Tuesday, January 28, 2014

නාගරික හරිත ප‍්‍රදේශවල මහඟු ප‍්‍රයෝජනය

ධනේෂ් විසුම්පෙරුම

Vidusara, 2014-01-22, p. 2-3

Not available online.


අහස උසට නැගුණු මහල් ගොඩනැගිලි හා ගහක් කොලක් දැකිය නොහැකි සේ හාත්පස පැතිරගිය නිවාස හා ගොඩනැගිලි, මහාමාර්ග හා කොන්ක‍්‍රීට් ඇතිරූ පදික වේදිකා යනු නාගරික පරිසරයක අප දකින මූලිකාංගය. මෙවැනි නාගරික පරිසරයක ඇති පහසුකම් හා අවස්ථා නිසා නාගරික පරිසරයට විසීමට බොහෝ දෙනා කැමැත්ත දක්වන බවක් පෙනේ. වර්තමාන මානව සමාජය නාගරික ශිෂ්ටාචාරයක් සේ හැඳින්විය හැකි අතර අප අද භාවිත කරන බොහෝ දේ නගරය හා සම්බන්ධිතය.

මෙසේ කොන්ක‍්‍රීට්වලින් වැසී ගිය නගරයක ඉඳහිට දැකිය හැකි ගහකොළින් යුත් හරිත වර්ණ ඉඩක් ඇති ප‍්‍රදේශයක් යනු බොහෝ දෙනාගේ ඇස නිතැතින්ම යොමුවන්නකි. උද්‍යාන, හරිතවත් භූ දර්ශන, රුක්ගොමුවලින් යුක්ත මාර්ග හා හරිතවත් ගෙවතු වැනි තැනක මද කාලයක් හෝ ගත කිරීමට කැමැත්තෙමු. විවේක දින හා හෝරාවල මෙවැනි ප‍්‍රදේශ නගර වැසියන්ගෙන් පිරී යන්නේ මේ නිසාය. නාගරික පරිසරයක වුවද මෙවැනි තත්ත්වයක් දැකිය හැක්කේ ස්වාභාවික පරිසරයට අප තුළ ඇති නිසජ කැමැත්ත නිසා විය හැකිය. මිනිසාට ස්වාභාවික පරිසරයෙන් වියුක්තව දිවි ගෙවීමට නොහැකි අතර ස්වාභාවික සෞන්දර්යයද ඔහුට අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මෙවැනි හරිත ප‍්‍රදේශවලින් ලැබෙන වෙනත් ප‍්‍රයෝජන ඇත.

හරිතවත් භාවයේ ඇති මේ ප‍්‍රයෝජන අවබෝධකරගත් පසු නාගරික ප‍්‍රදේශවල හරිත ආවරණය ප‍්‍රවර්ධනය පිළිබඳව ලෝකයේ වැඩි අවධානයක් යොමු වී ඇත. මේ වන විට යම් පිළිගැනීමකට ලක්ව ඇති ‘තිරසර පුරවර’ පිළිබඳ සංකල්පයේදී නගරයක ඇති ශාක වැස්ම හා සෙසු හරිතවත් ප‍්‍රදේශ තිබීම වැදගත් හා අත්‍යවශ්‍ය අංගයක් වේ. (හරිත නගරයක් සඳහා අවශ්‍ය වන වෙනත් සාධකද ගණනාවක් ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය. එවැනි නගරයකදී බලශක්තිය, ප‍්‍රවාහනය, ගොඩනැගිලි, අපද්‍රව්‍ය කළමනාකරණය ආදි බොහෝ අංශ වඩා පරිසර හිතකාමී විය යුතු වේ.) අද වන විට ලෝකයේ රටවල් රැුසක හරිත පුරවර සංකල්පය අනුගමනය කිරීමට පෙළඹී ඇති අතර දියුණු රටවල් මෙහිදී ප‍්‍රමුඛස්ථානයක් ගනියි. 2005 වර්ෂයේදී ජගත් පරිසර දිනයේ තේමාව ලෙස යොදාගන්නා ලද්දේද ‘හරිත පුරවර’ (Green Cities) යන තේමාවයි.
කෙසේ වෙතත් නාගරික හරිත ප‍්‍රදේශ පිළිබඳව අපේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් - ඉතා වැදගත් කරුණක් - ඇති බව මෑතකදි සිදුකරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ. එනම් නාගරික පරිසරයක දැකිය හැකි හරිතවත් බිම් තීරුවලින් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට ඇතිකරන දිගුකාලීන යහපත් බලපෑම පිළිබඳවය.

හරිත ප‍්‍රදේශ මානසික සෞඛ්‍යයට යහපත්

හරිතවත් නාගරික ප‍්‍රදේශවල ජීවත් වන ජනතාව අතර මානසික අවපීඩනය (depression) හා කාංසාව (anxiety) වැනි මානසික ගැටලූ අඩු බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස ගතහොත්, පසුගිය වර්ෂයේ ඡුිහජයදකදටසජ්ක ීජසැබජැ සඟරාවේ පළ වූ අධ්‍යයනයක් දැක්විය හැකිය. ඊට පාදක කරගෙන ඇත්තේ 1991-2008 අතර කාලයට අදාළව නිවාස 5,500ක පමණ ප‍්‍රමාණයක ජීවත් වන පුද්ගලයින් දසදහසක් පමණ පිරිසක් ආශ‍්‍රිතව සිදුකර ඇති මේ සමීක්ෂණයකි. එ් සඳහා දත්ත ලබාගෙන ඇත්තේ එසෙක්ස් විශ්ව විද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන බි‍්‍රතාන්‍ය ගෘහස්ථ මණ්ඩල සමීක්ෂණය හෙවත් සමාජය අවබෝධ කරගැනීමේ සමීක්ෂණය (British Household Panel Survey/ Understanding Society survey) ලෙස හඳුන්වන සමීක්ෂණයෙනි. ඉතා පුළුල් සිදුකරනු ලබන සමීක්ෂණයක් වන අතර ඊට මානසික සෞඛ්‍යය පිළිබඳව අදහසක් ලබාගත හැකි ප‍්‍රශ්නද ඇතුළත් වේ.
මෙහිදී පෙනීගොස් තිබුණේ වැඩි හරිතවත් ප‍්‍රදේශයක වාසය කරන ජනතාවගේ මානසික පීඩාව (mental distress) අඩු වන අතර ඔවුන්ගේ යහ පැවැත්ම ඉහළ වන බවද පෙනේ. තනි පුද්ගලයකු ලෙස මෙහි බලපෑම අඩු විය හැකි වුවද, සමාජයීය මට්ටමේදී එහි සමස්ත බලපෑම මගින් නාගරික ප‍්‍රදේශවල හරිතවත් බිම් පෙදෙස් ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙන බව පර්යේෂකයන්ගේ මතය විය. (මූලාශ‍්‍රය: Psychological Science, DOI: 10.1177/0956797612464659)
කෙසේ වෙතත් මානසික සෞඛ්‍යයට ඇතිවන මේ යහපත් බලපෑම කෙතෙක් කාලයක් පවතිනු ඇතිද යන්න වැදගත් කරුණකි. මෑතදී ප‍්‍රකාශයට පත් වූ අධ්‍යයනයකදී අවධානයට යොමු වූයේ මේ පිළිබඳවය.

