසීලයේ නිෂ්පාදිත ගව මස්‌ වැනි නිෂ්පාදන මිල දී ගැනීමේ දී එම නිෂ්පාදනය නිපදවීමේ දී වැසි වනාන්තරවලට බලපෑමක්‌ නොමැති වී බව පවසමින් Rainforest Alliance වැනි සංවිධාන මඟින් සහතික කර තිබෙන්නේ දැයි සලකා බලන ලෙස යෝජනා කර තිබිණි. එමෙන් ම බ්‍රසීලයෙන් සිදු කරන ආනයන සීමා කිරීම වෙනත් රටවලට ගත හැකි පියවරක්‌ බවට අදහස්‌ පළ වී තිබිණි. එමෙන් ම තනි තනි පාරිභෝගිකයන්ට ඒවා වර්ජනය කළ හැකි බව දක්‌වා ඇත. එමඟින් අදාළ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම අඩු කර, ඒ නිෂ්පාදන නිසා ඇමසන් වනාන්තරයට ඇති වී තිබෙන පීඩනය වළක්‌වා ලිය හැකි බව මේ කණ්‌ඩායම්වල අදහස වෙයි.

පසුගිය සතියේ ප්‍රංශයේ දී පැවැත්වූ G7 කණ්‌ඩායමේ රැස්‌වීමක න්‍යාය පත්‍රයට ඇමසන් වන ගිනි ද ඇතුළත් විය. එය ඇතැම් විට බ්‍රසීලය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් සමඟ යුරෝපා සංගමය ඇති කරගැනීමට යන වෙළෙඳ ගිවිසුමට ද බලපෑමක්‌ කළ හැකි බව ඇතැම් අංශ දක්‌වා තිබිණි. සමහර රටවල් ද ඒ ගැන අදහස්‌ පළ කර තිබිණි. මේ පිළිබඳ ව අදහස්‌ පළ කරමින් ෆින්ලන්තයේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ ෆින්ලන්තය හා යුරෝපා සංගමය, බ්‍රසීලයෙන් සිදු කරන ගව මස්‌ ආනයන කටයුතු සීමා කිරීම සඳහා ඇති අවස්‌ථා සොයා බැලිය යුතු බවයි. ප්‍රංශය හා අයර්ලන්තය ද මෙවැනි අදහස්‌ දරන රටවල් අතර වෙයි. එහෙත් මේ ලිපිය ලියන අවස්‌ථාව වන විට උක්‌ත රැස්‌වීමේ ගත් තීරණ ගැන දැනගැනීමට නො හැකි විය.

මෙවැනි පියවර එක්‌ රටක ප්‍රතිපත්තිවලට වෙනත් රටවල් කරන බලපෑමක්‌ ලෙස පෙනී යා හැකි වුවත් එය පරිසරය වෙනුවෙන් ම සිදු කරන්නකි. එවැන්නක්‌ සඳහා එම නිෂ්පාදන ආනයනය කරන රටවල දේශපාලන අධිකාරියට හා සමස්‌තයක්‌ ලෙස පාරිභෝගිකයන්ට අවශ්‍යතාවක්‌ පවතී ද යන්න ඉදිරියේ දී අපට දැකිය හැකි වනු ඇත (නිදසුනක්‌ ලෙස ගත හොත් බ්‍රසීලය සමඟ ඇති වෙළෙඳ ගිවිසුම් තවදුරටත් ශක්‌තිමත් කරන්නට ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කළේ මේ වන ගිනි අතර ය). මෙය එක්‌තරා ආකාරයකට පරිභෝජනවාදය හා පරිසරය අතර තරගයක්‌ හෙවත් පරීක්ෂණයකි.

Friday, August 23, 2019

දේශගුණ වෙනස් වීම පිළිබඳ නව වාර්තාවක් හා ආගමික මුහුණුවරකින් ගැටලුවට මුහුණ දීමේ යෝජනාවක්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.08.14, පි. 7 (Vidusara)
Not Available Online



දේශගුණ වෙනස් වීම අද ලොව හමුවේ තිඛෙන වඩාත් බරපතළ පාරිසරික ගැටලූව බවට විවාදයක් නැත. එය වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිඛෙයි. එහෙත් ඊට පිළිතුරක් ලෙස ජගත් මට්ටමෙන් ක්‍රියාත්මක වන ප්‍රමාණවත් වැඩපිළිවෙලක් තවමත් පෙනෙන්නට නොමැත.

මේ අතර දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකින් කියැවෙන පරිදි මනා ඉඩම් කළමනාකරණයක් තිබීම දේශගුණ වෙනස් වීම වැළැක්වීමට උපකාර වෙයි. එහෙත් එය එකම විසඳුම නොවන බවත් පවසයි. සෙල්සියස් අංශක 2 (1.5 නොහැකි නම්) සීමාවේ ලෝකයේඋෂ්ණත්වය තබාගැනීමට නම්, සියලූ අංශවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම අවශ්‍ය වෙයි. එම වාර්තාව සඳහා පසුගියදා අනුමැතිය හිමි වූයේ ස්විටර්ලන්තයේ ජිනීවාහිදී පැවැති රැස්වීමකදීය.

දේශගුණ වෙනස් වීම හා භූමිය (Climate Change and Land) නමින් කෙටියෙන් හඳුන්වනු ලබන මෙම විශේෂ වාර්තාව දේශගුණ වෙනස් වීම, කාන්තාරනය, භූමි හායනය, තිරසර ඉඩම් කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව හා භෞමික පරිසරයේ හරිතාගාර වායු පවත්නා ආකාරය වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර තිඛෙන්නකි. එහි දක්වා තිඛෙන කරණු අතර වැදගත් කරුණු කීපයක් මෙසේය.

