ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2024-08-21
නාගරික තාප දූපත් (urban heat islands) යනු වර්තමාන ගෝලීය උණුසුම් වීමත් සමඟ මතු වී තිබෙන ගැටලුවකි. මෙම ක්‍රියාවලියේ දී සිදුවන්නේ නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය අවට සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව සෙල්සියස් අංශක 2-3කින් පමණ ඉහළ යෑමය. නගරවල ඇති ගොඩනැගිලි, තාර යෙදූ පාරවල්, වහලවල් වැනි දෘඪ පෘෂ්ට මගින් සූර්ය තාපය අවශෝෂණය කිරීම නිසා මේ සඳහා හේතුව වේ. වර්තමානයේ පවත්නා ගෝලීය උණුසුම ඉහළ යෑම සමඟ මෙහි බලපැම තවත් ඉහළ ගොත් ඇත. මෙවැනි තත්ත්වයක් වැඩිහිටියන් හා ළමුන් වැනි අධික උෂ්ණත්වය නිසා අවදානමට ලක්වන ජන කොටස්වලට බලපායි. මේ නිසා නාගරික තාප දූපත් සැලකිය යුතු මරණ ප්‍රමාණයකට හේතු වන ඇති බව සැලකේ.
මේ තත්ත්වයට මුහුණ දී ඇති නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය අඩු කිරීම සඳහා විවිධ පියවර දැනටමත් ගෙන ඇති අතර, ඒ මූලික වශයෙන් නගර තුළම ගෙන ඇති පියවර වේ. ඒවා අතර, නාගරික ප්‍රදේශවල ගස් සිටුවීම, තාර සහිත ප්‍රදේශ වෙනුවට හැකි හැම තැනකම තෘණ වැවීම, නගරවල උද්‍යාන ඇති කිරීම වැනි හරිත ආවරණයක් සඳහා වැඩි ඉඩක් ලබා දෙන පියවර මේ අතර මූලික වේ. එසේම ගොඩනැගිලි තද පැහැයෙන් වර්ණ ගැන්වීම වෙනුවට සුදු පැහැයෙන් වර්ණ ගැන්වීම මගින් සූර්යාලෝකය පරාවර්තනය කිරීම සිදු වේ. කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවල භූමියේ වටිනාකම ඉහළ බැවින් ඉහත කී හරිත ආවරණය හා සම්බන්ධ පියවර සඳහා යොදාගත හැකි භූමිය සීමා සහිත වේ. අනෙක් අතට මේ බලපෑම නගරයේ යම් ප්‍රදේශයකට පමණක් සීමා වන අතර, සමස්ත නගරයට බලපෑමක් කළ නොහැකි තරම්ය.
නගරවලට පිටතින් විසඳුමක්
ඉහත සඳහන් කළ නගර තුළින් ඇති විසඳුමක් වෙනුවට නාගරික තාප දූපත් තත්ත්වය සඳහා නගරවලට පිටතින් ලබා දිය හැකි විසඳුමක් පිළිබඳව පසුගියදා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ අනුව නගර වටා ගස් වවන ලද ග්‍රාමීය ප්‍රදේශ හා විශාල විල් තිබීම මගින් නගරවල උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 0.5ක් දක්වා අඩු කළ හැකිය.
මේ නව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ නගරයට පිටතින් ඇති ප්‍රදේශයේ ගස් සහිත හා ජලාශ සහිත ප්‍රදේශයක් ඇති විට මධ්‍යයේ ඇති නගරයේ උෂ්ණත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. තාප දූපත් තත්ත්වය නිසා නගරයේ අඩු පිඩන ප්‍රදේශයක් ඇති වේ. ඒ, උණුසුම් වාතය ඉහළට ගමන් කරන නිසාය. මේ සමඟ අවට ප්‍රදේශවලින් නගරය වෙත වාතය ඇදී එයි. නගරය අවට ප්‍රදේශයේ ඇත්තේ ගස් සහිත හා ජලාශ සහිත ප්‍රදේශයක් නම් එ් ඇදී එන්නේ වඩා සිසිල් වාත ධාරාවකි.
මෙහි දී පෙනී ගොස් ඇත්තේ, නගර මායිමේ සිට පිටතට විහිදෙන රුක් ආවරණය සහිත වෘක්ෂ තීරයේ ප්‍රමාණය මත නගරයේ උෂ්ණත්වය අඩු කිරීමට සිදුකරන බලපෑම තීරණය වන බවයි. නගරයේ විෂ්කම්භයෙන් අඩක් පමණ පළලක් ඇති වෘක්ෂ තීරයක් ප්‍රදේශයක් තිබීමෙන් නගරවල උෂ්ණත්වය උෂ්ණත්වය අංශක 0.5කින් පමණ ප්‍රමාණයක් දක්වා අඩු වී තිබේ. එසේම වඩා හොඳ ප්‍රතිඵල සඳහා නගරයට පිටතින් තිබිය යුත්තේ වෘක්ෂ තීරයක් හෝ ජලාශයකි. නගර වඩා ඇත්තේ තෘණ බිම් හා කෘෂි බිම් වූ විට නගරයේ උෂ්ණත්වය අඩුවීම වඩා අඩුය.
චීනයේ එකිනෙකට වෙනස් වූ නගර තිහක, 2000 සහ 2020 අතර කාලයේ දී භූගෝලීය හා පාරිසරික දත්ත යොදාගනිමින් මේ අධ්‍යයනය සිදු කර තිබේ. චීනය මේ සඳහා යොදාගෙන ඇත්තේ එහි මෑත කාලයේ දී විශාල නාගරික වර්ධනයක් සිදු වී ඇති නිසාය.
ප්‍රායෝගික විසඳුමක්?
මේ අනුව නාගරික තාප දූපත් ගැටලුව සඳහා වඩා ස්වාභාවික හා ප්‍රායෝගික විසඳුමක් ලැබී ඇති බව පෙනේ. මේ අනුව නගරයක පැවැත්මට ආසන්න ප්‍රදේශයේ ස්වාභාවික හෝ ග්‍රාමීය පරිසරයක් තිබීම වැදගත්ය. මෙය නගර සැලසුම්කරණයේ දී මෙන්ම භූදර්ශන නිර්මාණයේ දී ද ප්‍රායෝගිකව යොදාගත හැකි බව පෙනේ.
අනෙක් අතට තාප දූපත් නිසා ඉහළ යන උෂ්ණත්වයට සාපේක්ෂව වෘක්ෂ තීරු මගින් අඩු කළ හැකි උෂ්ණත්වය අඩු අගයක් සේ පෙනුනත් සෙල්සියස් අංශක 0.5ක උෂ්ණත්වය අඩු වීමෙන් ජීවිත රැසක් රැකගත හැකි වේ.
මූලාශ්‍රය - https://www.nature.com/articles/s44284-024-00091-z