මානසික සෞඛ්‍යයට ඇතිවන බලපෑම කල්පවතී

Environmental Science and Technology සඟරාවේ පළවූ මේ අධ්‍යයනය සඳහාද මූලික වශයෙන් සම්බන්ධ වී ඇත්තේ ඉහත දැක්වූ අධ්‍යයනයට සම්බන්ධ වූ පිරිසමය. අදාළ පර්යේෂකයින් උපයෝගී කරගෙන ඇත්තේ ඉහත දැක්වූ බි‍්‍රතාන්‍ය ගෘහස්ථ මණ්ඩල සමීක්ෂණය හෙවත් සමාජය අවබෝධ කරගැනීමේ සමීක්ෂණයේ දත්තය. මෙහිදී ඔවුන් දහසකට අධික පිරිසක් පිළිබඳව වසර පහක් තිස්සේ අධ්‍යයනය කර ඇත. එ් දෙවන හා තුන්වන වර්ෂය අතර කාලයේදී වෙනත් ප‍්‍රදේශයකට පදිංචිය වෙනස් කළ පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳවය.
වඩා හරිතවත් ප‍්‍රදේශයක් වෙත සංක‍්‍රමණය වූ පිරිස්වල මානසික සෞඛ්‍යය සංක‍්‍රමණයෙන් පසුව ගත වූ වර්ෂ තුනක් පමණ කාලයකට පසුව පවා යහපත් තත්ත්වයක පැවැතී ඇති බව මෙහිදී හෙළි වී තිබේ. අනෙක් අතට වැටුප් වැඩිවීම, උසස්වීම් වැනි මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන සාධකවලින් ඔවුන්ට යම් මානසික සහනයක් ලැබෙන්නේ මාස හයක් වැනි කෙටි කාලයක් පමණි. ඊට වඩා දිගු කාලීන බලපෑමක් හරිතවත් පරිසරයක වාසය කිරීමෙන් ඇති වන බව උක්ත අධ්‍යයනයේදී හෙළි වූ විශේෂ කරුණකි. මේ තත්ත්වය නිසා ජීවිතයට වැදගත් තීරණ ගැනීමේදී ඔවුන් වඩාත් සැලකිල්ලක් දක්වන බවක් පෙනේ.
කෙසේ වෙතත් තමන් වාසය කළ ප‍්‍රදේශයට වඩා අඩු හරිතවත් බවක් ඇති ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වූ පිරිස්වල මානසික සෞඛ්‍යයේ යම් පිරිහීමක් ඇති වන බවද මෙහිදී හෙළි වී ඇත. නමුත් පුදුමයකට මෙන් එය ඇතිවී තිබෙන්නේ ඔවුන් එසේ සංක‍්‍රමණය වීමට පෙර වසරේදීය. එසේම ඔවුන්ගේ මානසික තත්ත්වය, සංක‍්‍රමණය වීමෙන් පසුව ගත වූ කාලයේදී යථා තත්ත්වයට පත්ව තිෙබි. (මූලාශ‍්‍රය: Environmental Science and Technology, DOI: 10.1021/es403688w)

මේ පර්යේෂණ වාර්තාවට අනුව, ජනතාවගේ මානසික යහ පැවැත්ම සම්බන්ධව දිගු කාලීන වශයෙන් බලපාන ආකාරයේ සුභවාදී බලපෑමක් සිදුකරන්නට හරිත අවකාශයක් සහිත නාගරික ප‍්‍රදේශවල වාසය කිරීම හේතුවන බව පෙනේ. මේ අනුව උසස් තත්ත්වයේ නාගරික උද්‍යානවලට පිවිසීමට අවස්ථාව හිමිවීමම මිනිසුන්ගේ මහජන සෞඛ්‍යයට වැදගත් වේ. එහෙත් මෙවැනි ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය රාමුවක් සැකසීම වැදගත් බව සත්‍යයකි. අනෙක් අතට මේ සඳහා ප‍්‍රතිපාදන සැපයීම පිළිබඳවද ගැටලූ ඇති බවක් පෙනේ. නිදසුනක් ලෙස මේවායේ සෞඛ්‍යමය වශයෙන් යහපත් බලපෑමක් ඇති නිසා මීට සෞඛ්‍යය සඳහා වැය කළ යුතු ප‍්‍රතිපාදන යොමු කළ යුතු බවද පෙන්වාදී තිබේ.

අපේ රටේ නාගරික සංවර්ධනය

අපේ රටේද මේ වන විට නාගරික ප‍්‍රදේශ ආශ‍්‍රිතව හරිතවත් බිම් ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට කටයුතු කෙරෙමින් තිබේ. නිදසුනක් ලෙස ගතහොත්, කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර මෙන්ම තදාසන්න වෙනත් නාගරික ප‍්‍රදේශවලද මෙවැනි වැඩ පිළිවෙළක් පවතී. මේ යටතේ උද්‍යාන ප‍්‍රදේශ සංවර්ධනය හා වැනි බොහෝ කටයුතු සිදුකරන අතර සැලකිය යුතු ජනතා ආකර්ෂණයක්ද මේවාට ඇති බව දැකිය හැකිය. විශේෂයෙන් වර්තමානයේ මේ වන විට අපේ ජීවන රටාව තුළ වැඩි වශයෙන් ආතතිය සහිත ස්වභාවය අධික වන බැවින් නාගරික ජනතාව සඳහා මෙවැනි හරිතවත් ප‍්‍රදේශ සංවර්ධනය කිරීම ප‍්‍රයෝජනවත්ය. එය හුදෙක් විවේකය ගත කිරීමට හෝ ශාරීරික සෞඛ්‍ය්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා පමණක් නොව මානසික සෞඛ්‍යය සඳහාද ඵලදායී වන බව ඉහත දැක්වූ පර්යේෂණවල ප‍්‍රතිඵලවලින්ද පැහැදිලිය.
කෙසේ වෙතත්, එවැන්නක යහපත් ප‍්‍රතිඵල වැඩි ජනතාවකට ලබාදීමට නම්, නගරයක හැකි හැම ප‍්‍රදේශයක්ම හරිතවත් කළ යුතු බව පැහැදිලිය. එහිදී තැනින් තැන පිහිටුවන උද්‍යාන මෙන්ම හරිතවත් මාර්ග හා ගෙවතුවල ප‍්‍රවර්ධනය පවා වැදගත්ය. එවැන්නක් කෙටිකලකින් අත්පත් කරගත හැක්කක් නොවේ. අනෙක් අතට මේ ආකාරයෙක් හරිතවත් බව රැුකෙන ආකාරයේ නගර සංවර්ධනයක් අපේ රටේද ජාතික ප‍්‍රතිපත්තියක් ලෙස සංවර්ධනය කළ යුතුය. එසේම, නගරවල මේ වන විට පවත්නා හරිත වැස්ම සංවර්ධනයේදී රැුකගැනීම පිළිබඳවද අවධානය යොමු කිරීම යෝග්‍ය බවද පෙනේ.