ආහාර රටාව වෙනස් කිරීම


මිනිසුන් ඉදිරියේදී ශාකමය ආහාර අධික වූ ආහාර රටාවකට යොමුවීම දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා යෝග්‍ය වූ පිළියමකි. මස් හා කිරි ආහාර අධික ලෙස භාවිත වන ආහාර රටාවකට යොමු වීම මිහිතලය උණුසුම් වීම සඳහා බලපාන්නකි. එසේ මස් අධික ආහාරයක් ගැනීම ඇතැම් ප්‍රදේශවලදී සිදු කළ යුත්තේ වෙනත් තේරීමක් නොමැති වීම නිසාය. එහෙත් බටහිර රටවල මස් පරිභෝජනය සාපේක්ෂව අධික බව රහසක් නොවෙයි. එය බටහිර ආහාර රටාවේ දැකිය හැකි මූලික අංගයක් වෙයි.

සමස්තයක් ලෙස ලෝකයේ මස් ආහාර පරිභෝජනය අඩු කළ හැකි නම්, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි පිරිසකට ආහාර ලබාදිය හැකි බව මෙම වාර්තාව පෙන්වාදෙයි. එහෙත් සියලූ දෙනාට ශාකමය ආහාර හෙවත් එළවළු ආහාරයට ගත යුතු යැයි මෙම වාර්තාව සඳහන් නොකරයි. (මේ පිළිබඳව විවේචනද එල්ල වී තිඛෙයි).

මේ කරුණෙහි වැදගත්කම පෙනෙන්නේ ආහාර නිෂ්පාදනය සඳහා අදාළ හරිතාගාර වායු විමෝචන සම්බන්ධව සැලකූ විටය. 2018 වර්ෂයේදී පළවූ වාර්තාවකට අනුව ලෝකයේ සමස්ත හරිතාගාර වායු විමෝචන අතරින් 26%ක් පමණ නිකුත් වන්නේ ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය නිසාය. ආහාර නිසා සිදුවන හරිතාගාර වායු විමෝචන අතරින් 58%ක් පමණ නිකුත් වන්නේ සත්ත්ව නිෂ්පාදන වලිනි. සෙසු සියලූ ආහාර වර්ගවලින් නිකුත් වන්නේ විමෝචනවලින් 42%ක් පමණකි. එමෙනම් ඇතිකරනු ලබන සතුන්ගෙන් සිදුවන හරිතාගාර වායු විමෝචන අතරින් ගවයින් හා බැටලූවන්ගෙන් නිකුත්වන විමෝචන ප්‍රමාණය 50%කි. සෙසු සියලූ සතුන් දායක වන්නේ ඒ හා සමාන විමෝචන ප්‍රමාණයකටය. මේ අනුව මස් හා කිරි ආහාර පරිභෝජනය නිසා හරිතාගාර වායු විමෝචන ඉහළ යන බව පැහැදිලිය. පෙර සඳහන් ලෙසම, සාමාන්‍යයෙන් බටහිර පරිභෝජන රටාවේ දැකිය හැකි ලක්ෂණයක් වූ මස් අධික ලෙස පරිභෝජනය දැන් දැන් වේගයෙන් දියුණු වන ආර්ථීකයක් තිඛෙන තවත් රටවලටද පැතිරයමින් තිඛෙයි. නිදසුනක් ලෙස චීනයේ ගව මස් පරිභෝජනය ඉහළ යෑම දැක්විය හැකිය.

මෙම වාර්තාව දක්වන ලෙස අප නාස්ති කරන හා අපතේ යවන ආහාර ප්‍රමාණයද මහත්ය. ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර අතරින් තුනෙන් එකක් පමණ අපතේ යයි. උක්ත වාර්තාවෙහි දැක්වෙන පරිදි ලෝකයේ මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 8%ත් 10%ත් අතර ප්‍රමාණයක් නිකුත්වන්නේ ගොවිපොළ සිට නිවස දක්වා සිදුවන ආහාර නාස්තිය හා අපතේ යෑම නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනයෙනි. මෙම නාස්තිය වැළැක්වීම සඳහා පියවර ගැනීමේ තිඛෙන වැදගත්කමද මෙම වාර්තාවෙහි දක්වා තිඛෙයි.

එමෙන්ම පසට හානි සිදුවීම හා කාන්තාරණය වැළැක්වීම සඳහා ද පියවර ගත යුතු බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි. එම ක්‍රියාවලි දෙකම දේශගුණ වෙනස් වීම සඳහා දායක වීම එයට හේතුව වෙයි.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි, අධික හරිතාගාර වායු විමෝචනයක් පැවතීම වනාන්තරවල වර්ධනයට හේතුවක් වෙයි. විශේෂයෙන් මෙම තත්ත්වය උතුරු අර්ධගෝලයේ දැකිය හැකිය. මෙය දේශගුණ වෙනස් වීම වැළැක්වීමට දායක විය හැකි කරුණක් බව සත්‍යයකි. එහෙත් උෂ්ණත්ව තවදුරටත් අධික ලෙස වර්ධනය වන තත්ත්වයක් තුළ වනාන්තරවලට පවත්නා මෙම බලපෑම ආපසු හැරවිය හැකිය යා හැකිය. නිදසුනක් ලෙස නිවර්තන කලාපීය වනාන්තරවල මෙම තාප ආතතිය නිසා වනාන්තරවල වෘක්ෂලතා අහිමිවීමක් පවා සිදුවිය හැකිය.

දේශගුණ හිතවාදී පිළිවෙත් සඳහා පෙළඹවීම


උක්ත වාර්තාවෙන් දැක්වෙන කරුණු ගෝලීය වශයෙන් වැදගත් හා ජගත් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ඒවාය. එහෙත් පුද්ගලික මට්ටමින් සිදුකරනු ලබන ආකල්පමය වෙනස්කම් වැදගත් වෙයි. එවැනි ක්‍රියාවලියක් පිළිබඳවද මෑතකදී අසන්නට ලැබි‚.

මේ අතර දේශගුණ වෙනස් වීමට එරෙහිව පියවර ගැනීම සඳහා ජනතාව පොළඹවන ආකාරයේ නව්‍ය අත්හදාබැලීමක් සම්බන්ධව පසුගියදා අසන්නට ලැබි‚. සරලව ගතහොත් එය ආගමික මුහුණුවරක් ගත් ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ අරමුණ වන්නේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව වැඩිදුරටත් කටයුතු කිරීම සඳහා වැඩි කැපවීමක් දායකත්වයක් ප්‍රවර්ධනය කිරීමයි.

මෙහි ආරම්භකයා වන්නේ දේශගුණ වෙනස් වීම සම්බන්ධ ඉංජිනේරුමය විසඳුම් පිළිබඳව දිගුකලක් තිස්සේ කටයුතු කළ ඔල්යා ඉර්සාක් නැමැත්තියකි. වෘත්තියෙන් ඉංජිනේරුවරියක වූ ඇය සිය අත්දැකීම් අනුව ඇය පැමිණ තිඛෙන නිගමයනක් වනුයේ නියම විසඳුම රැඳී පවතින්නේ තාක්ෂණික විසඳුම් මත නොව ඒවා සඳහා සමාජමය සහයෝගය දිනා ගැනීම මත බවයි. කිසියම් පොදු ආචාර ධර්ම පද්ධතියක් වටා ජනතාව සංවිධානය කිරීම සඳහා යොදාගත හැකි බහු පරම්පරාමය සමාජමය නිර්මාණය කවරක්ද යන්න පිළිබඳව ඇය සිය අවධානය යොමු කර තිඛෙයි. ඒ සඳහා සුදුසුම වන්නේ ආගමික රටාවක් බව එහි අවසන් නිගමනයයි.

මීට වසර තුනකට පමණ පෙර ඉර්සාක් සිය මිතුරන් කිහිපදෙනෙකු හා එක්ව එවැන්නක් ආරම්භ කරන්නට යෙදුනාය. එය අද හඳුන්වනු ලබන්නේ 'දේශගුණ විද්‍යාවේ සාක්ෂිකරුවෝ' (Witnesses of Climatology) යන නමිනි. එසේ ආරම්භ කරන්නට යෙදුණු සංකල්පීය උත්සාහයට නිරාගකමික අදේවවාදියක වූ ඇයට දෙවියන් පිළිබඳ අදහසක් මීට එක් කිරීමට අවශ්‍ය වී නැත. එහෙත් ක්‍රමානුකූලව පැවැත්වෙන දේව මෙහෙයක් වැන්නක් ඔවුන්ගේ ආගමට ඇතුළත් විය. ඊට හැඳින්වීමක්, ස්වභාවධර්මයේ තේජස් වී ස්වභාවයට ප්‍රශංසා කිරීමේ දෙසුමක් හා පාරිසරිකත්වයෙහි විවිධ අංග සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමක් ඇතුළත් විය.

වරින්වර ඔවුන් විසින් හඳුන්වා දෙන ලද චාරිත්‍ර විධිද ඊට ඇතුළත් විය. නිදසුනක් ලෙස සාම්ප්‍රදායික නිවාඩු දිනවලදී ඔවුන් දේශගුණ වෙනස් වීම හා එම විද්‍යාව හා සම්බන්ධ පියවර ගැනීම හඳුන්වා දී තිබිණි. නිදසුනක් ලෙස ප්‍රති නත්තල (reverse Christmas) නමින් හඳුන්වා දී ඇති දිනයේ ඔවුන් සිදුකරන්නේ ගසක් සිටුවීම මිස සාමාන්‍ය නත්තලකදී මෙන් නත්තල් ගසක් සඳහා ගසක් කපා දැමීම නොවේ. ග්ලැසියර සමරු දිනය නම් දිනයකදී ඔවුන් සිදුකරන්නේ අයිස් කැටයක් ඉර අව්වේ දිය වනු නැරඹීමයි.

ඔවුන් මෙවැනි චාරිත්‍ර හරහා සිදුකරන්නට අපේක්ෂා කරන්නේ වඩා ගැඹුරු ප‚වුඩයක් සමාජයට ලබාදීමටය. මෙහි සැබෑ වටිනාකම මිනිසුන් විසින් අවබෝධ කරගෙන දේශගුණ වෙනස් වීම සම්බන්ධව පියවර ගැනීමට හා කටයුතු කිරීමට මිනිසුන් දිරිගැන්වීමය. එය පවත්නා තත්ත්වය සම්බන්ධව කලකිරීමෙන් පසුවීමට වඩා වැදගත් වන්නක් බව ඔවුන්නගර අදහස වෙයි.

එය ප්‍රමාණයක් විය හැකිය. එහෙත් එම සංඛ්‍යාව වර්ධනය වනු ඇති බවට සැක නොකරයි. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුහු විවිධ පියවර ගනිමින් සිටිති. නිදසුනක් ලෙස මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුව තිඛෙන කරුණක් වනුයේ සංකීර්ණ පද්ධති ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව අවබෝධයක් ලබා දීම අරමුණු කරගත් ඉරිදා පාසැලක් ආරම්භ කිරීමටය. මෙවැනි නව්‍ය පියවර හා පිළිවෙත් මගින් වැඩි අවධානයක් යොමු කර ගැනීමට අපේක්ෂිතය.