Not available online

Monday, January 20, 2014

යෝජිත බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත කා වෙනුවෙන් ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, Vidusara, 2014-01-15

http://www.vidusara.com/2014/01/15/feature4.html

බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත නමින් රජය විසින් ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති නව පනතක්‌ පිළිබඳ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවකට ඉදිරිපත් කර තිබේ. මේ යෝජිත පනත 2003 වර්ෂයේ දී සම්මත කරන ලද බීජ පනත පරිචිäන්න කරමින් ඉදිරිපත් කර ඇති පනතකි.

යෝජිත පනතේ ඇති බරපතළ ගැටලු රැසක්‌ පිළිබඳව මේ වන විට කිසියම් සාකච්ඡාවක්‌ ඇති වී ඇත. මේ පනතේ ඇති ප්‍රතිපාදන සම්බන්ධව ගොවීන්, ගොවි සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් වෙතින් විරෝධතා එල්ල වන බවක්‌ දැකිය හැකි ය. රජයට සම්බන්ධ දේශපාලන පක්‌ෂ දෙකක්‌ වන ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස්‌ පෙරමුණ පවා මේ පනත සම්බන්ධ ව ස්‌වකීය විරෝධය ද පළ කර තිබිණි.

මීට දශකයකට පමණ ඉහත දී හඳුන්වා දෙන ලද 2003 අංක 22 දරන බීජ පනත ඉදිරිපත් කරන ලද්දේ එවකට පැවැති රජය අනුගමනය කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ය. මේ වැඩසටහන මෙන්ම ඒ පනතේ අරමුණු පිළිබඳව ද බරපතළ විවේචන පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් අදාළ පනතේ අරමුණ වූයේ ඒ වන විට බොහෝ දුරට රජය සතු ව පැවැති බීජ වෙළෙඳපොළ විවෘත කරගැනීම බව පෙනේ. මේ කාලය තුළ අදාළ පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූයේ නැතත් බීජ වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට සමාගම්වලින් ගෙන්වන බීජවලට හැකියාව ලැබී ඇත. වැඩි අස්‌වනු අපේක්‌ෂාවෙන් මේ බීජ යොදාගැනීමට මෙරට ගොවීන් අතරින් බහුතරය පෙලඹුණු බව රහසක්‌ නො වේ. (අපේ ගොවීන් ලෝක වාර්තාවක්‌ තබන්නට තරම් අධික ප්‍රමාණවලින් කෘෂි රසායන යොදාගන්නේ ද මේ වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමේ අරමුණින් ම ය).

2003 පනත වෙනුවට ඉදිරිපත් ව ඇති නව පනතේ අරමුණු සේ දක්‌වා ඇත්තේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීම හා නියාමනය කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන් ගේ අයිතිවාසිsකම් ආරක්‌ෂා කිරීම හා හසුරුවන්නන් ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම හා අයිතිවාසිsකම් ආරක්‌ෂා කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තයේ සංවර්ධනය, කෘෂිකර්මාන්තයට වැදගත් වන්නා වූ දේශීය බීජ හා රෝපණ ද්‍රව්‍යවල ජාන සම්පත් සුරක්‌ෂිත කිරීම හා සංරක්‌ෂණය යන කරුණු ය.

කෙසේ වෙතත්, පනත පිළිබඳව අවධානයෙන් විමසා බලන විට ඒ පනතෙන් මතු වන, ආන්දෝලනයට ලක්‌ ව ඇති ගැටලු කිහිපයක්‌ හා ඒවායේ බලපෑම් ද හඳුනාගත හැකි වේ.

බීජ පනතේ ගැටලූ


මේ පනතේ ඇති ප්‍රතිපාදන නිසා ගොවීන් සතු බීජ පිළිබඳ අයිතිය සම්බන්ධයෙන් ගැටලු ඇති වන බව පැහැදිලි ය. මෙහි අවසාන අරමුණ හෝ ප්‍රතිඵලය බීජ වෙළෙඳපොළ පිළිබඳ අයිතිය සමාගම්වලට ලබා දීම බව පෙනේ. මේ යෝජිත පනත මගින් ගොවීන්ට තමන් ගේ ම බීජ නිෂ්පාදනය කිරීමට හා ව්‍යාප්ත කිරීමට ඇති අයිතිය අහිමි වීමේ අවදානමක්‌ තිබීම මෙහි එක්‌ ගැටලුවකි. මෙයින් වැඩි ම බලපෑමකට ලක්‌ වන්නේ දේශීය බීජ ප්‍රභේද වගා කිරීම සිදු කරන සුළු පරිමාණ ගොවීන් ය.

නිදසුනක්‌ ලෙස යෝජිත පනතේ 23 වැනි වගන්තිය යටතේ දක්‌වා ඇති පනත අදාළ කර නො ගැනීම සම්බන්ධ වගන්තිය අනුව, ''යම් තැනැත්තකු විසින් වවනු ලැබූ හා තමා ගේ පරිශ්‍රය තුළ දී ඔහු විසින් වාණිජමය අරමුණකින් තොර ව වෙනත් පුද්ගලයකු හට වැපිරීමේ හෝ රෝපණය කිරීමේ කාර්යය සඳහා සාම්ප්‍රදායික පිළිවෙත් අනුව හුවමාරු කරන හෝ ගනුදෙනු කරන හෝ එම තැනැත්තාට සෘජු ව භාර දෙනුq ලබන යම් වර්ගයකට හෝ ප්‍රභේදයකට අයත් බීජ හෝ රෝපණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන අදාළ නො වන්නේ ය.'' 2003 පනත අනුව බීජ විකිණීමට හැකියාවක්‌ තිබූ අතර යෝජිත පනතට අනුව හුදෙක්‌ නොමිලේ මිස වෙනත් ආකාරයකින් බීජ ලබා දීමට අවස්‌ථාව නොමැති බව පෙනේ. දේශීය වී ප්‍රභේද හා වෙනත් බීජ අලෙවි කිරීම මෙන්ම 1(1 1/2 ලබාදීමේ පොරොන්දුව යටතේ ලබාදීමද සිදු වේ. නව පනතින් දේශීය බීජ ගොවීන්ට බීජ පිළිබඳව හා බීජ ව්‍යාප්ත කිරීම සඳහා ඇති අයිතියට යම් බලපෑමක්‌ සිදු කරන බවක්‌ පෙනේ. එය වගාව සඳහා සුළු පරිමාණයෙන් බීජ නිෂ්පාදනය කරන ගොවීන්ට එල්ල කරන පහරකි. එසේ ම දේශීය බීජ ආරක්‌ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන සංවිධානවල පැවැත්ම ද මේ අනුව අවදානමකට ලක්‌ ව ඇති බවක්‌ පෙනේ.