මූලාශ්‍රය - Special Report on Climate Change and Land, https://ipcc.ch/report/srccl

Wednesday, July 31, 2019

අමතක වූ සංවත්සරය - මිහිතලය උණුසුම් වීම නිවැරදිව පුරෝකථනය කළ චානි වාර්තාව (1979)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.07.31, පි. 7 (Vidusara)



සඳ මතට මිනිසුන් පා තැබීමේ 50වන සංවත්සරය යෙදුනේ පසුගිය ජුලි මස විසි වැනිදිනටය. එය ලෝකය පුරා බොහෝ රටවල විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව විසින්ද සමරන ලදි. නීල් ආම්ස්ට්‍රෝං සඳහන් කළාක් මෙන්ම සඳ මතට පා තැබීම මිනිස් සංහතියේ විශාල ඉදිරි පියවරක් විය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අභ්‍යවකාශය හා ග්‍රහලෝක ජයගැනීම තවදුරටත් සිහිනයක් නොවන බව එදා පැහැදිලි විය. අද වන විට ලෝකයේ බලවත් රාජ්‍ය ගණනාවක්ම පාහේ තමන්ගේම වූ අභ්‍යවකාශ වැඩසටහන් හා පර්යේෂණ ක්‍රියාත්මක කරයි. ඒ වෙනුවෙන් විශාල ධනයක්ද වාර්ෂිකව වැය කරනු ලැඛෙයි. අද වන විට අවධානය යොමු වී තිබන්නේ අ`ගහරු තරණය පිළිබඳවය.

එහෙත් එසේ අභ්‍යවකාශ තරණය හා වෙනත් ග්‍රහ වස්තු පිළිබඳව අප උනන්දුවක් දැක්වුවද, මේ මාසයටම යෙදී තිබුණු පෘථීවි පරිසරය පිළිබඳව වැදගත් වූ එක්තරා වැදගත් සිදුවීමක සංවත්සර ලෝකයේ එතරම් අවධානයකට ලක් වූයේ නැත. පසුගිය දිනයක The Conversation හි පළ වූ එක්තරා ලිපියකින් අවධානය යොමු විය යුතු එම සිදුවීමෙහි වැදගත්කම පෙන්වාදී ඇත.

එහි දැක්වෙන ආකාරයට මෙම සංවත්සරය ද මානව ශිෂ්ටාචාරයට අතිශයින් වැදගත් සිදුවීමක 40 වන සංවත්සරයයි. එනම් කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා සිදුවන ජගත් දේශගුණ වෙනස් වීම පිළිබඳව සිදුකරන ලද පළමු සවිස්තර ඇගැයීම සඳහා මග පෑදූ රැස්වීමයි. 1979 වර්ෂයේ ජුලි මස 23 සිට 27 දින දක්වා පැවැති එම රැස්වීම පවත්වා තිඛෙන්නේ ඇමරිකාවේ මැසචුසෙට්හි වුඩ්ස් හෝල් සාගරික විද්‍යා ආයතනය නම් ආයතනයේදීය. එරට ජාතික පර්යේෂණ සභාව (National Research Council) විසින් පිහිටුවන ලද, 'කාබන් ඩයොක්සයිඩ් හා දේශගුණය පිළිබඳ තත් කාර්ය කණ්ඩායම' (Ad Hoc Group on Carbon Dioxide and Climate) නමින් හඳුන්වන ලද කණ්ඩායමක රැස්වීමක් වූ මෙයට දේශගුණ විද්‍යාඥයන් පිරිසක් සම්බන්ධ වී තිඛෙයි.

චානි වාර්තාවේ විශේෂත්වය


එම රැස්වීමෙහි ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද වාර්තාව හඳුන්වනු ලබන්නේ 'කාබන් ඩයොක්සයිඩ් හා දේශගුණය - විද්‍යාත්මක ඇගයීමක්' Carbon Dioxide and Climate: A Scientific Assessment ) හෙවත් චානි වාර්තාව (Charney Report) නමිනි. ඒ අදාළ කණ්ඩායමේ සභාපති ලෙස ක්‍රියා කළ විද්‍යාඥයා වන ජූල් ග්‍රෙගරි චානි ගේ නම අනුව යමිනි. පිටු 22කින් යුක්ත කෙටි වාර්තාවක් වන මෙය වර්තමාන මිහිතලය උණුසුම් වීම පිළිබඳව සිදුකරන ලද මුල්ම විද්‍යාත්මක ඇගැයීම ලෙසින් සැලකෙයි.

කාබන් ඩයොක්සයිඩ් වායුව සතු ලෝකයේ උෂ්ණත්වය වර්ධනය වීම සඳහා කටයුතු කරන ස්වභාවය හෙවත් හරිතාගාර වායුවක් ලෙස ක්‍රියාකිරීම පිළිබඳව කරුණු පෙන්වා දී තිබුණේ 19වන සියවසේ පමණ සිටය. එමෙන්ම පොසිල ඉන්ධන දහනය නිසා සෙල්සියස් අංශක ගණනාවකින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබුණේ 1950 දශකයේ පමණ සිටය. එවකට පැවති දැනුම භාවිත කරමින් 1972 වර්ෂයේදී පළ කරන ලද අධ්‍යයනයක් අනුව 20වන සියවස අවසන්වන විට සෙල්සියස් අංශක 0.6කින් උෂ්ණත්වය ඉහළ යන බවටද පුරෝකථනය කර තිබි‚.

කෙසේ වෙතත් 1970 දශකය වන විට මෙම පුරෝකථන පැවතියේ මතභේදාත්මක ස්වභාවයකය. ඒ සඳහා පුළුල් පිළිගැනීමක් ලැබී තිබූ බව සකසහිතය. එයට එක් හේතුවක් වූයේ 20 වැනි සියවසේ මැද භාගයේදී සිදුව තිබූ සිසිල් වීම හෙවත් ලෝක උෂ්ණත්වය අඩු වීමය. එය ගැන අවධානය යොමු කිරීම නිසා ඇතැම් ජනමාධ්‍යවල ලෝකය අයිස් යුගයක් කරා ගමන් කරන්නේදැයි සැක මතුකර තිබි‚.

පෙර සඳහන් කරන ලද, වුඩ්ස් හෝල් ආයතනයේ රැස්වීම පැවැත්වෙනුයේ මෙවැනි පසුබිමකය. එම රැස්වීම සඳහා ප්‍රවීණ දේශගුණ විද්‍යාඥයන් දස දෙනෙකු පමණ සහභාගි වී ඇත. එසේම ඔවුන් ලෝකය පුරා තවත් විද්‍යාඥයන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවද සඳහන් වෙයි.

ඛෙහෙවින් නිවැරදි පුරෝකථන


මෙම වාර්තාවෙන් දැක්වෙන මූලික පුරෝකථනය වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යෑම නිසා සෙල්සියස් අංශක 3ක් පමණ මිහිතලය උණුසුම් විය හැකිය යන්නයි. ඒ අංශක 1.5ක දෝෂ සීමාවක්ද සමඟිනි. එනම්, කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණ වුවහොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සෙල්සියස් අංශක 1.5ත්, 4.5ත් අතර විය හැකිය.

මෙම පුරෝකථනය ඉතා විද්‍යාත්මක එකක් ලෙස සැලකිය හැකි බව දක්වා තිඛෙයි. වසර 40කට පමණ පෙර ඔවුන් ඉහත කී පුරෝකථනය කළ කාලයත් අදත් අතර කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය 21%කින් පමණ ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙම කාලය ඇතුළත ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.66කින් පමණ ඉහළ ගොස් තිඛෙයි. අනුව කාබන් ඩයෙක්සයිඩ් වායු සාන්ද්‍රණය දෙගුණයකින් පමණ ඉහළ ගියහොත් සෙල්සියස් අංශක 2.5කින් පමණ ඉහළ යා හැකි බවක් පෙනෙයි. එය චානි වාර්තාවේ දක්වා තිඛෙන පුරෝකථනයට අඩු වන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනි. එමගින් පෙනෙන්නේ ඉහත කී පුරෝකථනය ඛෙහෙවින් නිවැරදි එකක් බවයි.


(රූපය - පසුගිය වසර 40 තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හා උෂ්ණත්වය වෙනස් වූ අයුරු)

පසුකාලිනව දේශගුණ විද්‍යාව වඩා දියුණු වී, අද වන විට වඩා සියුම් සවිස්තර පුරෝකථන සිදු කළ හැකි තත්ත්වයක් දක්වා දියුණු වී තිඛෙයි. එවැනි තත්ත්වයකදී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ පුරෝකථන හා චානි වාර්තාවේ පුරෝකථන ඛෙහෙවින් සමාන වීම චානි වාර්තාවේ විද්‍යාත්මක බව සනාථ කරයි.

මෙම වාර්තාව සකස් කළ විද්‍යාඥයන් ඒ කාලයේ ක්‍රියාකාරීව සිටි ඉහළ පිළිගැනීමක් සහිත අය වුවද එම වාර්තාවට මහජනතාව හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර වැඩි පිළිගැනීමක් ලැබුනේ නැත. ඒ නිසාම එමගින් එතරම් වෙනසක් ඇති නොවූ බවද සඳහන් වෙයි. එහෙත් එහි සඳහන් පුරෝකථන සත්‍ය බව පැහැදිලි වන විට ක්‍රමයෙන් එය පිළිගැනීමට ලක්විය. ඒ අනුව අද වන විට දේශගුණ වෙනස් වීම පිළිබඳ කතාවේ සන්ධිස්ථානයක් ලෙස මෙම වාර්තාව සලකනු ලැඛෙයි.

මෙම වාර්තාවේ විද්‍යාත්මක බව පැහැදිලි කිරීමේදී ඔවුන් එවකට පැවැති තත්ත්වය මත පදනම්ව මෙවැනි පුරෝකථනයක් කළ බව අමතක කළ යුතු නොවෙයි. එමෙන්ම ඔවුන් එම වාර්තාවෙහි දක්වා තිඛෙන පරිදි මෙම උෂ්ණත්ව ඉහළ යෑම වඩා අඩු අගයක් ගැනීමට හෝ එයට සම්පූර්ණ විරුද්ධ දෙයක් හෙවත් සිසිල්වීමක් ඇති වෙතැයි පැවසිය හැකි කිසිදු භෞතික බලපෑමක් පිළිබඳ සාධකයක් හමු නොවූ බව එම වාර්තාවේ සඳහන්ය. (ලෝකයේ උෂ්ණත්වය අඩු වී සිසිල්වීමක් ඇති විය හැකි බවටද අදහසක් එවකට තිබිණි)

පෘථීවිය ගැන අවධානය ප්‍රමාණවත්ද?


අනෙක් අතට සඳ ජයගෙන ගත වූ වසර 50ක පමණ කාලය තුළ මිනිසුන් දන්නා ඔවුන් ජීවත්වන ග්‍රහලෝකය වන පෘථීවියේ පරිසරය ආරක්ෂා කරගැනීම කෙතරම් සාර්ථකව සිදු කර තිබේද යන්න විමසිය යුතු පැනයකි. 1970 දශකයේම ආරම්භ වූ ජගත් පරිසර ව්‍යාපාරයද ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර, එහි මැදිහත් වීම නිසා ඇතැම් අංශවල යහපත් ප්‍රවණතා දැකිය හැකි වුවත් තවත් පාරිසරික ගැටලූ ගණනාවක් අඛණ්ඩව වර්ධනය වී තිඛෙයි. එයට හේතු ගණනාවක්ම පවතී. නිදසුනක් ලෙස සමහර පාරිසරික ගැටලූවලට විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන නායකත්වයට අවශ්‍යතාවයක් නොමැති වීම, පරිභෝජනවාදී සමාජ ක්‍රමය වැනි තත්ත්ව දැක්විය හැකිය.

අප මෙම ලිපියේ දී මාතෘකා කරගත් විෂයය වන දේශගුණ වෙනස්වී විසඳුම් සෙවීම පමා වී තිඛෙන පාරිසරික ගැටලූවකි. එය අද වන විට ලොව මුහුණ දී තිඛෙන බරපතළම පාරිසරික ගැටලූව බවට සැකයක් නැත. ඒ සඳහා විසඳුම් හා ඉලක්ක ප්‍රකාශයට පත්ව තිඛෙන නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැත. එමෙන්ම විසඳුම්වල තිඛෙන ඉලක්ක ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසද වෙයි. ඒ අතර කාබන් ඩයොක්සයිඩ් මට්ටමද, උෂ්ණත්වයද ඒ නිසා ඇතිවන බලපෑම්ද සිදුවෙමින් පවතී.