මේ පනතේ 10 (2) වගන්තිය අනුව ජාතික බීජ හා රෝපණ ද්‍රව්‍ය උපදේශක සභාවේ කාර්යයක්‌ වන්නේ පෞද්ගලික අංශයේ බීජ කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රාජ්‍ය අංශයේ නියෝජ්‍යායතන සමඟ සම්බන්ධීකරණයක්‌ ඇති කිරීම හා බීජ හා රෝපණ ද්‍රව්‍යවලට අදාළ ගැටලු පිළිබඳව සලකා බැලීම බව දක්‌වා තිබේ. හුදෙක්‌ ලාබය අරමුණු කරගත් පෞද්ගලික අංශයට 'බීජ කර්මාන්තය' සංවර්ධනය සඳහා බාර දීම අපේ ජන ජීවිතයේ පදනම වන ගොවිතැනේ අනාගතයට කෙසේ බලපානු ඇත් ද යන්න මෙන්ම මෙවැනි සහායක්‌ ලබා දීමේ අවශ්‍යතාව ද ගැටලුවකි. මෙය දේශීය බීජ ප්‍රභේදවලට පමණක්‌ නො ව රාජ්‍ය අංශය ම`ගින් නිෂ්පාදනය කරන බීජ ප්‍රභේදවලට ද ආහාර සුරක්‌ෂිතතාවට ද බලපානු ඇත.

බීජ පිළිබඳ ප්‍රමිතිය පිළිබඳව ගත් විට ප්‍රමිතියට අනුගත නොමැති යෑයි තහනම් කළ බීජ තොගයක්‌ දින නියමයකින් තොර ව රඳවා තබාගැනීමට බලධාරීන්ට හැකියාව ලබා දීමට නියමිත ය. මෙය බීජ විශාල ලෙස නිපදවීම සිදු නො කරන සුළු පරිමාණ බීජ නිෂ්පාදකයන්ට තදින් බලපාන කරුණක්‌ වනු ඇත.

යෝජිත පනතේ එහි 18 වැනි වගන්තිය යටතේ එන පරිදි දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් ආරක්‌ෂා කිරීම ද කිසියම් ආකාරයකින් ආන්දෝලනාත්මක කරුණකි. ඒ අනුව පරිබාහිර සංරක්‌ෂණයේ අයිතිය හා වගකීම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා සතු වේ. අදාළ ජාන සම්පත් හුවමාරු පවා ඔහු ගේ ලිත අවසරය නෙමැතිව කළ නොහැකි වේ.

මේ නව බීජ පනතේ එන එක්‌ කරුණක්‌ වන බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරන්නවුන්ට ලබා දෙන දඬුවම් ද ආන්දෝලනාත්මක ය. කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ගේ අනුමැතියෙන් තොර ව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ළ`ග තබාගැනීම, බෙදාහැරීම, හුවමාරු කිරීම, විකිණීම වැනි කටයුතු තහනම් වෙයි. ඒ වැරැදි සඳහා බරපතළ දඬුවම් ලබා දිය හැකි ය. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට, රුපියල් 50,000ක්‌ දක්‌වා දඩ නියම කිරීමට පමණක්‌ නො ව මාස 6ක උපරිමයක්‌ වූ සිර දඬුවම් ලබා දීමට පවා බලය හිමි වෙයි. එසේ ම බීජ ප්‍රවාහනය කරන වාහනය පවා රාජසන්තක කිරීමට බලය හිමි වෙයි.

මේ පනතේ කාර්යයන් සඳහා පත් කරනු ලබන තාක්‌ෂණ හා උපදේශක කමිටුවට නියෝජිතයන් පත් කිරීම සම්බන්ධව ද ගැටලු පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ කමිටුවට බීජ හා රෝපණ ද්‍රව්‍ය හසුරුවන්නන් හෝ භාවිත කරන්නන් නියෝජනය කිරීම පිණිස නියෝජිතයන් පත් කිරීමට බලය ඇත්තේ ද කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයාට ය. ඒ නියෝජිතයන් ද බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාත්මක ශික්‌ෂණයක්‌ සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු විය යුතු බව ද පනතේ සඳහන් වේ. අනෙක්‌ අතට මේ සාමාජිකයන් පවා කිසිදු හේතුවක්‌ නො දක්‌වා කමිටුවෙන් ඉවත් කිරීමට බලය අමාත්‍යවරයාට තිබේ. ඒ අනුව මේ පත් වූවන් නියෝජනය කරන්නේ කවුරුන් ද යන්න හා ඔවුන් සතු නිදහස පිළිබඳව ද ගැටලු ඇති බව පෙනේ.

මේ පනත රටේ බීජ සුරක්‌ෂිතතාවට මෙන්ම ආහාර සුරක්‌ෂිතතාව සඳහා ද හානිකර ලෙස බලපාන බවක්‌ පෙනේ.

නව බීජ පනතක්‌ අවශ්‍ය ද?


ආහාර යනු ලෝකයේ අත්‍යවශ්‍ය දෙයක්‌ වන අතර, සමාගම්වලට බීජ සඳහා වෙළෙඳපොළක්‌ බිහි වන්නේ මේ සමඟ ය. මේ තත්ත්වය හමුවේ වැඩිදියුණු කළ බීජ, ජාන විකරණය කළ බීජ හා වඳ තාක්‌ෂණය යනාදී වශයෙන් විවිධ බීජ වර්ග වෙළෙඳපොළට හඳුන්වා දෙමින් මේ සමාගම් යෙදී සිටින්නේ දැඩි තරගයක ය. මේ තත්ත්වය ඇතුළත යෝජිත පනත මගින් ගොවීන් සතු බීජ අයිතිය තවදුරටත් සීමා වන බවක්‌ පෙනේ. එසේ ම රටේ කෘෂි ජෛව විවිධත්වයට තර්ජනයක්‌ ඇති විය හැකි ය. මේ සමාගම්වලට අද ඇති ගැටලුවක්‌ වන්නේ ගොවීන් අතර ඇති බීජ සඳහා ඇති අයිතියයි. මෙය කෘෂි ව්‍යාපාරවල සීමාව ඉක්‌වා ගිය තත්ත්වයක්‌ සේ දැක්‌විය හැකි ය.

අවාසනාවකට මෙන් මෙරට බහුතර ගොවීන් අද යොමු ව සිටින්නේ හුදෙක්‌ වැඩි අස්‌වැන්නක්‌ ලබා දෙන බීජ වර්ග භාවිත කිරීමට හා හැකි උපරිම අස්‌වැන්නක්‌ ලබාගැනීමට ය. විවිධ සමාගම් මගින් ආනයනය කරනු ලබන බීජ වර්ග සඳහා හොඳ ඉල්ලුමක්‌ ඇත්තේ ද, අධික හා අසීමිත ලෙස කෘෂිරසායන ද්‍රව්‍ය භාවිත කිරීමට ගොවීන් පෙලඹී සිටින්නේ ද ආදායම් ඉපදවීම මුල් කරගත් ගොවිතැනක්‌ අද අපේ රටේ ඇති නිසා ය.