මෙහිදී අපට සිහිපත් වන්නේ එඩ්වඩ් ජයකොඩි ගයන, රඹුකන සිද්ධාර්ථ හිමි රචනා කළ zමිනිසා සඳට ගියාලූ’ ගීතයේ එන කොටස් දෙකකි.

"මිනිසා සඳට ගියාලු - මිනිසා පුදුම වුණාලු
බිම බැලූවාලූ - උඩ බැලූවාලු - මිනිසා සඳට ගියාලු...

මිනිසා දියුණු වෙලාලූ - ලෝකේ අවුල් වෙලාලූ
දියුණු වෙලාලූ - අවුල් වෙලාලූ - මිනිසා සඳට ගියාලු..."

අභ්‍යවකාශ ගවේෂණය දියුණු විය යුතු තාක්ෂණයකි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවට විවාදයක් නැත. එහෙත් ඒ අතරම දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහාද වැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍ය වෙයි. ඒ අද අප ජීවත්වන පෘථීවිය මානව පැවැත්මට මෙන්ම සෙසු ජීවීන්ගේ පැවැත්ම සඳහාද රැකගත යුතු බැවිනි.

චානි වාර්තාව - Carbon Dioxide and Climate: A Scientific Assessment, DOI: 10.17226/12181

Monday, July 22, 2019

චන්ද්‍ර දිව්‍යරාජයා කිලිටි කිරීම

ධනේෂ් විසුම්පෙරුම



ඒ 1987 හෝ 1988 වර්ෂය පමණය. අපේ පන්සලේ ශීල ව්‍යාපාරය සංවිධානය කරන්නට දහම්පාසලේේ සිසුවෙකු ලෙස එකල මමද දායක වීමි. ඇතැම් දිනවල අපිද සිල් සමාදන් වූ අතර, තවත් විටක සිල් සමාදන් නොවී ශීල ව්‍යාපාරයේ කටයුතු පමණක් අධීක්ෂණය කළෙමු. එක් ජුලි මාසයකදී පොහොය වැටුනේ 20 වැනිදාවක් ආසන්නයේය.

එදින විවේක වෙලාවක අයියා කෙනෙකු (මතක ඇති ලෙස අනුර) සමඟ මම කතා කළේ මිනිසුන් සඳ මතට පා තැබීම ගැනය. එහි සංවත්සරය ගැන ඒ දිනවල මාධ්‍යවලින් කතාකර තිබිණි. අප ඒ ගැන කතා කරන අතර සැමදාම සිල් සමාදන් වෙන ආච්චි අම්මා කෙනෙක් අප සිටි තැනට විත් ඇසුවේ අප කතා කරන්නේ කුමක් ගැනද යන්නය. මම ඒ ගැන කෙටියෙන් කියා, ආච්චිට මතකද මිනිස්සු හඳට ගිය එක කියා ඇසුවෙමි

"මම නං පුතේ ඔය කතාව විශ්වාස කරන්නෙ නැහැ. චන්ද්‍ර දිව්‍යරාජයාට පය තියන්න මිනිස්සුන්ට පුළුවන්ද? එහෙ තියෙන සීතලට ගල්වෙන් නැතෑ. චන්ද්‍ර දිව්‍ය රාජයා කිලිටි කරන්න මිනිස්සුන්ට පුළුවන්ද?" කියා කීවාය.

මමත්, අනුර අයියාත් මුහුණින් මූහුුණ බලාගතිමු. එවැනි දේත් විශ්වාස නොකරන අය ඉන්නවනේ කියා අපට එදා සිතුනේය.

නූතන විද්‍යාව හා මිනිසුන්ගේ විශ්වාස ගැන යම් පාඩමක් එදා උගත්තෙමි. කෙතෙක් සාධක ඇතත් කෙනෙකුට වැටහෙන්නේ තමතම නැණ පමණින්ය. යමක් විශ්වාස නොකරන කෙනෙකුට එය අවිශ්වාස කිරීමට අවශ්‍ය සාධකද සොයාගත හැකිය. එසේ දක්වන සාධක කෙතරම් සත්‍ය ද යන්න විමසීම අනෙක් අය අත ඇති දෙයකි. එදා සිට මේ දක්වා අසත්‍ය හා පිළිගත නොහැකි සාධක මත පදනම් වූ මතවාද අසන, කියවන හා දකින විට මට ඉහත සිදුවීම මතක් වේ.

අද ජුලි 20 දිනට මිනිසුන් සඳ මත පා තබා වසර 50කි. 1969 ජූලි 20 සිදු වූ ඒ සිදුවීම එදා නීල් ආම්ස්ට්‍රෝන් කී ලෙසම මහා පිම්මක්ය.

"That's one small step for man, one giant leap for mankind." Neil Armstrong

ඡායාරූපයේ දැක්වෙන්නේ සඳ ජයගැනීම ගැන 1989 පළ වූ අනුර සී. පෙරේරාගේ කෘතියයි. අදත් මම බෙහෙවින් ප්‍රියකරන මෙය මගේ එකතුවට එක්වෙන්නේ 1989.7.22 දිනයි. ඒ මගේ පොත් එකතුවේ 77වන පොත ලෙසය. (පසුගිය දිනෙක එය ඊළඟ පරපුර සතු විය.)