එහෙත් අනාදිමත් කාලයක සිට භෝග බීජ භාවිතය තුළින් රැකගත්තේ ගොවීන් විසිනි. ඔවුන් ගේ ඒ අයිතිය අහෝසි කර බීජ පාලනය කිරීම බහුජාතික සමාගම්වලට පැවරීමට ගන්නා තවත් උත්සාහයක්‌ ලෙස නව පනත සැලකිය හැකි බවක්‌ පෙනේ. එය කෙතරම් සදාචාරවත් ද යන්න ගැටලුවක්‌ වන අතර ඒ සඳහා වර්තමාන රජයේ සහාය ලැබීම කණගාටුදායක කරුණකි. මේ නිසා මේ පනත සම්මත කිරීම වැළැක්‌වීම සඳහා කටයුතු කිරීම රටට දැයට හිතැති සැම ගේ යුතුකමකි. බීජ පිළිබඳ අයිතිය ගොවීන් හා ජනතාව සතු විය යුතු ය.

http://www.vidusara.com/2014/01/15/feature4.html

පහේ ශිෂ්‍යත්ව විභාගය අවශ්‍යද?

ධනේෂ් විසුම්පෙරුම

Vidusara, 2014-01-01

Not available online

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2016 වර්ෂයෙන් පසු අහෝසි කිරීමට තීරණය කර ඇත යන්න රටේ තරමක ආන්දෝලනයක් ඇති කර තිබේ. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප‍්‍රකාශයකට අනුව පහේ ශිෂ්‍යත්ව විභාගය 2016 වර්ෂයේදී අහෝසි වීමට බොහෝ විට ඉඩ ඇත. එ් අනුව ශිෂ්‍යත්ව විභාගය වෙනුවට ළමුන් සඳහා කිසියම් ඇගැයීම් පරීක්ෂණයක් පවත්වනු ලබන බවත්, එය තරඟකාරී විභාගයක් නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත. පැය එකයි කාලක පමණ කාලයක ප‍්‍රශ්න පත‍්‍රයක් මගින් ශිෂ්‍යයින්ගේ දක්ෂතාවය ඇගැයීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබිණි.

ශිෂ්‍යත්ව විභාගව සම්බන්ධව මෙරට සමාජයේ මේ විභාගය පිළිබඳව ආන්දෝලනයක් ඇති වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟය. ඊට මුල් වූ හේතුව වූයේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වූ දිනයයි. ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වූයේ ලෝක ළමා දිනය (හා ලෝක වැඩිහිටි දිනය) යෙදී තිබූ ඔක්තෝබර් මස පළමුවැනිදාය. ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිසා ළමුන්ගේ එදින සතුටට බාධාවක් ඇති වූ බව මේ සමාජ ආන්දෝලනයේ හරය විය. සාමාන්‍ය ජනතාව, අධ්‍යාපන වෘත්තීය සමිති, ඇතැම් ජනමාධ්‍ය හා දේශපාලනඥයන් මේ පිළිබඳව රජයට චෝදනා එල්ල කරනු දැකිය හැකි විය. කෙසේ වෙතත් මේ සමඟ ශිෂ්‍යත්ව විභාගයත් එහි ගැටලූ පිළිබඳව ඇති වූ සාකච්ඡුාවත් වැදගත් බව අපේ හැඟීම විය. එහෙත් මේ වන විට අප දකින්නේ මේ ආන්දෝලනයේ අවසන් ප‍්‍රතිඵලය නම් එය මදක් නොව දැඩි අවධානයකින් සැලකිය යුත්තකි.

කෙසේ වෙතත් මේ වන විට උක්ත තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව එක් ගුරු සංගමයක් දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එසේම මේ පිළිබඳව විරෝධතා ක‍්‍රියාමාර්ග ගන්නා බවටද ඔවුන් ප‍්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡුා වී ඇති බවක් වාර්තා වී තිබේ. අනෙක් අතට ඉහත කී ප‍්‍රකාශය රජයේ මතය වේද යන්න හා එය මේ පිළිබඳ අවසත් ප‍්‍රතිඵලද යන්න තවමත් පැහැදිලි නැත.

පහේ ශිෂ්‍යත්ව විභාගය


පහේ පංතියේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව පවත්නා වාර්තා අනුව විභාගය ආරම්භ වන්නේ 1943 වර්ෂයේදීය. එ් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ඵලගැන්වීමෙන් පසුවය. මේ විභාගයෙන් සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩි පහසුකම් සහිත පාසැලක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබිණි. එසේම නොමිලේ හා නවාතැන් හා ඇඳුම් ආදියද ලැබිණි. පසුකලක ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීම සිදු විය. ශිෂ්‍යාධාර ලෙස ලබාදෙන මුදලට වඩා වැදගත් වූයේ පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය හැදෑරීමට ලැබීමයි.

මේ අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ සිසුන් අතරින් රටට හා ලෝකයට වැඩදායක උගතුන් බොහෝ දෙනෙක් පසුගිය වසර හැත්තෑවක කාලය පුරා බිහිව ඇති බව සැකයක් නැත.
අනෙක් අතට ගත වූ කාලය ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ යම් යම් වෙනස්වීම් ඇති වී තිබෙන බව පෙනේ. නිදසුනක් ලෙස ගතහොත්, එක්තරා කාලයකදී විභාග දෙකක් පැවැත්වූ අවස්ථා ඇත. එහිදී දෙවැනි විභාගයට පෙනී සිටියේ පළමු විභාගයෙන් සමත්වූ සිසු-සිසුවියන්ය. එසේම ශිෂ්‍යත්ව විභාගය සඳහා අන්තර්ගත වන විෂයද මේ කාලය ඇතුළත වෙනස් වී තිබේ.

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ අහිතකර ප‍්‍රතිඵල

යම් ආකාරයකින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළහොත් ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව මදක් විමසා බැලිය යුතු වේ.

ග‍්‍රාමීය ප‍්‍රදේශයක වෙසෙන දක්ෂ දරුවකුට වඩාත් ඉහළ පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීම සඳහා වර්තමානයේ ඇති අවස්ථාව වන්නේ ශිෂ්‍යත්ව විභාගයයි. දක්ෂ ශිෂ්‍යයින්ට මෙතෙක් ලැබුණු අවස්ථාව අහිමි වීම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ බරපතළම ප‍්‍රතිඵලය සේ දැක්විය හැකිය. ජාතික පාසල් මෙන්ම මේ වන විට සංවර්ධනය කරමින් පවත්නා ද්විතීයික පාසල් තිබුණද ඒවාට ළමුන් ඇතුළත් කරගැනීම සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. එ් පාසල්වලට පළමු ශ්‍රේණියෙන් ළමුන් බඳවා ගන්නේ නම් පාසලේ සිට පදිංචි නිවසට ඇති කිලෝමීටර් දෙකේ නීතිය බලපායි. අනෙක් අතට සාමාන්‍යයෙන් සිදුවන ආකාරයටම මිල මුදල් වියදම් කළ හැකි පවුල්වල දරුවන්ට අවස්ථාව ලැබීම වැළැක්විය නොහැකි වනු ඇත. (මෙසේ මුදල් අවශ්‍ය වන්නේ කරුණු දෙකකටය - ව්‍යාජ ලේඛන සැකසීමට හා ළමයා ඇතුළත් කිරීමේදී අවශ්‍ය පුද්ගලයින්ට ගෙවීමටය. අල්ලස් ¥ෂණ අතින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයද ඉහළ මට්ටමක පසුවන බව ප‍්‍රකට කරුණකි.)
 
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා හැකිවන්නේ මේ වන විට ක‍්‍රියාත්මකව ඇති ද්විතීයික පාසල් දහසක් දියුණු කිරීමේ ව්‍යාපෘතිය නිසා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබිණි. 2016 වර්ෂය වන විට අවසන් වීමට නියමිත ද්විතීයික පාසල් දහසේ ව්‍යාපෘතියත් සමඟ ජනප‍්‍රිය පාසල්වලට ඇති අධික ඉල්ලූම නිමා වනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කර ඇත. එහෙත් මේ අනුව පාසල් දියුණු කරනු ලැබුවද ආර්ථික ගැටලූ ඇති හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචි දක්ෂ දරුවන්ට මේ පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීම අසීරු විය හැකිය. අනෙක් අතට පළමු ශ්‍රේණියෙන් පසු කිසියම් ඉහළ පංතියකදී මේ පාසල්වලට බඳවා ගනු ලැබෙන්නේ නම්, එ් කුමන පදනමකින්ද යන්නද පැහැදිලි නැත. මේ පාසල්වලට ඇතුළත් වීම සඳහාද අධික තරඟයක් ඇති විය හැකිය. එසේම ප‍්‍රාථමික පංති පමණක් පැවැත්වෙන විද්‍යාලවලින් පසුව එ්වායේ දක්ෂ දරුවන් වෙනත් පාසලකට බඳවා ගැනෙන ආකාරයද පැහැදිලි නැත. එවැන්නක් තරඟ විභාගයක් හරහා සිදුවන්නේ නම් සිදුවන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් නමකින් විභාගයක් ඇති වීම පමණක් විය හැකිය. කෙසේ වෙතත් එවැනි විභාගයකින් පසු ළමුන් නව පරිසරයකට යොමු කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ නව යොවුන්වියට පෙර බව පැහැදිලිය.

ශිෂ්‍යත්වයෙන් සමත් දක්ෂ දරුවන් 2016 වසරෙන් පසු ජාතික පාසල්වලට ඇතුළත් නොවුවහොත් වර්තමාන ජාතික හා ජනප‍්‍රිය පාසල්වල අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි උසස් විභාගවල ප‍්‍රතිඵල අනාගතයේදී පහත වැටෙනු ඇතැයි සිතීම සාධාරණය. සාමාන්‍යයෙන් මේ පාසල්වල ඉහළ විභාග ප‍්‍රතිඵලවලින් වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන්නේ ශිෂ්‍යත්ව සමතුන් අතරිනි. (අපේ පෞද්ගලික අත්දැකීම් අනුවද එය එසේ බව තහවුරු කළ හැකිය.) තම පාසල්වල එවැනි තත්ත්වයක් වළක්වාලීම සඳහා අදාළ පාසල් කුමන ආකාරයක පියවරක් ගනු ඇතිද යන්න ගැටලූවකි. වර්තමාන ජනප‍්‍රිය පාසල්වලට ස්වකීය පාසලේ ප‍්‍රතිඵල ඉහළ මට්ටමක පවත්වාගැනීම ඒ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට වෙනම ඇතුළත්වීමේ විභාගයක් පැවැත්වීමට පියවර ගනු ඇතිද? අතීතයේ මෙවැනි ඇතුළත් වීමේ විභාග පැවැත්වූ අතර අද තත්ත්වය යටතේ එයද බොහෝ අනිසි ක‍්‍රියාවලට මුල්විය හැකිය. එසේම ඇතැම් ජාතික පාසල්වල පංති පැවැත්වෙන්නේ 6 වැනි ශ්‍රේණියේ සිට ඉහළට පමණක් වන නිසා එ් පාසල්වලට සිසුන් බඳවා ගැනීම සිදුකරන්නේ කෙසේද යන්න ගැටලූ සහගතය. සාමාන්‍යයෙන් ඉහළ විභාගවලින් හොඳ ප‍්‍රතිඵල වාර්තා කරන මධ්‍ය මහා විද්‍යාලද සාමාන්‍යයෙන් හයවැනි ශ්‍රේණියෙන් සිසුන් ඇතුළත් කරගන්නා පාසල් අතර වේ.

ස්වභාෂා මාධ්‍ය අධ්‍යාපනය පිරිහීම ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තවත් ප‍්‍රතිඵලයක් විය හැකිය. බොහෝ උගත් දෙමාපියන්ගේ අදහස තම දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ පසු උසස් පාසලකට ඇතුළත් කිරීමයි. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළහොත් ඔවුන්ට මේ අවස්ථාව අහිමි වේ. මේ නිසා සිදුවිය හැක්කේ ඔවුන් තම දරුවන්ට ස්වභාෂා මාධ්‍යය වෙනුවට ඉංග‍්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙත හෝ ජාත්‍යන්තර විෂයමාලා සඳහා යොමු කිරීමය. එහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ පුද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට වඩා හොඳ කලක් උදා වීමය. අවසානයේදී මේ වන විටත් කිසියම් තර්ජනයකට ලක්ව ඇති ස්වභාෂා අධ්‍යාපනය තවදුරටත් පිරිහී යා හැකිය. මේ තත්ත්වය රටේ අනාගතය සඳහා මෙන්ම ජාතික භාෂාවල අනාගත පැවැත්ම සම්බන්ධවද ගැටලූවක් විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.
 