Wednesday, July 10, 2019

කංසා භාවිතයේ පැරැණි ම සාධක නූතන චීනයෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.07.03 පි. 11 (Vidusara)

http://www.vidusara.com/2019/07/03/feature6.html






කංසා හෙවත් ගංජා යනු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ ව තිබෙන ශාකයකි. Cannabis sativa යනුවෙන් විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ ශාකයෙන් ලබාගන්නා ද්‍රව්‍ය විවිධ භාවිත සඳහා යොදාගැනෙයි. කෙඳි ලබාගැනීම, තෙල් ලබාගැනීම, ඔසුවක්‌ ලෙස මෙන්ම මනෝ සක්‍රියකාරක සංඝටකයක්‌ (psychoactive compound) ලෙස ද කංසා ශාක භාවිත වෙයි. මෙය මත්ද්‍රව්‍යයක්‌ ලෙස භාවිත වන බැවින් ඒවා වගා කිරීම නීතියෙන් තහනම් ය.

කංසා භාවිතය කුමන කාලයක දී ආරම්භ වී ද යන්න පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ කලක පටන් ය. මෙතෙක්‌ හෙළි වී තිබෙන කරුණු අනුව වර්තමාන චීනයේ හෙවත් නැගෙනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර තිබෙන බව සැලකෙයි. පොදු වර්ෂ පූර්ව 4000 පමණ ඉහත කාලයක දී එසේ භාවිත වී තිබෙන බවට පුරාවිද්‍යා ස්‌ථානවලින් සාධක ලැබී ඇතත් ඒවා කුමන භාවිතයක්‌ සඳහා යොදාගත්තේ ද යන්න ගැන එමගින් අනාවරණය වී නැත. නැගෙනහිර ආසියාවේ මුලින් ම කංසා භාවිත කර හා වගා කරන්නට ඇත්තේ එහි තෙල් සහිත බීජ හා කෙඳි සඳහා ය. මීට වසර කීපයකට පෙර සුසානයක වළ දමන ලද ශරීරයක්‌ හරහා දැමූ සළුවක්‌ ලෙස කංසා ශාක තබා තිබෙනු අනාවරණය විය.

මේ අතර බටහිර චීනයේ සුසානයක්‌ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් මනෝ සක්‍රිය කාරක සංඝටකයක්‌ ලෙස කංසා භාවිතය පිළිබඳව මෙතෙක්‌ අප දන්නා පැරැණිතම සෘජු සාධක ලැබී තිබෙයි. එම අධ්‍යයනයට අනුව අදින් වසර 2,500කට පමණ පෙර කාලයක දී කංසා ඒ අයුරින් භාවිත කර තිබෙයි.

සුසානයකින් ලැබුණු සාධක




මේ කරුණු අනාවරණය වී ඇත්තේ බටහිර චීනයේ පාමීර් (Pamir) කඳුකරයේ සානුවක පිහිටා තිබෙන ජිර්සන්කල් (Jirzankal) නම් සුසාන භූමියේ කැණීම්වලින් හමු වූ අඟුරු කබලක්‌ වැනි දැවමුවා බඳුන් (brazier) පිළිබඳව සිදු කරන ලද වැඩිදුර පරීක්‌ෂණවලිනි.

දැව කැබැල්ලක සිදුරක්‌ සාදා තනා තිබූ මෙවැනි බඳුන් 10ක්‌ සුසාන 8කින් ලැබී තිබෙයි. ඒවා තුළ තිබී හමු වූ ගල් කැබැලි අතීතයේ දී ඉහළ උෂ්ණත්වයකට රත් කර ඇති බව හෙළි විය. රත් කළ ගල් කැබැලි එතුළට දමා කිසියම් ද්‍රව්‍යයක්‌ උණුසුම් කිරීමට යොදාගන්නා ලද බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙයි. ඒ කිසියම් සුවඳ ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් ශාකමය ද්‍රව්‍යයක්‌ හෝ විය හැකි බව ඔවුහු අනුමාන කළ හ.

මේ බඳුන්වල ශේෂ වී තිබූ ද්‍රව්‍ය යොදාගනිමින් ඒ අයුරින් රත් කළ ද්‍රව්‍ය මොනවා දැයි හඳුනාගැනීම විද්‍යාඥයන්ගේ මීළඟ පියවර විය. ඒ ද්‍රව්‍ය නිස්‌සාරණය කිරීමෙන් පසුව ඒවා පිළිබඳව වායු වර්ණලේඛ ශිල්පය හා ස්‌කන්ධ වර්ණාවලිමිතික (gas chromatography-mass spectrometry) ක්‍රමවේද අනුව පරීක්‌ෂා කරන ලද්දේ ඒවා හඳුනාගැනීම පිණිස ය. එමඟින් හෙළි වූයේ එම දැවමය බඳුන් දහයෙන් නවයක ම තිබී ඇත්තේ ඒවා කංසාවල ඇතුළත් කැනබිනොයිඩ (Cannabinoids) නම් රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩයට අයත් වූ ද්‍රව්‍ය බවයි.

ඒ අනුව කංසා කොළ හා රත් වූ ගල් සහිත බඳුන්වල දමා එමගින් පිට වන දුම ආඝ්‍රාණය කරන්නට ඇති බව විද්‍යාඥයන්ගේ අදහස වෙයි. මෙසේ කංසා දුම භාවිත කරන්නට ඇත්තේ කිසියම් අභිචාර විධි ක්‍රමයක්‌ සඳහා හෝ ආගමික ක්‍රියාකාරකම්වල දී විය හැකි ය. මෙහි දී හමු වූ ද්‍රව්‍ය අවමංගල්‍ය ආශ්‍රිත කිසියම් අභිචාරයක්‌ සඳහා යොදාගත්තක්‌ වීමට ද ඉඩක්‌ පවතී.

ඒ අනුව මනෝ සක්‍රිය බව ලබාගැනීම සඳහා කංසා ආඝ්‍රාණය භාවිත කළ බවට ඇති පැරැණි ම පැහැදිලි සාධකය ලැබෙන්නේ මේ ස්‌ථානයෙනි. එය සිදු ව ඇත්තේ අදින් වසර 2500කට පමණ පෙර දී ය.




රසායනික සංඝටක තැනින් තැනට වෙනස්‌


ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල රසායනික ස්‌වභාවය හා කිලෝමීටර් 1600ක්‌ පමණ නැගෙනහිරට වන්නට පිහිටා තිබෙන ජියාහි නම් සුසානයකින් හමු වී තිබෙන කංසාවල රසායනික ස්‌වභාවය සංසන්දනය කිරීමේ දී පර්යේෂකයන්ට අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ ජියාහි හමු වූ කංසාවල THC හෙවත් ටෙට්‌රාහයිෙඩ්‍රාකැනබිනෝල් නම් (tetrahydrocannabinol) රසායනිකය නො තිබූ බවයි. ඒ කංසාවල දැකිය හැකි මනෝ සක්‍රියකාරක බව ඇති කිරීමට හේතු වන ප්‍රධානතම රසායනික සංයෝගයයි. ඒ අනුව ජියාහි සුසානයෙන් හමු වූ කංසා භාවිත කරන්නට ඇත්තේ කෙඳි හා පෝෂක බහුල ඇට ලබාගැනීම වෙනුවෙන් විය හැකි ය. ජියාහි පිහිටි සුසානය පොදු වර්ෂ පූර්ව 8-6 ශතවර්ෂ අතර කාලයකට දින නියම කර ඇත.

එම ස්‌ථාන දෙකෙහි එවැනි වෙනස්‌කමක්‌ දැකිය හැකි වූයේ කෙසේ ද යන්න ද පර්යේෂකයන් පැහැදිලි කර තිබෙයි. මුල් කාලයේ වගා කරන ලද කංසා ශාකවල මෙන්ම ඒවායේ වල් දර්ශවල ද පෙර කී මනෝ සක්‍රියකාරක රසායන සංයෝග පැවතුණේ අඩු ප්‍රමාණවලිනි. එසේ නම් ජිර්සන්කල් සුසානයෙන් හමු වූ කංසාවල ආඝ්‍රාණය කිරීමට තරම් එeවැනි සංයෝග පැවැතියේ කෙසේ ද යන්නට පිළිතුරක්‌ තිබෙයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල දී කංසා ශාකයේ THC මට්‌ටම ස්‌වාභාවිකව ම ඉහළ යන බවයි. එවැනි ප්‍රදේශයක පවත්නා අඩු උෂ්ණත්වය, අඩු පෝෂක සහිත පස වැනි ඉහළ උන්නතාංශයක්‌ සහිත පරිසර තත්ත්වවල දී මෙවැනි දෙයක්‌ සිදු විය හැකි බවට මේ වන විට විද්‍යාඥයන් දන්නා කරුණකි. ජිර්සන්කල් සුසානය පිහිටා තිබෙන ප්‍රදේශය අඩි 10000ක්‌ පමණ උස්‌ වූ ප්‍රදේශයකි.

අනෙක්‌ අතට මේ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන් වල් දර්ශ වෙනුවට වැඩි THC ප්‍රමාණයක්‌ තිබෙන කංසා වගා කළා වන්නට ද හැකි ය. නැතිනම් පරිසරයෙන් එවැනි පැළෑටි හඳුනාගෙන භාවිතයට ගත්තා විය හැකි ය. එමෙන් ම මේ සානුව පිහිටි ප්‍රදේශය හරහා අතීතයේ මිනිසුන් විශාල ලෙස ගමන් කළ මාර්ග වැටි තිබූ බැවින් වෙනත් ප්‍රදේශවල වවන ලද කංසා පැළ හා එම පළාතේ වවන ලද කංසා පැළ අතර යම් මුහුම් වීමක්‌ පවා සිදු වන්නට ඉඩක්‌ තිබූ බව ද පෙන්වා දී ඇත. මෙවැනි ඉහළ අගයකින් THC හමු වන කංසා සමකාලීන වෙනත් ස්‌ථානයකින් මෙතෙක්‌ හමු වී නොමැත.

කංසා භාවිතය පැතිරීම


ඉහත කැණීමෙන් ලද දින වකවානු හා මෙතෙක්‌ සුසානවලින් කංසා හමු වූ ස්‌ථාන පිළිබඳව ඇති සෙසු සාධක හා ගැළපෙයි. එවැනි ස්‌ථාන දෙකක්‌ ජිර්සන්කල්වලට වඩා උතුරින් පිහිටි චීනයේ සිංජියැන් කලාපයෙන් හා රුසියාවේ අල්ටායි ක`දුකරයෙන් හමු වී තිබෙයි.

කංසා එහි මනෝ සක්‍රියකාරක රසායනික සංයෝග සඳහා මුලින් ම භාවිත වන්නට ඇත්තේ මධ්‍යම ආසියාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශවල බවට හා එය පසු කලක ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වන්නට ඇති බවට පවත්නා මතයට මේ පර්යේෂණයේ ප්‍රතිඵල සාධක ලෙස ගත හැකි ය.

අදින් වසර 2500කට පෙර කාලයක විසූ මිනිසුන් ඔවුන් හඳුනාගත් විශේෂිත පැළෑටි ඒවායේ අඩංගු රසායනික සංයෝග නිසා වැදගත් කොට සැලකූ ආකාරය මෙහි දී හෙළි වන වැදගත් කරුණකි. එමගින් පෙනෙන්නේ මිනිසුන් තමන් අවට පරිසරයේ ජෛව සම්පත් සමඟ කෙතරම් බැඳී සිටියා ද යන්නයි. එමෙන් ම තමන් අවට ශාකවලට කෙතරම් පරිණාමීය පීඩනයක්‌ මිනිසුන් එල්ල කර තිබෙන්නේ ද යන්න පෙන්වා දෙන අවස්‌ථාවක්‌ ලෙස ද පර්යේෂකයන් මේ අධ්‍යයනය හඳුනාගෙන ඇත.

මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1391