උපකාරක පංති සඳහා ඉහළ ඉල්ලූමක් ඇති වීමද ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ ප‍්‍රතිඵලයක් විය හැකිය. පහසුකම් සහිත පාසලක උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් අහිමිවීමත් සමඟ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටින තම දරුවන්ට අතිරේක පංතිවල සහයෝගය ලබාදීමට කිසියම් හෝ හැකියාවක් සහිත දෙමාපියන් පෙළඹවීම වැළැක්වීම අසීරු විය හැකිය. පහසුකම් සහිත පාසලකට පිවිසිය නොහැකි වූ මුදල් ඇති මධ්‍යම පංතියේ දරුවකුට හොඳ ගුරුවරු හා පහසුකම් නොලැබිය හැකි නිසාය. මේ නිසා ප‍්‍රතිඵල පෙන්වීම සඳහා ටියුෂන් පංතිතරඟය වඩාත් ඉහළ යනු ඇත. මේ අනුව ටියුෂන් ව්‍යාපාරිකයන්ට මේ තත්ත්වය ඉතා යෝග්‍ය වේ. මේ වන විටත් උපකාරක පංති පැවැත්වීම අපේ රටේ ඉතා හොඳ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

ශිෂ්‍යත්ව විභාගය වෙනත් පංතියකට ගෙනයෑම ගැනද සාකච්ඡුාවට ලක්ව ඇත. එහෙත් දරුවකුගේ බොහෝ වෙනස්කම් සිදුවන නව යොවුන්වියට පිවිසෙන අවස්ථාවේදී ඔහු හෝ ඇය අධ්‍යාපනය සඳහා අදාළ පරිසරයක පසුවීම යෝග්‍ය බව සාමාන්‍යයෙන් පිළිගැනේ. එය මේ නිසා ශිෂ්‍යත්ව විභාගය පහ ශ්‍රේණියේදී පැවැත්වීම යෝග්‍ය වේ. එය වෙනත් ශ්‍රේණියකට ගෙන ගියහොත් සිදුවන්නේ නව යොවුන් වියේදී ඇතිවන වෙනස්කම් අතරට පාසල වෙනස් වීමද එක් වීමය.
 
අනෙක් අතට හුදෙක් භෞතික පහසුකම් දියුණු වූ පමණින් කිසියම් පාසැලක අධ්‍යාපන මට්ටම ඉහළ යනු ඇතැයි පැවසීම අසීරුය. එ් සඳහා බලපාන්නා වූ වෙනත් සාධක රැුසක්ද තිබේ. නිදසුනක් ලෙස ගතහොත් අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ අවශ්‍යතාවය දැක්විය හැකිය. අද වැඩිම ඉල්ලූමක් ඇති ජාතික පාසල් ජනප‍්‍රිය පාසල් බවට පත්ව ඇත්තේ කලක් තිස්සේ ඇති වූ වර්ධනය හා ඉහළ අධ්‍යාපන මට්ටමක් පවත්වාගැනීම නිසාය. එසේම කැපීපෙනෙන ප‍්‍රතිඵල පෙන්වන පාසල් අනෙක් උසස් පාසල් අතර වෙනස්කමක් පැවතීම වැළැක්වීමට නොහැකි වනු ඇති අතර එ් පාසල්වලට වැඩි ඉල්ලූමක් ඇතිවීමට වැළැක්වීම අසීරු වන ඇත. එය සමාන වන්නේ හුදෙක් ජනප‍්‍රිය දේශපාලන සටන්පාඨයක් වන ‘දුප්පත්කම දුරලීමටය‘. දුප්පත්කම යනු සම්පූර්ණයෙන්ම දුරලිය නොහැක්කකි. ඊට හේතුව ආදායම් මට්ටම ඉහළට ගියද ඉහළම ආදායම් ලබන්නන් හා අඩු ආදායම් ලබනන්නන් අතර කිසියම් ආකාරයක ඇති නැති පරතරයක් ඕනෑම රටක හෝ සමාජයක පවතින නිසාය.
 
අධික තරඟකාරිත්වය හා ළමුන්ට ඇතිවන පීඩනය

මෙරට සිසු-සිසුවියන් ස්වකීය ශිෂ්‍ය ජීවිතයේ මුහුණ දෙන පළමු තරඟකාරී විභාගය වන්නේ පහේ පංතියේ ශිෂ්‍යත්ව විභාගයයි. ශිෂ්‍යත්ව විභාගය විවේචනයට ලක්වී ඇති බරපතළම කරුණ වන්නේ එහි දැකිය හැකි අනිසි තරඟය නිසාය. ඇතැම් දෙමාපියන් තම දරුවන්ට ළමයකු සතු විය යුතු ළමා කාලය අහිමි කර ඇති බවක් පෙනේ. ළමුන් පොතපතට පමණක් සීමා කිරීමට හා වෙනත් සියලූ ආකාරයේ කටයුතුවලින් ඈත් කිරීමට දෙමාපියන් කටයුතු කිරීම මීට නිදසුනකි. ළමා කාලය අහිමි කරන ලද දරුවකුගේ අනාගතයට එය බලපෑමක් වීම වැළැක්විය නොහැකිය.
 
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින තම දරුවන් පිළිබඳව දෙමාපියන් අසීමිත බලාපොරොත්තු තබා ඇත. නිදසුනක් ලෙස ගතහොත් පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත්වූදා ඇති වූ කලබගෑනිය දැක්විය හැකිය. එක් ශිෂ්‍යයකු නිවසින් එළවා දැමූ පුවතක් පුවත්පතක වාර්තා වූ අතර, ළමුන්ට පහරදීම්ද රටේ ඇතැම් ප‍්‍රදේශවලින් වාර්තා විය. ඉන් පෙනන්නේ දෙමව්පියන් විභාගය පිළිබඳව සිතන ආකාරයයි. ශිෂ්‍යත්ව විභාගයේ වැදගක්ම දකින්නේ ලමුන් නොව දෙමාපියන්ය. මේ හේතුව නිසා මේ විභාගය ඇතැම් අවස්ථාවලදී දෙමාපියන්ගේ විභාගය (ඡු්රුබඑ’ි ැං්ප* ලෙස හැඳින්වේ.
 
අප දන්නා පරිදි පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළු වන දරුවා වෙනුවෙන් පවා ශිෂ්‍යත්වය සඳහා සූදානම් කරන පංති පළමු හා දෙවැනි ශ්‍රේණියේදී ආරම්භ වන අතර එ් සඳහා සැකසුණු පොත් හා ප‍්‍රශ්න පත‍්‍ර ආදියද වෙළෙඳ පොළේ දැකගත හැකිය. අවාසනාවකට මෙන් මේවාට දෙමාපියන් අතර ඇති ඉල්ලූමද ඉහළය. පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් පාසලේදී අපේක්ෂා කරන ක‍්‍රියාකාරිත්වය හා ඔවුන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට පුහුණු කිරීම අතර නොගැලපීමක් දැකිය හැකිය.

ශිෂ්‍යත්ව විභාගය වෙනස් විය යුත්තේ කෙසේද?


මේ සියලූ කරුණු මැදිහත්ව සලකා බැලීමේදී අපට සිතෙන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවතිය යුතු වුවත් එහි සැලකිය යුතු වෙනස්කම් සිදු කළ යුතු බවය. එ් විශේෂයෙන් ආර්ථික අපහසුතා ඇති පවුල්වල දක්ෂ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහාය. එහි සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මදක් විමසා බැලිය යුතු වේ.
 
ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරිත්වය අඩු කිරීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡුාවක් අවශ්‍යව තිබේ. මෙවැනි උපක‍්‍රම කිහිපයක් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පසුගිය සතියේදී ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියකද ඇතුළත් වේ. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර සාධන මට්ටම සම්බන්ධ විභාගයක් වෙනුවට ඒවා යොදාගෙන ශිෂ්‍යත්ව විභාගය වෙනස් කිරීම යෝග්‍ය බව අපට සිතෙන කරුණකි. එහි ඇතුළත් වන පරිදි විභාගය සාමාන්‍ය පරීක්ෂණයක් බඳු විභාගයක් කිරීම එවැනි එක් උපක‍්‍රමයකි. විභාගය පැයක පමණ කෙටි කාලයක් සඳහා වූ විභාගයක් විය යුතු බවද යෝජනා කර ඇති අතර, එසේම එය සාමාන්‍ය වාර විභාගයකට වඩා සංකීර්ණ නොවූ විභාගයක් විය යුතුය. මේ සඳහා යෝග්‍ය අන්තර්ගතයක්ද උක්ත යෝජනාවලියේ ඇතුළත් වේ. විභාගය සරළ වුවද එතුළින් ලමුන්ගේ දක්ෂතාවය සාධාරණ ආකාරයෙන් සංසන්දනය කළ හැකි නම් එය ප‍්‍රමාණවත්ය.
 
ශිෂ්‍යත්ව විභාගය මේ වන විට විෂය කිහිපයක් ආවරණය වන පුළුල් ආකාරයේ පරීක්ෂණයකි. එහෙත් විභාගය සරළ කිරීමේදී මේ බහු විෂයික ස්වභාවය තබාගත හැකිද යන්න තරමක ගැටලූවකි.
විභාගයේ තරඟකාරිත්වය අඩුකිරීමත් සමඟ දෙමාපියන් විසින් ළමුන් මත ඇතිකරන බලපෑම අඩු කිරීමටද පියවර ගත යුතුය. මේ නිසා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් විසින් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳව උපදේශනයක් ලබාදීමට පියවර ගත හැකි නම් වැදගත් වේ. මෙය ඇතැම් විට පළමු ශ්‍රේණියේ පටන් සිදු කළ යුතු වනු ඇත. මේ වන විට පාසල්වල මනෝඋපදේශනය පිළිබඳව පුහුණුව ලද ගුරුවරුන් සිටින එවැන්නක් සැලසුම් කිරීම අසීරු කරුණක් නොවේ.
 
අනෙක් අතට දැනටමත් ජාතික හා ජනප‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමද විභාගයේ දැකිය හැකි තරඟකාරිත්වය වර්ධනය වීම සඳහා හේතු වී ඇත. එහෙත් යම් සිසුවකුට හෝ සිසුවියකට ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට ඇති අවස්ථාව අහිමි කිරීමද අනුමත කළ නොහැකි බැවින් මේ පිළිබඳවද වැඩි සංවාදයක් ඇති විය යුතු බව පෙනේ.
 
මේ වන විට හතු පිපෙන්නාක් සේ බිහිව ඇති ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගත් අතිරේක පංති සීමා කිරීමක් කළ හැකිද යන්න නම් ගැටලූවකි. අප පෙර සඳහන් කළාක් මෙන් පළමු ශ්‍රේණියේ සිටම පාහේ ශිෂ්‍යත්ව අතිරේක පංති පැවැත්වේ. මේ පංති පවත්වන වැඩි දෙනා පාසල් ගුරුවරු වේ. (ඔවුන්ගෙන් සමහරක් ශිෂ්‍යත්වය අහෝසි කිරීමට විරුද්ධ වන්නේද මේ නිසා විය හැකිය) කෙසේ වෙතත් මේ සඳහා නීති මගින් යම් සීමාවක් පැනවිය හැකිද යන්නද සොයා බැලිය යුතුය.
 
මෙහිදී පැවසිය යුතු තවත් කරුණක් ඇත. එනම්, රජය මේ වන විට ක‍්‍රියාත්මක කරන පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ ඉතා වැදගත් බව පැවසිය යුතුය. මේ යටතේ ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කරනු ලබන අතර එ්වායේ පහසුකම් වර්ධනය කිරීම මෙහිදී සිදුවේ. මෙහිදී එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පාසල් තුනක් පමණ දියුණු කිරීම වැදගත් වේ. මෙවැනි පහසුකම් සහිත පාසල් සෑම ප‍්‍රදේශයකම පිහිටා තිබීම නිසා ශිෂ්‍යත්වයෙන් සමත් වන දරුවන්ට ඈත පාලසකට නොගොස් ස්වකීය දෙමාපියන් සමඟ ජීවත් වන අතර පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද ළමුන්ට ලැබේ. නේවාසික අධ්‍යාපනයට වඩා තම නිවසේ දෙමාපියන් සමඟ වාසය කිරීම දරුවකුට කෙතරම් වැදගත් වන්නේද යන්න අමුතුවෙන් කිවයුතු නැත. 

රජයේ වගකීම අවබෝධකරගැනීම
 
වඩා හොඳ විසඳුම් තිබියදී මේ විභාගය අහෝසි කර දැමීමට කටයුතු කළහොත් වත් පොහොසත්කම් ඇති බමුණු කුලයේ දෙමාපියන්ගේ දරුවන්ට පමණක් අවස්ථා ඇති අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත වීමටද ඉඩ තිබේ. 1940 දශකයේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර කළ සමයේදී මෙරට පැවැති සමාජ රටාව එවැනි වූවකි. එනම්, ධනවත් පංතියේ සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි තත්ත්වයකි. මධ්‍ය මහා විද්‍යාල හා ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භය නිසා තමන්ගේ වතුවල ගෙඩි කඩා ගැනීමට සේවකයින් නොමැතිවනු ඇතැයි එවකට බලයේ සිටි ඇතැම් පාලකයින් හා ධනපති පංතියේ නියෝජිතයන් පැවසූ බව සඳහන් වේ. (පසුකලක ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වාඳුන් කාලයේදීද මෙවැනි අදහස් තිබී ඇත.)
 
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම හරහා රට යළිත් රැුගෙන යන්නේ එවැනි තත්ත්වයක් වෙතද යන්න බලධාරීන් විසින් විමසා බැලිය යුතුව තිබේ. බමුණු කුලය වෙනුවෙන් පෙනී නොසිටින හා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන බව පවසන රජයක් ලෙස වර්තමාන රජයට එවැනි පියවරක් ක‍්‍රියාත්මක කළ හැකිද?
මේ සියලූ කරුණු අනුව ශිෂ්‍යත්ව විභාගයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධව පුළුල් සමාජ සාකච්ඡුාවක් ඇති විය යුතු බව අපේ අදහසයි.

Not available online.